තමළිනීගේ කතාව වරදවා කියවනවා ද ?

thamalinee
මෑත කාලයේ ලංකාවේ අලෙවියෙන් වැඩිම කෘති මොනවාදැයි සොයා බලන්නෙකුට ඉක්මනින් හමුවෙන කෘතියකි තමිළිනී ජෙයක්කුමාර් නම් එල්.ටී.ටී.ඊ නායිකාව විසින් රචනය කරන ලද ස්වයංලිඛිත චරිතාපදානය. මෙහි අලෙවිය වැඩි වීම නිසඟ ක්‍රියාවලියකි. කුමන දේශපාලන මත දැරුවත් කැරළිකාරිනියකගේ ජීවිතය කියවන්නට සැවොම කැමැතිය. අයෙක් එය නිර්දය එල්.ටී.ටී.ඊ විරෝධයක් වනු ඇතැයි සිතා කියවන්නට ගනිද්දී තවෙකෙක් එහි නිර්දය සිංහල විරෝධයක් අපේක්ෂාවෙන් කියවන්නට ගනිති. මෙම කෘතිය සර්වකාලීන වැදගත්කමක් දරන්නක් ලෙස සලකමින් අපට හැඟුණු දැනුණු කරුණු කාරණා කිහිපයක් මෙසේ සටහන් කරන්නෙමු. නිහඬතාවයේ ගිල්වා මරා නොදැමිය යුතු කෘතියකි “තියුණු අසිපතක සෙවණ යට” නම් ස්වයං ලිඛිත චරිතාපදානය.

දෙමළ බසින් ලියන ලද මේ චරිතාපදානය ළඟ ළඟ ම වාගේ සිංහලයට පරිවර්තනය විය. ඒ ආචාර්ය සාමිනාදන් විමල් අතිනි. සාමිනාදන් විමල් යනු එක්තරා ආකාරයකට සිහලුන් කැමැති ජාතියේ දෙමළෙකි. ඔහුගේ රලු පරලු නැති, බුද්ධිවාදී සංහිඳියාත්මක බව විසින් එවැන්නක් ඇති කරනවා වන. සිහලුන් කැමැති මහත්තයා හෝ රවිරාජ් පන්නයේ දෙමෙළුන්ට නොවේ. කෘතිය ගැන අපට ඇති පළමු ප්‍රශ්නය නම් තියුණු අසිපතක සෙවණ යට නම් කෘතිය සිංහලකරණය කරන ලද්දේ ද යන්නයි. මේ කෘතියෙහි පරිවර්තනය පමණක් නොවේ, වෙනත් කෘතිවල පරිවර්තන පවා මුල්කෘතිය වන්නේ නැත. අතිශය සංවේදී කාරණා ස්පර්ශ කරන, මහත් ඝෝෂාවක් පැන නැගිය හැකි මේ කෘතිය සිංහලකරණය වූවා දැ යි සාධාරණ ප්‍රශ්න පැන නගින අවස්ථා කිහිපයකි. අප ඒවා පළමුව පෙළ ගස්වා කෘතියෙහි මතු කරන කරුණු වෙත එළැඹෙන්නෙමු.

01. පරිවර්තනයෙහි පිටකවරය සහ මුල්කෘතියෙහි පිටකවරය අතර ඇති වෙනස පළමු කරුණ ලෙස ගිණිය හැකි ය. ඉරි සහිත එල්.ටී.ටී.ඊ නිල ඇඳුම් ලා සයනයිඩ් කරල ගෙල එල්ලාගෙන සිටින තමිළිනීගේ රුවක් සහ සුරත් පැහැයක් මුල් කෘතියෙහි වැස්ම සැරසුව ද පරිවර්තනයේ ඇත්තේ හෙළ කුල කතකට සමාන පෙනුමක් ඇති තමිළිනී මඳ සිනාවකින් ඔබ දෙස බලා සිටින දුඹුරු පැහැ පසුබිමැති කවරයකින් පරිවර්තනය සැරසී තිබේ. වෙනත් මුල් කෘති සහ පරිවර්තනවල පිටකවර ගැන සඳහන් කරමින් කෙස් පැළෙන තර්ක ගෙන ආවද ඒවා නිෂේධව යන්නේ, වෙනත් කෘති සහ මේ අතර වෙනසක් ඇති බැවිනි. තමිළිනීට කියන්නට ඇති දෙය කවරෙකුට හෝ කියන්නට අවැසි දෙයක් ලෙස ගෙන එන්නට ද ඇති හැකියාව අමතක කළ යුතු නොවේ. සිංහල අධිපතිවාදයට ඇති බිය හෝ වාරණයකට ඇති බිය නොඑසේ ව වෙනත් කරුණක් මීට හේතු වූවා යැ යි සිතිය හැකි වුව ද අපට ඇත්තේ ඒ ගැන විවේචනයකි.

