මාවතක් ඉඟි කරන බැමිණිතිකාලය

bemini
බැමිණිතිකාලය
අනුරාධ මහසිංහ
සයුර ප්‍රකාශනයක්
මිල රු.300.00

අනුරාධ මහසිංහ විසින් රචනා කළ “බැමිණිතිකාලය” නම් ප්‍රබන්ධ කතාව කියවීමි. පිටු 80ක් තරම් වන එය කෙටි නවකතා (Novella) යැ යි ලෝක සාහිත්‍යයේ එන ප්‍රබන්ධ ප්‍රවර්ගයේ එකක් ලෙස නම් කළ හැකි යැ යි සිතමි.

මෙම වපසරිය ඇතුළත අපේක්ෂිත අභිලාශයන් සපුරා ගන්නට රචකයා සමත් ව ඇති බව පෙනේ. මෙකී කෘතියට කතුවරයා සපයන කෙටි පෙරවදනෙහි ..ඒ සඳහා (නවකතාව සඳහා*) නූතන ප්‍රබන්ධයේ ආකෘතිය ද පැරණි සිංහල සාහිත්‍ය කෘතියේ වේගය ද යොදා ගනිමින් කිසියම් අත්හදා බැලීමක් කළෙමි.. යනුවෙන් කරන සඳහනෙහි එන එකී අත්හදා බැලීම සාර්ථකව ඇති බව දැනේ.

සමකාලීන ප්‍රබන්ධ රචනා කිරීමෙහි විවිධ ආකෘතික සේ ම භාෂාත්මක සහ තේමාත්මක අත්හදා බැලීම් කෙරෙමින් තිබෙන බව ඇත්ත ය. ඒ බොහෝ අත්හදාබැලීම් යුරෝපීය සාහිත්‍ය කතිකාව කේන්ද්‍රව කෙරෙන ඒවා බව ද එසේ ම ය. ලාංකේය පුරාණ සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරෙන් කෙරෙන එවන් අත්හදා බැලීම් සාපේක්ෂව අඩු ය. සිංහල චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍යය නම් කෝෂ්ඨාගාරය ඇසුරේ අත්හදාබැලීම් කරන්නට කිසිවෙක් මහන්සි ගන්නේ නම් ඉතා සාර්ථක ලෙස ඵල-ප්‍රයෝජන ලබා ගත හැකි බව අනුරාධ මහසිංහගේ මේ වෑයම අපට පෙන්වා දෙයි.

කතාව දිවෙන්නේ ක්‍රි.පූ. 103 – 89 කාලය පසුබිම්කොටගෙන ය.

“බැමිණිතියාසාය” නමින් හැඳින්වෙන්නේ අනුරාධපුර යුගයේ රජ කළ සද්ධාතිස්ස රජුගේ ඇවෑමෙන් රටෙහි ඇති වූ අරාජික සමය හා එක්ව ගමන් කළ මහා දුර්භික්ෂ සමයකි. දුටුගැමුණු සොයුරු සද්ධාතිස්ස රජුගේ මරණින් පසුව රාජ්‍යත්වය වෙනුවෙන් බොහෝ කල-කෝලාහල ඇතිව තිබෙන බව වංශකතා සාහිත්‍යය සාක්ෂ්‍ය දරයි. සිහසුන වෙනුවෙන් සෝවුරු ඝාතන සිදු කරගනිමින් ඇති වුණු අරගලය තිස්ස රජුගේ සිව්වැනි පුත්‍ර වළගම්බා රජුට කිරුළ හිමි වීමෙන් මඳ පමණකට සමහන් විය. එසේ වුව ද ඔහුට බලය දරාගෙන සිටිය හැකි වූයේ ඉතා අල්ප කලකි. ආක්‍රමණ හේතුවෙන් බලය අහිමි වූ ඔහු නැවත බලය ලබා ගන්නේ වසර 14ක් කල් බලා කරන ලද සටනකට පසුව ය.

මෙකල බොහෝ දකුණු ඉන්දීය ආක්‍රමණ සිදු වූ අතර “තීය” නම් බ්‍රාහ්මණයා විසින් රට අභ්‍යන්තරයෙහි කැරැළි මෙහෙය වූ කාලයකි. සොබාදහම ද මිනිසුන්ට අනවරතව පීඩා කළේ ලක්දිව ප්‍රබලම දුර්භික්ෂය ඇති කරමිනි. අරාජකත්වය නිසා වැව් අමුණු ප්‍රතිසංස්කරණයක් ද නොවූ බැවින් තත්වය වඩාත් දරුණු විය.

