අළු යට ගිනි!

wigee
අපේ ගැමි ළඳුන් ඇතැම් විට පෙරැ දින රැයෙහි සිට අලු යට සැඟැ ව තුබූ ගිනි පුළුඟු අවුලුවා ලිප ගිනි දල්වන්නේ බටයකින් කටින් පිඹ හෝ අන් අයුරකින්. එබැවින් වැළැලී ගිය නපුරක් යළි ගොඩ ගන්නට තැත් කැරීම ජන වහරෙහි හඳුන්වන්නේ අලු යට ගිනි ඇවිළවීමක් සේ.

මෙම දිනවල අප රටෙහි එබඳු ගිනි ඇවිළවීමෙහි තරගයක් ඇත් දෝ යි සැකයක් මතු වන්නේ දේශපාලකයන් තරගයට මෙන් කියන වාචාල කතා ඇසීමෙන්. හැම දා එබඳු කතාවලින් පිටත යමක් නොකියන මහින්ද රාජපක්ෂ (ම. රා.) නඩය පසෙක තැබුව ද උතුරට ගොස් සංහිඳියාව දෙසන සමහර මැති ඇමැතියන් සහ මහ ඇමැතින් දකුණෙහි දී වහසි බස් දෙඩවීමෙන්.

දෙබරයකට ගල් ගැසුවාක් මෙන් මොවුන් ඇවිස්සී ඇත්තේ නොබෝ දා යාපනයෙහි පැවැති හර්තාලයෙන්. එබන්දක් සිදු වූයේ එහි මහ ඇමැති ගේ ජාතිවාදී පිළිවෙත නිසා යැයි නිගමනයකට වන් ඔවුහු පුවත් වාර්තාවල ලොකු අකුරු සිරස්තල පමණක් කියවමින් කුඩා අකුරින් වූ අන්තර්ගතය බැහැරැ ලා ඇති සැටියෙකි. අන් අයුරකින් කියන්නේ නම් එම හර්තාලයට පාදක වූ ප්‍රශ්න සලකා බැලීමක් හෝ එම ප්‍රශ්න එම මට්ටමට කෙසේ දියුණූ වී ද සහ ඒ සා ජන සහභාගිත්වයක් හර්තාලයට ලැබුනේ මන් දැ යි සලකා බැලීමක් සිදු ව නැත. ප්‍රතිචාරයට පෙරැ කළ යුතු වන්නේ ද එය මැ යි.

සිංහල මාධ්‍යවේදීන් විසින් ම පළ කරන ලද පුවත් වාර්තාවකට අනුව දෙමළ ජනයා තුළ පවතින සැකය විරෝධයට මුල් ව ඇත. උතුරේ බෞද්ධ ජනතාව වෙසෙන්නේ නැති තැන්වල බෞද්ධ වෙහෙර විහාර ඉදි කැරීම සහ දෙමළ ගම්මානවල පිටස්තර සිංහල ජනයා පදිංචි කැරැවීම නිසා මහ ජාතිය තමන් ජීවත්වන ප්‍රදේශ ආක්‍රමණය කරතැ යි සැකයක් පවත්නා බවත් ඒ ගැන ඔවුන් කණගාටු වන බවත් උතුරේ මහ ඇමැති කියනවා.

මෙය අරුමයක් යැ? සිංහල බෞද්ධ ජනයා ද සිය ප්‍රදේශයන්හි අන්‍ය ආගමික දේවස්ථානවලට සහ අසිංහලයන් පදිංචියට විරෝධය පා ඇත. වහස් බස් දොඩන්නවුන් ම එම විරෝධතා මෙහෙයවා ඇත. ප්‍රශ්නයට මුල සැකයෙකි. සැකය දුරු කළ යුතු. නැතහොත් සැක නූපදින සේ කටයුතු කළ යුතු.

නව රජය යටතේ ද පොරොන්දු වූ සහන නොලැබීම විරෝධය මතු වන්නට තවත් හේතුවක්. එසේ නම් ඒ ගැන ඇති සැක දුරු කැරීම නැත් නම් පොරොන්දු කඩිනමින් ඉටු කැරීම කළ යුතු නො වැ? එහි දී අහෝසි කරන බවට පොරොන්දු ව ඇති අත්තනෝමතික ත්‍රස්තවාදය වැලැක්වීමෙහි පනත යටතේ අත්අඩංගුවෙහි සිටින්නවුන් නිදහස් කැරීම එක් පොරොන්දුවක්. එසේ කරන්නට දින පවා ගිවිස ඉටු නොකැරීම සැකයට හේතු නො වන්නේ ද? ඒ වෙනුවට “දේශපාලන සිරකරුවන්” නැතැ යි දකූණට ගොස් පාරම්බෑම කුහක කමක් නො වන්නේ ද? එම පනත යටතේ ම රඳවා සිටි බොහෝ දෙනා ඉකුත් රජයත් නිදහස් කැරැ ඇති කල පමාවට හේතු කිම?