02. දෙවැනි කරුණ නම් පරිවර්තනයේ සඳහන් වන “තමිළිනීගේ මෙම කෘතිය කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඇය තුළ පැවති කළකිරීම සහ අපේක්ෂාභංගත්වය චිත්‍රණය කරන කැඩපතක්..” නම් පසුවදනයි. සමස්ත කෘතිය විසින් මෙම කරුණ ජනනය කෙරෙන්නේ නැත. මෙය මේ කෘතියෙන් කවුරුන් හෝ අපේක්ෂා කරන්නක් විය හැකි වුවත්, තමිළීනි නම් කියන්නේ මෙවැන්නකි. “සටන්කාමීන් වූ අප අපේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූවෙමු. අත දරාගෙන සිටි ආයුධ ආරක්ෂා කර ගැනීමට අප අපේ දේශපාලන අරමුණ පරාජය කළෙමු..”(පෙරවදන) ඇය හැමවිටම අදහස් දක්වන්නේ තමා ද සංවිධානය ලෙස සලකා මිස සංවිධානය පිළිබඳව ඇය තුළ ඇති කළකිරීම නොවේ. ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ නායකත්වයේ තීරණ සම්බන්ධයෙන් ඇය විවේචන ගෙන ආව ද මේ පසුවදනෙන් හැඟවෙන ආකාරයට නම් නොවේ.

03. සිංහල කෘතියේ ප්‍රකාශකයා මෙරට ප්‍රකට සිනමාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායකයි. ඔහු ජාතීන් අතර ප්‍රශ්නය ගැන ප්‍රගතිශීලි දැක්මක සිටින්නෙකු ලෙස හඳුනාගෙන සිටින්නෙකි. එසේ නමුත් කෘතිය අවසානයේ ඔහු ලියන පසු සටහනෙන් “මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරීම මා කළ වරදක් සේ නොසිතන්න..”යැ යි සටහන් කර ඇත. තමා සිදු කළ මේ කටයුත්ත පිළිබඳ ඔහුට ඇති හැඟීම කුමක් ද? එය වරදක් යැ යි සිතන වරදකාරී හැඟීමක් ඔහුට තිබේ ද? මේ ඉල්ලීම ඔහු කරනුයේ කාගෙන් ද? සිංහල ස්වෝත්තමවාදියාගෙන් ද?

මේ අපට පැන නැගුණු සාධාරණ ප්‍රශ්න වෙයි. කෘතිය විසින් මතු කරන දේවල් විනා කිසිවෙක්ගෙන් අප මේවාට පිළිතුරු බලාපොරොත්තුවෙන්නේ නැති බව කිව යුතු ය.

කකියන රුධිරය සහිතව, ජනතාව වෙනුවෙන් සිය නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට ආ යෞවනියකගේ ජීවන ගමන්මග කෙළවර වන අයුරු මේ කෘතිය ගෙන හැර පායි. ඇය සටනට එක්වන සන්දර්භයේ දී එය හැර වෙනත් විකල්පයක් ඇගේ ස්ථානයේ සිටින කවරෙකුට වුව ද නැති බව සාධාරණව සිතන්නෙකුට ඉඳුරා වැටහෙයි. ව්‍යාපාරය ඇතුළට වන් කල්හි එහි ඇති සමහර අර්බුද සහ අනුමත කළ නොහැකි දෑ දක්නට ලැබුණ ද ඇයට වෙන තෝරා ගැනීමක් ඇත්තේ නැත. ඇය තම වගකීම් මනාව ඉටු කරමින් පෙරට ඇදෙයි.

තමිළිනී මෙය ලියා අවසන් කළේ නුදුරේ තම මරණය සිදුවන බව දැනගෙන ය. එසේ වුවද කෘතියෙහි ඇති විශේෂත්වය වනුයේ අගතිවිරහිතව ලියා තැබීමයි. හෙට අනිද්දා මැරෙන නිසාවෙන් කියා ඇය කිසිදු පාර්ශ්වයක් ද්වේශසහගතව දැක නැත.

