වස-විස නැති කෘෂිකර්මය සිහිනයක් ද? සැබෑවක් ද? (01 කොටස)

paddy-01(
වස-විස නැති කෘෂිකර්මාන්තයක් පිළිබඳව අප රටෙහි පමණක් නොව ලොව පුරාද මේ වකවානුවේ ඇත්තේ පිබිදීමකි. උග්‍ර වශයෙන් කෘෂිරසායන යෙදීම හරහා ලොව පුරා පැන නැගී ඇති පාරිසරික සහ ජෛව විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක ගැටලු එයට හේතු වී තිබේ. කෙසේ වෙතත් එක්වනම රසායන පොහොරවලින් විතැන්ව කාබනික වගාවකට යොමුවීම කළ නොහැක්කකි. එයින් වඩාත් අර්බුද මතුවේ. ගයාන් ලියනගේ මහතා කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කරන කෘෂි සමාගමක නිලධාරියෙකි. ඔහු ක්ෂේත්‍රයේ කටයුතු කරන්නෙකි. ඔහුගේ මෙම ලිපි පෙළ රසායනික ගොවිතැනෙහි ඇති දුර්විපාක සේම කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමෙහි ලා මතුවන ගැටලු පිළිබඳ ව සාකච්ඡා කරන්නකි. මෙයට වෙසෙස් අදහස් හෝ ප්‍රතිචාර කෙරෙහි ද අප වෙබ් අඩවිය විවෘතය. – සංස්කාරක)

වස-විස නැති ගොවිතැනකට රටක් ලෙස අප යන්නේ නම් සියල්ලට පෙර අප නිවැරදි කරගත යුතු ප්‍රධාන කාරණාවක් ගණනාවකි. එවැනි එක් ප්‍රධාන කරුණක් මෙලෙස දක්වමි.

අප පාරම්පරික වී වගා ක්‍රියාදාමය වුයේ,
පුරන් කෙටිම
දෙකෙටුම් කෙටිම
පෝරු ගා වැපිරීම

ලෙසයි.
අපගේ අදහස එම පැරණි ක්‍රමයට යාමක් පිළිබඳව නොව, එහි තිබූ හරයන් පිලිබඳව අවධානය යොමු කිරීමයි. පුරන්කෙටීම ගතහොත් එහිදී ලියැද්දට වතුර බැඳ පස පෙඟෙන්නට හැර, එහි ඇති වල්ඇට වර්ගවලට පැළවීමට යම් කාලයක් ලබා දී පැළවුණ වල්පැලද සමඟම පස් පිඩැල්ල අනෙක් පසට හරවා දැමීම යි.

එමගින් සිදු වූ ප්‍රධාන කාර්යය වූයේ පස බුරුල්කර මඩ සෑදීම වුවත්, තවත් බොහෝ අතුරුඵල රැසක් එමගින් ගොවියාට හිමිවිණ. එ් අතරන් එකකි, පත්‍ර දෙක-තුන ඉහළට එසවුණු වල්පැළ මඩට යටවී තැම්බි යාම. එමගින් වී ගසට වර්ධන අවධියේ දී තරඟයක් දීමට තිබූ වල්පැළ තරගයක් දෙනු වෙනුවට වී ගසට පොහොර වී තැම්බි යයි. තවද ඉපනැල්ල ද එලෙසම පසට පොහොරක් ලෙස එකතු පහදු වී ගොයම සරු කරයි.

නමුදු අද පුරන් කෙටීම කෙරෙහි ප්‍රායෝගිකව බලපාන ප්‍රශ්න කිහිපයක් පැන නැගී තිබේ. එ්වා නම්, පුරන් කෙටීමට පෙර අඩුම වශයෙන් ලියැදිවල ජලය සතියක්වත් බැඳ තැබිය යුතුවීම සහ ශ්‍රම සපයා ගැනීමට ඇති දුෂ්කරතාවයයි. ඉහත ක්‍රමයට වගාව කරගෙන යාමේදී මඩ වැඩ සඳහා ජල සැපයුම් කාලය මසකට අසන්න කාලයක් තිබිය යුතුම වේ. දැනට ඇති ප්‍රධානම ගැටලුව ඇත්තේ එතනය. එනම් අප ගොවියනට වාරි ජල සැපයුම ලබා දෙන්නේ දින 15 හෝ 20කි. එම කාලය තුළ ඔවුන් තම වගාබිම සකසා වපුරා අවසන් කළ යුතුය. ඉන්පසු මඩ වැඩ සදහා ජලය ලැබන්නේ නැත.

ඔවුන් කුමක් කරන්නද? වල් මරා ගැනීමට පූර්ණ වල්නාශකයකුත්, වපුරා පසුව තෝරා නසන වල්නාශකත් අධික මුදල් දී කුඹුරට හළා දමනු මිස වෙන මඟක් ඔවුන් ඇත්තේ නැත.

වස-විසෙන් තොර ගොවිතැනක් කරා යන ගමනට මෙය නම් අනිවාර්යයෙන්ම විසඳා ගතයුතු කරුණකි. මෙය මූලිකම ගැටලුවකි. ජලය බෙදාදෙන්නේ රාජ්‍යය ආයතන මගිනි. වැව් සහ ජලාශවලිනි. එසේ නම් වැව් සහ ජලාශ පද්ධතිය අදාළ ජල පරිමාව රඳවා තබා ගැනීමට සමත් විය යුතුවාක් මෙන්ම ආයතන ද එම අරමුණ පෙරදැරිව නිසි කළමනාකාරිත්වයකින් බෙදා දිය යුතු වෙයි.

ශ්‍රමය ගැන කතා කරන විට පළමු හීයට පුරුදු රොටරිය වෙනුවට තැටි නගුල් දෙක භාවිතා කළ හැකිය, යන්න අපගේ මතයයි. එමගින් සිදුවනුයේ ද පස අනෙක් පසට පෙරළී යාම වන නිසා පුරන් කෙටීමක දී ලැබෙන්නාවූ වාසි සහගත තත්වයම ලැබයි. මෙය තරමක් මිල අධික ක්‍රමයක වන නමුදු රසායනිකවලට යන වියදම් හා සැසඳීමේ දී එතරම් නොවේ.

පළමු හීයට තැටි නගුල භාවිතා කර ඉන් පසු පුරුදු රොටරිය දෙහීයට භාවිත කළ හැකිය.

මතු සම්බන්ධයි.

gayan
ගයාන් ලියනගේ

Comments are closed.