හිත ඇත්නම් අත දෙන්න!

help
මඳක් පමා වී, කන්තෝරුවෙන් නික්මෙන්නට යන මොහොතේ සිය බිරිඳ කෙසෙල් ගෙන එන මෙන් පැවසූ බව පිලිප් මහතාට සිහිවිය. ඒ පිළිබඳ කල්පනාවෙන් යුතුව පිටතට පැමිණි ඔහු, පාරෙන් අනෙක් පස අටවාගත් තාවකාලික ඇටවුමක තබාගෙන කෙසෙල් අලෙවි කරන රෝගී පෙනුමැති වයස්ගත කාන්තාවක් දුටුවේය. සාමාන්‍යයෙන් පිලිප් මහතා කෙසෙල් මිලදී ගන්නේ කන්තෝරුවට ගොඩනැගිලි දෙක තුනක් එපිටින් පිහිටි ග්‍රොසරියෙනි. නමුදු එදා තවත් පමා නොවී නිවසට යා ගන්නට සිතූ ඔහු, ඇගෙන් කෙසෙල් මිලදී ගන්නට සිතා වහ වහා පාර මාරු වූයේය.

ඇගේ මිල කෙසෙල් කිලෝවකට ඩොලර් 7ක් විය.

“ඒත් අම්මේ, අර එපිටින් තියෙන ග්‍රොසරියේ මං හැමදාම ගන්නේ කිලෝ එක ඩොලර් 5ටනේ. දෙන්න බැරිද ඒ ගාණට?” පිලිප් මහතා ඇසුවේය.

“බැහැ මහත්තයෝ. ඒ ගාණට දීලා බැහැ. මට අඩුම තරමින් ඩොලර් 6ක්වත් ඕනෑ. ඒක තමයි දෙන්න පුළුවන් හොඳ ම ගාණ. ඊට වඩා නං අඩු කරන්න බැහැ” ඇය පැවසුවාය.

“හරි හරි. කමක් නැහැ එහෙනම්,”යි පැවසු ඔහු වහ වහා පාර මාරු වී සිය රථයට නැගී සුපුරුදු ග්‍රොසරිය සොයා ගියේය.

ඇතුලට ගිය ඔහු වඩා ම හොඳින් තෝරා කෙසෙල් ඇවරියක් අතට ගත්තේය. මුදල් ගෙවීමට ගිය විට අයකැමිවරයා ඔහු පුදුමයට පත් කරවමින් කෙසෙල් කිලෝවක මිල ඩොලර් 10ක් යැයි පැවසීය.

“මං දැන් කාලයක් තිස්සේ මෙතනින් පළතුරු ගන්නවා. මේ එක පාරම මිල වැඩි කරලනේ. යාව-ජිව ගැනුම්කරුවෙක් හැටියට සළකලා බැරිද සාධාරණ මිලකට මේක දෙන්න?” ඔහු ඇසුවේය.

මේ කතා බහ කළමණාකාරවරයාට ඇසිණි. ඔහු පිලිප් මහතා වෙත පැමිණ මෙසේ පැවසුවේය.

“සමාවන්න මහත්මයා, ඔබ දන්නවානේ මේක ග්‍රොසරියක්. අපට තියෙන්නේ නිශ්චිත මිල ගණන්. හැමදේකට ම මිල කළ වටිනාකමක් තියෙනවා. ඒවා වෙනස් කරන්න අපට හැකියාවක් නැහැ”

ඒ වියළි, කර්කශ වදන් හා හැසිරීම පිලිප් මහතාගේ සිත රිදවීය. ඔහු මඳ වේලාවක් කල්පනාවේ නිමග්න ව සිට අතට ගත් කෙසෙල් ඇවරිය නැවතත් රාක්කය මත තබා, ග්‍රොසරියෙන් පිට ව, ආපසු මහලු කාන්තාව වෙත එළඹුණේය.

ඔහු හඳුනාගත් ඇය අසරණ ලෙසින් මෙසේ පැවසුවාය.

