ගම්මුලාදෑනි ග්‍රාමසේවක වී ග්‍රාමනිලධාරී වීම!

muladeni
අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කැරීමට කතා කරන්නෝ එමට ය. ඔවුහු න්‍යාය දෙසා බාති. කෙස් පැලෙන තර්ක නඟති. තරු පහේ හෝටල්වල වැඩමුළු පවත්වති. සුද්දන් ද ඒවාට කැඳවා මෙහි ගොඩයන්ට උන් ලවා දේශන දෙවති. බොහෝ විට බරපැන දරන්නේ ද පරදේසක්කාරයන් ය.

එහෙත් සංස්කෘතිය පෙර පරිදිම ය. කිසිදු බණක් පහළට ගලායන්නේ නැත. හැමෝ ම හදන්නේ ලොකු ලොකු ව්‍යාපෘති තනන්නට ය. ලොකු වුවත් පුංචි වුවත් අවශ්‍ය තරමට පුම්බන්නට වුවමනා කරන්නේ මාධ්‍යවල උදවුව පමණකි. එය ද ගත හැකි ක්‍රම සහ විධි තිබේ.

පොට වරද්දා ගෙන බොහෝ කල් ය. දැන් වැරැදි පොට හරි යැයි සිතන්නෝ බහුතරයකි. නිදසුනක් දෙකක් ගෙන බලමු. සුද්දා ගේ කාලයේ පරිපාලන යන්තරේ දුවවන්නට වෙනම නිලධාරින් යොදවා තිබිණි. මහරජාගේ හෝ මහරැජිනගේ හෝ බල පරාක්‍රමයෙන් වැජඹුණ ද ඒ නිලධාරීහු මහජනතාවට යවන ලිපිවල අත්සනට පෙර ලියා තැබුවේ “ඔබේ යටහත් සේවක” යනුවෙනි. සුදු සුද්දාගෙන් කලු සුද්දා අතට පාලනය ගිය පසු “ඔබේ යටහත් සේවක” අතුරුදහන් විය. ආණ්ඩුවෙහි පදවි නාම, නිෂේධයේ නිෂේධය ක්‍රියාදාමයකට ගොදුරු විය. ගම් මුලාදෑනි ග්‍රාමසේවක වී නැවැත ග්‍රාමනිලධාරි විය. නිලධාරි බලය ක්‍රමයෙන් රජ කරන්නට විය. ඇත්ත කියන්නට ලජ්ජාවක් ඇති වූ හෙයින් එය සඟවන ලද්දේ නැති අහංකාරයක් මවා ගැනීමෙනි. රාජ උස්නය ගහලා යැ යි ජනතාව කියන්නට පටන් ගත්තේ ඒ නිසා ය.

නිදහසෙන් පසු කලු සුද්දන්ට දේශපාලන අධිකාරය පැවැරුණු පසු නිලධාරින් සහ දේශපාලකයන් අතර නිරන්තර අරගලයක් පැවැතියේ ය. 1970 දී දේශපාලකයෝ එම සටන ජයගත්හ. නිලධරයන් අත පැවැති ආණ්ඩුවේ පත්වීම් උසස්වීම් ආදිය පිළිබඳ බලය දේශපාලකයෝ උදුරා ගත්හ. එවක් පටන් බල්ලා ගේ වැඩේ කරන්නේ බූරුවා ය. බල්ලන් තඹ සතේකට නොගන්නා පුරවැසියෝ ද දේශපාලකයන් පසුපස ම දුවන්නෝ ය. උන්ට ම ගැතිකම් කරන්නෝ ය. දේශපාලකයාට හොද්ද බොර වන්නේ අලුත් රාජකාරි හා කොන්ත්‍රාත් වැඩ නිසා ය.

සංස්කෘතිය වෙනස් කරන්නට නම් බල්ලා ගේ වැඩේ බල්ලාටත් බූරුවා ගේ වැඩේ බූරුවාටත් බාර දී බල්ලා සහ බූරුවා පාලනය කැරීම පුරවැසියා අතට ගත යුතු ය. දේශපාලන සංස්කෘතියේ විප්ලවය අරැඹිය යුත්තේ එතැනිනි.

දේ.වි.

Comments are closed.