මොහාන් රාජ් මඩවලගේ සාහිත්‍ය පිළිබඳ කෙටි සටහනක්.

mohan-rajs-book
මොහාන් රාජ් මඩවල මට සාහිත්‍යමය ලෙස සම්මුඛ වූයේ ඔහුගේ “බෝදිලිමා” කෙටිකතා සංග්‍රහයෙනි. ගැටවර වියෙහි වූ මට එහි අමුතු රසයක් වූයේ ය. සයිමන්ගේ සෙවණැලි ඒ අස්සේ තිබුණේ ය. සර්පයා පැවසුවාක් මෙන් එකල කොහොමත් “වෙන්ඩ සයිමන්ලා” වැහි වැහැලා සිටි සමයකි. ඒ අව්-අස්සේ වුවද මොහාන් බෝදිලිමා හරහා වැඩක් කර තිබුණේ ය.

විනෝද කර්මාන්තය සිය මජර අඬු-පඬු දිගහරින්නට පටන්ගත් සමයේ සිට ඒ අඬු-පඬු අස්සේ බෝ කාලයක් ගෙවූ මොහාන් නැවත සාහිත්‍ය නිර්මාණයට පිළිපන්නේ මෑතක දී ය. “බෝදිලිමා” ලිව් යුගයේ මොහාන් කෙනෙක් හෝ එතැන් සිට ක්‍රමිකව සාහිත්‍යමය ලෙස සංවර්ධනය වූ මොහොන් කෙනෙක් මේ මොහොතේ ඔහුගෙන් බලාපොරොත්තුවීම අමු ම අමු විකාරයකි. “බෝදිලිමා” ලියන සංදියේ තිබුණාට වඩා ලංකාවේ සාහිත්‍ය කෘති කර්මාන්තය පවා අතිශය වෙනස් වේශයක් ගෙන තිබෙන බව කියනුම කවරේ ද?

ආන්දෝලනාත්මක “මාගම්සෝලියේ” සිට දිගින් දිගට මොහාන් නවකතා කිහිපයක් ලිව්වේ ය. මේ කොදෙව්ව අස්සේ ඒවා බොහෝ කතා-ලතාවට ලක් විය. මෙහි පමණක් නොව කොහිත් ආන්දෝලනයට තුඩු දෙන්නා වූ කාම මාතෘකා අඩංගුව එයට වඩාත් බලපෑම් කළේ ය. පමණක් විචාරකයෝ මොහාන් ලාංකේය ගාර්සියා මාකේස් කෙනෙකු බවට පත් කරන්නට බෝ ලිපි ලිව් බව ද අපට මතක ය.

මොහාන් දක්ෂ බව කවුරුත් පාහේ පිළිගත යුතු ය. තමන්ගේ නවකතාව මාකට් කරන්නට තමන් දන්නා බව ඔහු කියද්දී එය සහතික ඇත්තකි. ශ්‍රී ලංකාව තුළ (සුජීව ප්‍රසන්නආරච්චි සහ සමහරවිට උපුල් ශාන්ත සන්නස්ගල හැරුණු විට) මොහාන් රාජ් මඩවල යනු වැඩි විකුණුම් (Best Seller) නවකතාකරුවා ය. අඩුම තරමේ වැඩිවිකිණුම් ( Best Seller)කෙනෙක් වන්නට ශක්‍යතා පෙන්නුම්කරන නවකතාකරුවා ය. වැඩි විකිණුම් (best Selling) නවකතා ප්‍රවර්ගය යනු නරක යමක් නොවේ. ජනයාට කියවීම හුරුකරන්නට ඊට ඇත්තේ ඉතා වැඩි හැකියාවකි. ආසන්න රටේ වැඩිවිකිණුම් නවකතාකරු චේතන් භගත් උදාහරණයකි. ලොව බලපෑම්සහගත ම මිනිසුන් සිය දෙනා අතරට සහ ලොව නිර්මාණශීලීම මිනිසුන් සිය දෙනා අතරට ඔහු එක්ව ඇත්තේ, ඔහුගේ වැඩි විකිණුම් කෘති හරහා ය. මේ ඔහුගේ වචනයි, ” Today, I write for different reasons. I write for change. A change in the mindset of indian society.”