සැකයට තවත් කරුණක් වන්නේ හමුදාව සන්තකයට ගෙන ඇති උතුරු වැසියන් ගේ ඉඩම් ඔවුන් වෙත ආපසු භාරදීමෙහි පමාව හෝ මන්දගාමී බව. මෙය ඉටු කරන්නට දින නියම කැරැ තිබිය දීත් එයට පටහැණි කතා මැති ඇමැතින් මෙන් ම අවශේෂ සුළු මුලාදෑණින් විසින් ද කැරෙනවා.

නව රජය යටතේ ද වධහිංසා කළ අවස්ථා කිහිපයක් ගැනත් ඔවුන් චෝදනා කරනවා. ඒවා විභාග කැරීමෙන් ඇත්ත දැන ගත හැකි නො වැ? කළ යුතු වන්නේ එය ම නොවැ?

එසේ ම අතුරුදහන් වූවන් ගැන සොයාබැලීමෙහි කටයුතුවල පමාවත් එහි දී වින්දිතයන් ගේ පවුල්වලට සාධාණය ඉටු කරවා ගැනීමට නොහැකිවීමත් ජනතා සිත් සසල කරවන තවත් කරුණකි. එසේ ම යෝජිත යුද අපරාධ යාන්ත්‍රණය පිළිබඳ ව ද පවතින්නේ සැකයෙක්. එම සැකයට හේතු වන අත්දැකීම් ද නැත්තේ ම නො වේ.

පොරොන්දු ඉටු නොවීමෙහි පමාව ගැන උතුරේ පමණක් නොව දකුණේ ද චෝදනා නැඟෙනවා. දෙකම ජනතා ප්‍රතිචාර. අපේ ම ජනතා ප්‍රතිචාර. එය උරණ වීමට හෝ උදහසට හෝ කරුණක් නො වේ.

උතුරේ මහ ඇමැති ම කියන පරිදි විරෝධය හට ගෙන ඇත්තේ “දෙමළ භාෂාව කතා කරන අප ගේ ජනතාව ගේ සිත් තැවුල් අවිශ්වාසයන් ගැන කනගාටුව පළ කිරීමේ අවශ්‍යතාව නිසයි.” එහෙව් කල මහ ඇමැතිට ප්‍රභාකරන් ගේ ඇඳුම් ආයිත්තන් ඇන්දවීම කෙතරම් සාධාරණ ද?

යුද්ධය නිමා ව සත් වසරෙකිග දෙමළ විමුක්ති කොටි සංවිධානය උතුරු නැඟෙනහිර හෝ මෙරට අන් තැනෙක හෝ හිස එසැවීමෙහි ඉඩකඩක් සැබැවින් ම මහ පොලොවෙහි නැත. වෙන ම රටක් ඉල්ලා සිටින්නෝ ද නැත්තා හ. මෙම පසුබිම තුළ උතුරින් නැඟෙන ෆෙඩරල් යෝජනාව ගැන කුපිත වන්නට හෝ බිය වන්නට හෝ කරුණු වෙත් ද? මඳක් විමසමු.

මෙරට ෆෙඩරල් යෝජනාව පළමුවෙන්ම ආවේ උඩරට සිංහලයන්ගෙන්. ඒ දැනට දශක නවයකට පමණ පෙරැ. දෙමළ ජනයා ෆෙඩරල් ධජය අතට ගත්තේ නිදහසින් පසු. ඒ සිය නව අත්දැකීම් සමග. ෆෙඩරල් යනු රට බෙදීම නොව රට එකක් සේ පවත්වා ගැනීමෙහි ම එක් ක්‍රමයක්. ලෝකයෙහි ෆෙඩරල් රාජ්‍ය බොහෝ ය. හැරත් දැන් දැන් ලෝකයෙහි ප්‍රවණතාව ෆෙඩරල් සහ ඒකීය ක්‍රමයන්හි අංග මුසු වන දෙමුහුන් ක්‍රම පිළිගැනීම. නිදසුනක් ගතහොත්, ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයක් වුවත් එහි ඒකීය රාජ්‍යයන්හි පවත්නා බල සංකේන්ද්‍රණයක් ද පවතී. මහා බ්‍රිතාන්‍යය ඒකීය රාජ්‍යයක් වුව ද ෆෙඩරල් ලක්ෂණ එහි පවතිනවා පමණක් නොව ප්‍රාන්ත රටවලට වෙන ම පාර්ලිමේන්තු පවා ඇත.

දකුණේ ෆෙඩරල් භීතියට සමාන භීතියක් උතුරේ ඒකීය රාජ්‍ය ක්‍රමයට ද ඇති බව අමතක නොකළ යුතු. මෙම අන්‍යොන්‍ය සැක දුරු කැරැ ගත හැකි වන්නේ වහසි බස් දෙඩීමෙන් හෝ යුද වැදීමෙන් හෝ නොව සාකච්ඡාවෙන්. ශීලාචාර ක්‍රමය එය යි. ඇත්තට ම සැක මුසු වචන භාවිතය ඉවත ලා රජයෙහි පැවැති යුතු අංගෝපාංග පිළිබඳ එකඟතාවකට පැමිණීම යි වැදැගත්. ශ්‍රී ලංකාව පූර්ණ එක් රටක් වශයෙන් පැවැත්ම එමඟින් සහතික වනු ඇති. දිය තලියෙහි කිඹුලන් දකින්නට වුවමනා නැහැ.