ඓතිහාසික සිදුවීම් හෝ යුගයන් තේමාත්මකව රචනා කෙරෙන ප්‍රබන්ධයන් බොහෝ විට භාෂාත්මක වියවුලකට පත් වෙන අයුරු දකිත හැකි ය. මෑත කාලයේ ලියැවුණු සමහර ඓතිහාසික තේමාත්මක නවකතා සමකාලීන භාෂා භාවිතයන් වෙත පොලා පැන්න අවස්ථා පවා දුලබ නොවේ. ඓතිහාසික තේමාත්මක නවකතා සමකාලීන පාඨකයන්ට දුරවබෝධ සම්භාව්‍ය භාෂා රීතියකට පසුබැස ලිවිය යුතු ය යන්න ඉන් කිසිසේත් අදහස් නොවේ. නමුත් සමකාලීන භාෂා ව්‍යවහාරයත් නොවන තේමාව විසින් ඉල්ලා සිටින භාෂා හරඹයක් එය ඉල්ලා සිටින බව පැහැදිලි ය. අනුරාධ ඉතා සංයමයෙන් එය ගොඩ නගා ගෙන තිබේ.

“ඉක්බිති ස්ත්‍රී ශරීරය වෙත නැඹුරු වූ පෝරිසාදයා, එහි නළලේ සම පිහි තුඩින් සිදුරු කළේ ය. සිදුරු වූ තැනින් වැගිරෙන ලෙයින් පිහිය රත් පැහැ විය. ඉන් පසු ස්ත්‍රී ශරීරයේ කම්මුල, ගෙල හරහා උරහිස දක්වා පිහිතුඩ ඇදී ගියේ ය. මොහොතකට නැවතුණු පෝරිසාදයා නැවත දෙ උර හරහා යන සේ සිදුරු කළේ ය. ගෙල සිට පපුව තෙක් සිදුරු කර, ඉක්බිති උදරය තුළට පිහිය ඇතුළු කළේ ය….”
෴ බැමිණිතිකාලය
45 පිටුව

අනෙක් අතට කෘතියෙහි තේමාව ගොඩ නංවා ගන්නට ඔහු චිරන්තන සාහිත්‍යයෙන් පෙරා ගන්නා අඩුම-කුඩුම මනබඳින සුළු ය. මෙම කුඩා වියමනේ සිරස ලෙස අප “මාවතක් ඉඟි කරන” යනුවෙන් සඳහන් කරන්නේ එයයි. එක් නිදසුනක් ගෙනහැර දක්වන්නේ නම් බැමිණිතිකාලය කෘතියෙහි එන “පෝරිසාද” චරිතයයි. “පෝරිසාද” නම් චරිතය පුරාණ සාහිත්‍යයේ වෙසෙසින් ම පන්සිය පනස් ජාතක කතාවන්හි හමුවන්නකි. මනුෂ්‍ය මාංස භුංජනය කරන්නා වූ ම්ලේච්ඡයෙක් පෝරිසාද නම් වෙයි. සුතසෝම ජාතක කතාව, මහාසීලව ජාතක කතාව ආදී ජාතක කතා මිනී මස් අනුභව කිරීම් වටා ගොඩ නැගී ඇත. අතිශය දුෂ්කර ජීවන කොන්දේසිවලට යටත් ව දිවි ගෙවන කලෙක සදාචාර සීමාවන් ඉක්මවා යන අයුරු පෙන්වන්නට අනුරාධ “පෝරිසාදයෙක්” ගෙන එයි. එපමණක් නොව එය මනුෂ්‍ය චිත්ත සන්තානයන්හි සංකීර්ණත්වය කෙතරම් යන්නත් කියාපාන්නට ඔහුට උදව් වෙයි.

බටහිර සාහිත්‍යයේ ත්‍රාස ප්‍රබන්ධයක (Horror fiction) එන චරිතයක් පෝරිසාද වැනි චිරන්තන සාහිත්‍යයේ එන චරිතයකින් ගොඩ නගා ගන්නා අයුරු පැසසුම් කටයුතු ය.

පොතෙහි කවරය ද තේමාවට අනුව ගොඩ නගා ඇති අතර නිර්මාණාත්මක අක්ෂර යෝජනය ද, වර්ණ සංයෝජනය ද පොතට මෙහෙ කරන බව පෙනෙයි. එද සාර්ථක ය. කෙසේ වෙතත්, පොතේ නම සහ රචකයාගේ නම අතර තවත් කෘතියේ උපුටාගැනීම් කිහිපයක් යෙදීමෙන් කවරයෙහි අගය අඩුව ඇති බව අපගේ හැඟීම ය. උක්ත ඉපිටුම් කෘතියෙහි කවරය වෙත බාධාකාරීබවක් විනා අන් යමක් ගෙන නොඒ.

sandun
සඳුන් ප්‍රියංකර විතානගේ

One Comment

  1. Indika G says:

    ඉතාම අගනා ලියවිල්ලක්… ජය !!