කවුරුත් නොදන්නේ වුවත් සුජීව ප්‍රසන්නආරච්චි යනු, එක්තරා යුගයක ඉතාමත් ප්‍රබුද්ධ කලාවක් වෙනුවෙන් පෙනී සිටි අයෙක් යැ යි මම අසා ඇත්තෙමි. නමුත් ඔහු ඔහුගේ පාර තෝරාගත්තේ ය. අනෙක් නවකතාකරුවෝ සිය නවකතා දහය-පහළොව බැගින් ගෙන ගොස් පොත් සාප්පුවෙත බාරදෙද්දී සුජීව සිය නවකතා බෙදා හරින්නේ වෑන්රථ මගිනි. අවුල පැන නගින්නේ සුජීව වැඩි විකුණුම් නවකතාකරුවෙක් වුවත් කියවන්නන් එතැනම තබා ගන්නෙක් වන නිසා ය. කියවීම හුරුකරන පන්නයේ වැඩිවිකුණුම් නවකතාකරුවෙකුගේ හිස්තැනක් ලංකාවේ සාහිත්‍ය අවකාශයේ තිබේ. සුජීව එය කිසිදා පුරවන්නේ නැත.

මොහාන් ගනිමු. බරසාර සාහිත්‍යකරුවෙකු ලෙස සංවර්ධනයවීමේ අවකාශය හැර දමා ( මෙය විවාදාපන්න වුවත් අවැසි නම් කරුණු සහිතව ඔප්පු කළ හැකි ය) ඔහු විනෝද කර්මාන්තය අස්සට රිංගුවේ ය. එහි දී ඔහු විකිණුම් කලාව උගත්තේ ය. මොහාන් සතුව කතාන්තර ගෙතීමේ ඉතා හොඳ හැකියාවක් තිබේ. එසේ ම මාකට් කරන්නට හැකි කතා වස්තුවක් සොයන්නට ද හේ අතිදක්ෂ ය. ඉතිහාසයෙනි. ඉතින් ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යැ යි ඔහු සිතා සිටිනා ටිකක්, ස්ත්‍රීවාදය හෝ ජාතික ගැටලුව සම්බන්ධයෙන් ටිකක්, ශෘංගාර කලාපයෙන් ටිකක්, මනබන්දනීය ප්‍රේම ජවනිකා ටිකක් ආදී වශයෙන් පත-අටක් ගෙන එකට සිඳුවා කෘතියක් බවට පත් කරයි. එය විකුණන්නට හැකි ය. එක එක කෝණවලින් බලා විචාරකයන්ට අවැසි නම් විචාරන්නට ද හැකි ය. කර්තෘවරයාට අවැසි නම් විචාරකයන් කරකවා පොළොවේ ගසන්නට එකී කෘති ඉඩ-හසර සපයයි.

මොහාන් මාකට් එකේ දී නිර්භීත වූවාට කෘති අස්සේ ප්‍රබුද්ධ/ඉන්ද්‍රජාලික යථාර්ථවාදී/ සම්භාව්‍ය හැව ගලවා දමන්නට නිර්භීත වන්නේ නැත හෝ එයත් වෙළඳ උපක්‍රමයක් ලෙස ගෙනයනවා වන්නට පුළුවන. ඒ ගැන විරෝධයක් ඇත්තේ ද නැත. නමුත් මේ තත්වය දිගින් දිගට ම පවත්වාගෙන යන්නට මොහාන් අසමත්වන දවසක් එන බව නිසැක ය.

මොහාන්ට බිම පෙරළාගෙන පහරදෙන්නන්ද, ලාංකේය ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ පියා ලෙස මොහාන් අභිෂේක කර ගලේ පැහැරූ බළලුන්ව සිටින ඔසවා තබන්නන්ද මොහාන්ට සේ ම ලංකාවේ සාහිත්‍යයට ද කරන්නේ අකටයුත්තකැයි හඟිමි. කෘතිය නිෂ්පාදනය කර විකුණාගන්නට ද දන්නා මොහාන් රාජ් මඩවලට අවැසි නම් පිරවිය හැකි ඉඩක් සහ කාර්යභාරයක් ද ඇති බව පමණක් අවසාන වශයෙන් සටහන් කර තබමි.

(මොහාන් රචනය කළ මාගම් සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා සහ රැජින යන කෘති සියල්ල ම මම කියැවූවෙමි.)

sandun
සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.