හුළං ගිය බැලුමකට කටින් හුළං පිඹීම!

maithree-with-mahinda
ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මඟුල් ලු. මේ දිනවල ඊනියා ඒකාබද්ධ විපක්ෂයටත් එසේ ම ජය මඟුල්. සියලු හොර තක්කඩින් ගේ කටවලට පණ ඇවිත්. උන් වහසි බස් දෙසන්නේ තරගයට. මාධ්‍යයට ද බඩ කට පිරෙන්නට සප්පායම් වන්න පිළිවන්.

ආසන්න ම හේතුව ගරු ජනාධිපතිගේ මෑත කියමනක්. හිටපු ආරක්ෂක ලේකම් සහ සන්නද්ධ හමුදා නායකයන් කිහිප දෙනෙකුන් ප්‍රශ්න කැරීමට මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා යාමෙන් ජනාධිපතිවරයා උදහසට පත් ව ඇති සැටියෙකි එම කියමනෙන් පෙනුණේ.

අවශේෂ පුද්ගලයන් එසේ කැඳවීමෙහි දී ජනාධිපතිවරයා එසේ සංවේදී වූ බවක් නම් වාර්තා ව නැත. දැනුවත් ව හෝ නොදැනුවත්ව හෝ එතුමාට නීතිය ඉදිරියෙහි සියලු පුරවැසියන් සමාන බවල ඔවුන්ට සමාන ව සැලැකිය යුතු බව අමතක ව ඇති සේ ය. මෙම අසමාන සැලැකිල්ල යහපාලනයට නම් කොහෙත් ම ගලපන්නට බැරි ය. පැරැදුණු හොර නඩයෙහි ඉල්ලීමක් වූයේ ද එසේ සමාන ලෙස නොසලකන ලෙස ය. දේශපාලන සහ හමුදා නායකයන් පූජා භාණ්ඩ සේ වන්දනීය පූජනීය වශයෙන් සැලැකිය යුතු බව ය. ඉදින් උන්ට ජය මඟුල් බව කියන්නටත් අහන්නටත් ඕනෑ ද?

ඇතැම් විට ජනාධිපතිවරයා තැත් කරන්නේ හොර නඩයෙහි පිරිස් අතර ජනප්‍රියතාව ගොඩ නඟා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙඩිය පිටින් තමන් අතට ගන්නට විය හැකි ය. එහෙත් එසේ කැරීමෙන් ඔහු තමන් බලයට පත් කළ ජනතාවගෙන් ඇත්වන බව නොතේරීම ඔහු ගේ පමණක් නොව ජනතාව ගේ ද අභාග්‍යයකි.

එම කතාවෙහි අනෙක් ආනිශංසය ආණ්ඩුවෙහි සමගිය බිඳී යාම ය. දැනටමත් දෙපැත්තේ මැති ඇමැත්තෝ උනුනුන් කුළල් කා ගන්නේ ප්‍රසිද්ධියේ ම ය. ඒ ගැන එතරම් දුක් නොවුව ද මෙම අවස්ථාවෙහි ප්‍රගතිශීලී විකල්පයක සේයාවක් වත් නැති හෙයින් එය ද ඛේදවාචකයකි.

ජනාධිපති රාජ්‍ය සේවාව රැක ගැනීම ගැන කුමක් කීව ද ඔහුගේ මෑත ප්‍රකාශයෙන් හොරකමට, දූෂණයට සහ අල්ලසට එරෙහි ව එඩිතර ව කටයුතු කරන රාජ්‍ය සේවකයන් අධෛර්යයට පත් වන අතර ඒ සඳහා පිහිටුවා ඇති ආයතන ද අකර්මණ්‍ය විය හැකි ය.

සංහිඳියාව ගැන ද එසේ ම ය. ගෝඨාභය රාජපක්ෂ සහ වරදෙහි බැඳුණු බවට චෝදනා ගත් නිලධාරීන් වෙනුවෙන් ජනාධිපතිවරයා දුක් ගන්නා රාළ ගේ චරිතය රඟ පෑම හානිකර ය.

ජනාධිපතිවරයා කුමක් කීව ද එය අනුමත කරන හෙංචයියන් පිරිසක් ගිරවුන් මෙන් ඒකාබද්ධ විපක්ෂයෙහි ම හොරණෑවක් ව සිටීම එක් අතකින් ජනතාව ගේ ඇස් අරවන්නක් විය යුතු අතර අනෙක් අතින් ඔවුන් ගේ අවස්ථාවාදය හෙළිදරවු කරන්නකි.

රටෙහි දේශපාලන නායකත්වයෙහි පවත්නා රික්තය පුරවන්නට සමත් වාම සහ ප්‍රගතිශීලී බලවේගයක් නැතිකමෙහි පාඩුව කියා නිම කරන්නට බැරි ය. අන්තිමයා දක්වා විනාශ වුවත් හණමිටිය සහ වලව්කාර අහංකාරය අත්හරින්නට බැරි පැරැණි වමටත් මහ ජාතියෙන් හැසිරීම අත්හරින්නට බැරි ඒ සා අලුත් නොවුවත් පණහ පැන ඇති නව වමටත් වමේ සමගිය සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලකට එළැඹෙන්නට නොහැකි වීම ඊටත් වඩා විශාල ඛේදදවාචකයකි.

කවුරුන් කෙසේ වලි කෑව ද ඒකාබද්ධ විපක්ෂයෙහි සිහින සැබෑ වන්නේ නැත. ජනාධිපතිවරයා ගේ කතාව වුවත් හුළං ගිය බැලුන් බෝලයකට කටින් හුළං පිඹීමට වැඩි දෙයක් නො වේ. පිඹ අවසන් වන විට ම හුළං බැහැලා ය. දිවෙන් ගැට ගසා හෝ බැලුම පුම්බා තබා ගත හැකි නො වේ.

Comments are closed.