රාජ්‍යයක ස්වභාවය තීරණය වන්නේ එහි හරයෙන් මිස ස්වරූපයෙන් හෝ පෙනුමෙන් නො වේ. එහෙයින් වඩා වැදැගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා සුභ සිද්ධියට අදාල හරය යි. ෆෙඩරල් වුව ද ඒකීය වුව ද ඒකාධිපති හෝ අත්තනෝමතික හෝ රජයක් අනර්ථකාරී ය. මෙරට දේශපාලකයන් සහ ගිහි පැවිදි උගතුන් ඒ ගැන අඩු අවධානයක් යොමු කරන බවකි ව්‍යාජ දේශප්‍රේමී ඝෝෂාවලින් සහ මාධ්‍ය සංදර්ශනවලින් දිස් වන්නේ.

මෙහි දී මතකයෙහි රඳවා ගත යුතු කරුණූ දෙකකි. එකක් වන්නේ ඒකීය රාජ්‍යය මෙරටට හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින් බව. ඉතිහාසයෙහි පැවැතියේ ඒකීය නොව ප්‍රාන්ත රාජ්‍ය සමග රාජධානි පැවැතීමකි. එක්සේසත් කළ කල ද පැවැතියේ එක්සත් රාජ්‍යය මිස ඒකීය රාජ්‍යයක් නොවේ .

වර්තමාන ගැටලුවලට ඒ අනුව විසඳුම් යෝජනා කැරීම විකාරයක් බව. එසේ හාරා ඇවිස්සීමෙන් පැන නැඟෙන තවත් උභතෝකෝටිකයක් විය හැකි වන්නේ පළමු වැ ආවේ කිකිළිය ද බිත්තරය ද යන පැනයට සමාන තත්ත්වයකි.

මැති ඇමැතියන් මෙන් ම ඇතැම් බුද්ධිමතුන් ද නඟන තර්කයක් වන්නේ පවත්නා ජාතික සංහිඳියාව බිඳෙන්නට හැකි බැවින් ආණ්ඩුව සහ ම.රා. නඩයෙහි මතයන්ට පටහැණි යෝජනා ඉදිරිපත් කැරීම අනුවණකමක් බව. එහෙත් එසේ නිහඬ වීමෙන් ප්‍රතිගාමිත්වය බලවත් වැ සංහිඳියාව සහමුලින් ම වැළැලෙන්නට ද පිළිවන්. ඇත්තට ම සංහිඳියාව තහවුරු කරන්නට කළ යුතු වන්නේ ඊට කැමැති ජනමතය පෙළ ගස්වා වීදි බැස්ස වීම මැ යි.

රට බෙදීම වලක්වන්නට කළ යුතු වන්නේ සියලු ජන කොටස් සමග කතා බස් කැරැ එකඟතාවකට ඒම. ඒ සඳහා ඒ හැම කොටසක ගේ යෝජනා ඉදිරිපත් කරන්නට සහ සාකච්ඡා කරන්නට අවස්ථාවක් දීම. ආරම්භයෙහි ම කොන්දේසි පනවමින් ඇතැම් යෝජනා ඉදිරිපත් කැරීම ම වලක්වන මුරණ්ඩු පිළිතෙකින් එය සිදු කළ හැකි නො වේ. ඒ සඳහා බලය බෙදීමට අමතර ව මධ්‍යම රජයේ වගකීම්වලට සියලු ජන කොටස් හවුල් කැරැ ගැනීම ද අනිවාර් ය යි. ඇතැම් රටවල ඒ සඳහා ම දෙවැනි මන්ත්‍රී මණ්ඩල පවා පිහිටුවා ඇත.

අද රට තුළ ඇත්තේ දශක ගණනාවකින් අත් නොදුටු සංහිඳියාවක්. එහෙත් එය ඉතා සංවේදී තත්ත්වයක්. බිඳෙනසුළු තත්ත්වයක්. එහෙයින් පරෙස්සමින් කළමනාකරණය කළ යුත්තක්. හැම විකටයා ම, වෙසෙසින් ම සිය පිලේ විකටයන් වේදිකාවෙහි බඩ පිණුම් ගසන්නට වුවහොත් ආණ්ඩුවට දෙයියන්ගේ ම පිහිට යි.

jayathilake
ජයතිලක ද සිල්වා

(2016 සැප්තැම්බර් 29 වැනි දින ලංකාදීප පුවත්පතෙහි පළ වූ ලිපියකි)

Comments are closed.