ළදැරියකගේ උපත (මැරලින් මොන්රෝගේ දිවි පවත – පළමු කොටස)

monroe-baby
පෙරසටහන෴

මෙම ලිපි පෙළට පෙරසටහනක් අවශ්‍ය බව හැඟෙයි. මන්දයත් ජනප්‍රිය කතිකාවක් අස්සේ ස්ථානගතවන මැරලින් මොන්රෝ වැන්නියක් නිවහල් වෙත කැඳවන්නේ කුමකට දැ යි අප පාඨකයන් සිතන්නට ඉඩ ඇති බැවිනි. මොන්රෝ යනු නිරූපිකාවක්, සිනමා නිළියක් සේ ම ලොව එක්තරා කාලයක පුවත් මවන්නියක් වූ බව කවුරුත් පාහේ දන්නා කරුණු ය. තව විස්තර කරන්නේ නම් විවිධ ජනප්‍රිය තලයේ කතිකාවන්ට යොමු වන්නට හැකි ය. ලොව ධනේශ්වරයේ බලවතා වන ඇමෙරිකාවේ ජනපති ජෝන් එෆ්. කෙනඩි පවා ඒ කතිකාව වෙත ගොඩ වෙනු ඇති.

මොන්රෝ ලොව කතා-බහට ලක්වන වකවානුව වනාහී ඇමෙරිකාවේ විනෝද කර්මාන්තයේ ආරම්භක යුගය යි. සිය වසඟකාරිත්වය ලොවට තිළිණ කළ ඈ ලෝක බල දේශපාලනයට පවා බලපෑම් කළ බව රහසක් නොවේ. මොන්රෝ සිය කැරිස්මාව යොදා ගනිමින් ඍජු දේශපාලනයට නොආව ද ලොව පළමු පුරවැසියාගේ ආර්යාව වන්නට ඈට විජිගීෂාවක් තිබුණු බව කියැවෙයි.

මොන්රෝට පසුව සිනමාව ඔස්සේ ගොඩ නැගුණු කැරිස්මාව ඔස්සේ දේශපාලනයට පිවිසි චරිත එමට ය. තනි පුද්ගල කැරිස්මාවකින් කරන්නට හැකි බලපෑම පිළිබඳ ඒවා සංනිදර්ශන වෙයි. දේශපාලනය වැනි බරසාර විෂයකට එවැනි මැදිහත්වීම් විශේෂ ය. මොන්රෝගේ ජීවිත කතාව මතින් එවැන්නක් කියවීමට හැකි යැ යි අප අදහස් කරන්නෙමු.

(නිවහල් – කර්තෘ)

ඒ 1926 අවුරුද්දේ ලොස් ඇන්ජලීස් නුවරයි. මිනිස් ශ්‍රමය ලාබදායී ලෙස එහා මෙහා කැරකුණ ද ලොස් ඇන්ජලීස් නුවර දියුණුවෙමින් තිබිණි. තෙල් විෂයෙහිලා පිබිදීමක් ඇති වෙමින් පැවතියේය.

ඒ අතර වෙනත් වෙනත් ක්ෂේත්‍ර ද දියුණු වෙමින් එනු දකින්නට ලැබිණි.

විශේෂයෙන්ම හොලිවුඩයට සමෘද්ධිමත් කාලයක් පැමිණි සෙයක් දිස් විය. ලොව ප්‍රකට TCL චීන රඟහල ලොස් ඇන්ජලීස් නුවර විවෘත විය. සුප්‍රසිද්ධ සහ අතිවිශාල චිත්‍රාගාරයන් ද ඇති වෙමින් තිබුණේ මේ කාලයේදී ය. ඉතා ජනප්‍රිය නළු නිළියන් මහජනයාගේ ප්‍රසාදය දිනා ගනිමින් කරළියෙන් පිටතට ද පැමිණෙමින් සිටියහ.

ග්ලැඩිස් පර්ල් බේකර් (1902-1984) මේ වන විට 24 වියේ පසුවූවා ය. චිත්‍රපට කර්මාන්තයේ නළු නිළියන් විසින් රසික ජනතාව මනමෝහනය කරද්දී එම කර්මාන්තයේ ම පිටතට නොපෙනන රැකියාවන්වල ද කාන්තාවන් යෙදී සිටියෝ ය. ග්ලැඩිස් ද නිරත ව සිටියේ, RKO චිත්‍රාගාරයේ චිත්‍රපට සේයා පටලවල නෙගටිව් කපන්නියක් ලෙසින් සේවය කරමිනි. ඇයට වයස අවුරුදු 15 දී වයසින් වසර 9ක් වැඩිමහලු ජෝන් නිව්ටන් බේකර් සමඟ විවාහ වූවා ය. එම විවාහයෙන් පිරිමි දරුවෙක් හා ගැහැනු දරුවෙකුට උපත දෙන්නට ඈට සිදු විය. කෙසේ වෙතත් 1921 දී මේ යුවළ නීතියෙන් වෙන් වන බැවින් ඇගේ සැමියා දරුවන් දෙදෙනාද රැගෙන කෙන්ටකී බලා පිටව ගියේ ය.