“අනේ මහත්තයෝ ඒ ගාණට නං දෙන්න බැහැ. එහෙම දුන්නොත් මට කිසිම ලාභයක් නැති වෙනවා”

“ගාණ ගැන කලබලයක් ඇති කරගන්න එපා අම්මේ, මං දෙනවා එක කිලෝවකට ඔයාට ඩොලර් 10 ගානේ!. හා… දැන් මට දෙන්න කෙසෙල් කිලෝ දෙකක්!”යි පුළුල් සිනාවකින් මුව සරසා ගත් පිලිප් මහතා පැවසුවේය.

ඔහුගේ වදනින් අතිශයින් සතුටට පත් වූ මහලු කාන්තාව කෙසෙල් කිලෝ දෙකක් පාර්සල් කළාය.

“මට ඩොලර් 10ක් නං ගන්න බැහැ මහත්තයෝ. මට ඩොලර් 7 ගානේ ලැබුණහම හොඳටම ඇති. හැබැයි මහත්තයාගේ කරුණාවන්තකම ගැන නම් මට හරිම සතුටුයි” එය ඔහුට දෙන අතරේ ඇය පැවසුවාය. අනතුරුව ඇය සිය කතාව මෙසේ දිගු කළාය.

“මගේ මහත්තයාට පළතුරු කඩයක් තිබුණා. ඒයා ඒක හොඳට කරගෙන ඉන්න අතරේ එකපාරම බරපතල විදිහට අසනීප වුණා. අපිට දරුවොත් නැහැ, උදව්වක් උපකාරයක් ඉල්ල ගන්න තරම් නෑයොත් නැහැ. අවසානේ එයාගේ බෙහෙත් හේත් වියදම් ගෙවාගන්න ඒ කඩේ විකුණන්න වුණා. කොච්චර දේවල් කළත් එයාව බේරගන්නත් බැරි වුණා,” වියළි දෙකොපුල් දිගේ ගලා ගිය කඳුලු වැල් පිස දැමූ ඇය මෙසේ ද පැවසුවාය.

“මං මැරෙනකම් ජීවත් වෙන්න එපැයි මහත්තයෝ. ඉතිං අතේ තිබ්බ සල්ලි ටිකෙන් කෙසෙල් අරගෙන පොඩි ලාභයක් තියාගෙන විකුණලා මේ විදිහට ජීවත් වෙන්න හිතුවා”

“දුක් වෙන්න එපා අම්මේ, මේ ඔයා‍ හොඳට වෙළඳාම කරන්නේ. හෙට ඉඳන් මං ඔයාගෙන් ම විතරයි කෙසෙල් ගන්නේ,” පැවසූ ඔහු පසුම්බියෙන් ඩොලර් 100ක් ගෙන ඇගේ අත තැබීය.

“මේක ගන්න. හෙට ඉඳන් කෙසෙල් විතරක් නෙමෙයි. තව පළතුරු ජාති ගේන්න. මේක අත්තිකාරම් මුදලක් විදිහට හිතා ගන්න!. ඉස්සරහට මං ඔයාගෙන් මිලදී ගන්න පළතුරු වලට හිලව් වෙන අත්තිකාරම් මුදලක් විදිහට හිතා ගන්න!. එක එක පළතුරු ජාති ගොඩක් ගෙනාවොත් ඔයාගේ ලාභය තව ඉහළ යනවා මට විශ්වාසයි”යි ඔහු සිනාසෙමින් පැවසුවේය.

මහලු කාන්තාව ඔහුට බොහෝ සෙයින් ස්තුතිවන්ත වූවාය.

පසුව පිලිප් මහතා ඔහුගේ කන්තෝරු සගයන්ටත් තව දන්නා හඳුනන අසල්වැසියන්ටත් ඒ මහලු කාන්තාවගේ පළතුරු තට්ටුව ගැන පැවසුවේය. ඔහුගේ උපකාරය නිසාත්, දිනෙන් දින වැඩි වූ ගැණුම්කාර පිරිස නිසාත් ඇගේ ඉදිරි දිවිය සතුටුදායක ලෙස ගෙවී ගියේය.

Randika

අන්තර්ජාල ලිපියක් ඇසුරින් පරිවර්තනය
රන්දිකා රණවීර ප්‍රනාන්දු

One Comment

  1. Ranjith Thilakasiri says:

    Very emotional story.Good.