ග්ලැඩිස් 1924 දී මාර්ටින් එඩ්වර්ඩ් මෝර්ටෙන්සන් සමඟ දෙවැනි වර විවාහ වන විට පවා ඇයට යන්තම් වයස අවුරුදු 22කි. මේ විවාහය ද වැඩිකල් නොරැඳෙන අතර ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත්වන්නට තීරණය කරති.

ග්ලැඩිස් ඇයගේ තෙවැනි දරුවා බිහි කරන්නේ 1926 ජූනි මස පළමුවන දා ලොස් ඇන්ජලීස්හි ප්‍රාන්ත රෝහලක දී ය. ග්ලැඩිස්ගේ ප්‍රියතම නිළියන් දෙදෙනෙකුගේ නම් එකතු කරමින් තම ගැහැණු දරුවාට නෝමා ජීන් මෝර්ටෙන්සන් නමින් නම් තැබුවා ය. එහෙත් දරුවා කුසට ඒමට ප්‍රථම ග්ලැඩිස් තම සැමියාගෙන් වෙන්ව ජීවත් වූ නිසාවෙන් මෙකියන නෝමාගේ සැබෑ පියාගේ අනන්‍යතාවය කිසිවෙකුත් දැන සිටියේ නැත. ග්ලැඩිස් 1928 දී සිය දෙවැනි සැමියා මාර්ටින් මෝර්ටෙන්සන්ගෙන් නීත්‍යානුකූලව දික්කසාද වූවා ය.

ඈට දාව ඇගේ දරුවන්ගේ තෙවැනියා ලෙස මෙලොව එළිය දුටු මේ බිළිඳිය ඈ බෞතීස්ම කරනුයේ නෝමා ජීන් බේකර් නමිනි.

ග්ලැඩිස් මානසිකව මෙන්ම මුදල් අතින් ද දරුවෙක් හදා-වඩා ගැනීමේ වාතාවරණයක නොසිටියා ය. ඒ නිසාවෙන් දරුවා උපන් මොහොතේම ඇයව හදා වඩා ගැනීමට කැලිෆෝනියාවේ හෝත්‍රෝන් පෙදෙසේ ජීවත් වන යුවළක් වෙත භාර කළේ එම පැනයට පිළිතුරක් ලෙසිනි. ක්‍රිස්තු ධර්මය ප්‍රචාරණය කිරීමෙහි යෙදුණු යුවළක් වන ඔවුන් ඇල්බර්ට් සහ අයිඩා බොලෙන්ඩර් විය. මොවුන්ගේ පවුලේ ස්වභාවය අනුව මේ කුඩා දැරිවිය ද දැඩි නීති රීති හමුවේ හදා වඩා ගැනීම නිතැතින් ම සිදු විය. ග්ලැඩිස් ද මොවුන් සමඟ මාස කිහිපයක් වාසය කරමින් තම කුඩා බිළිඳා ඇය රැක බලාගන්නට ගියා ය. එහෙත් ඇයගේ දීර්ඝ වැඩ මුර, දිනපතා යාම් ඊම් කෙමෙන් සති අන්තයට පමණක් සීමා වුණි.

1927 දී ඇය නැවත හොලිවුඩය බලා පිටත් වන අතර ඇගේ සිහිනය වූයේ මුදල් ටිකක් සොයාගෙන තම දරුවා තමා සන්තකයට ගැනීමය.

කෙසේ වෙතත්, නෝමාට වයස අවුරුදු 7ක් වන තෙක් මෙම නිවසේ ජීවත් වන්නට සිදු විය. සති අන්තයට පැමිණෙන ග්ලැඩිස් ඇගේ දියණියට හැඩකාර ඇඳුම් අන්දවා ඇයත් සමඟ ලොස් ඇන්ජලීස්හි අලංකාර ස්ථාන දැක බලා ගැනීමට ඇවිදීම එසේ නැතහොත් දෙදෙනාම එකතුව චිත්‍රපට නැරඹීම චීන රඟහලට යාම පුරුද්දක් කොට ගත්තා ය.

කාලය කෙමෙන් ගෙවී යද්දී 1933 දී ග්ලැඩිස් තරමක් ස්ථාවර වන බැවින් හොලිවුඩයේ ආබල් පරිශ්‍රයෙන් කුඩා නිවසක් ලබාගෙන එකල නළුවෙකුව සිටි ජොර්ජ් සහ මෝද් ඇට්කින්සන් සහ ඔවුන්ගේ දියණිය වන වෙලී සමඟ එම නිවස හවුලේ භුක්ති විඳින්නට පටන් ගත්තා ය. බොලෙන්ඩර් වයස අවුරුදු 7ක් වූ නෝමා හදාවඩා ගැනීමට කැමැත්තෙන් පසු වුවත් ග්ලැඩිස් ඒ කැමැත්ත පසෙක ලා දරුවා රැගෙන හොලිවුඩයට පැමිණෙන්නට තීරණය කරන්නේ ඔය අතර ය.

ලිවිසැරිය ෴

jeewanthi
ජීවන්ති කෝසලා

Comments are closed.