කොටි සංවිධානය විසින් ගෙන ගිය අනවරත අරගලයේ පරාජයට හේතුභූත වූ ප්‍රධාන කරුණු අතරට එක්කර ගත යුතු කරුණු කිහිපයක් මේ කෘතිය හරහා දකින්නට ලැබෙයි. යම්කිසි විමුක්ති ව්‍යාපාරයකට අවශ්‍ය න්‍යායික පදනම නැතිවීම ඒ අතර එයි. තදබල න්‍යායික ස්ථාවරයක පිහිටා නොසිටි කොටි සංවිධානය යම් වාම සහ දාර්ශනික හරයන් සහිත දෙමළ සංවිධාන මුල් යුගයේ දී ම සමූලඝාතනය කර දැමුවේ ය. බාලසිංහම් වැනි ව්‍යතිරේකයක පිහිට නැතිනම් එල්.ටී.ටී.ඊ ය මේ සා දුරක්වත් එන්නේ නැති බව අපගේ හැඟීම ය. දෙමළ ජනයාට නිතැතින් ම හින්දු ආගම හරහා උරුම දේවත්වවාදී, වසඟකාරිත්වය ප්‍රභාකරන් හෙවත් අයියා වෙත කැටි කළ දර්ශනයක් මත කොටින් පදනම් වූ බව මෙම කෘතියෙන් වඩාත් තහවුරු වෙයි. සංවිධානය පදනම් වූ න්‍යාය පද්ධතියකට වඩා විශ්වාසය තැබුණේ අයියා ගැන ය. අයියාට විරුද්ධ වූ යැ යි සැලකුණු මහත්තයා ට අත් වූ ඉරණම එවැන්නකි. සංවිධානයේ සාමාජිකයන් භ්‍රාන්ත වී ගිය ද මහත්තයා නිරනුකම්පීය ලෙස මරා දැමුණි. හේතුව ලෙස දැක්වුණේ, ජනතා විමුක්ති පෙරමුණ වැනි සිංහල වාම හැඩැති පක්ෂයක තම බලපෑම් සහගත නායකයෙක් ඉවත් වූ විට කේඩරයට කියා දමන තාලයේ කතා ය. මුදල් වංචා ය. ස්ත්‍රී ලෝලකම් ය. “නායකතුමා ගන්නා තීරණ විවේචනය කිරීම හෝ ප්‍රශ්න කිරීම හෝ දේව අපරාධයක් හා සමාන ලෙසින් සංවිධානය තුළ සැලකිණි. අභ්‍යන්තර විවේචන නැතිකර සංවිධානය ඉතාමත් ඛේදජනක අවසානයක් කරා ගෙන යෑමට මඟ සැලසුවේ මෙම ප්‍රවණතාවයයි” (157 පිටුව)

කෘතිය හරහා මතු කරන බොහෝ අවශේෂ කරුණු ඇතත් ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමනු වටියි. තමිළිනී ඇතුළු කොටි සංවිධානය රාජ්‍ය නොවන සංවිධාන වෙත හෙළන ලද දෘෂ්ටිය වනාහී සිංහල ස්වෝත්තමවාදීන් රාජ්‍ය නොවන සංවිධාන වෙත දැක්වූ ප්‍රතිචාරයට මඳකින් හෝ වෙනස් නොවේ. මෙරට සිංහල ස්වෝත්තමවාදීන් එන්.ජී.ඕ කාරයන් කොටින්ට උදව් කරනවා යැයි බෑඟිරි තැළීම මේ සමඟ කිසිසේත් ම සමපාත නොවේ.

ගරිල්ලා සංවිධානයක් වූ කොටි සංවිධානය ජනයා කෙරෙන් ඈත්ව යාම ගැන තමිළිනී කතා කරන්නේ මහත් වේදනාවෙනි. සුප්‍රසිද්ධ මාඕගේ ප්‍රකාශයේ ඇති පරිදි ම ජනයාගෙන් ඈත් වුණු සංවිධානයකට සිදුවන විපත ඇය පැහැදිලි කරන්නේ, දේශපාලන අංශයේ සිට ජනයා අතර වැඩ කටයුතු කළ නිසාවෙන් ලද අත්දැකීම් සමඟිනි. මහත්තයා විසින් ජනතාව සංවිධානය කෙරෙහි ඇද-බැඳගත් අයුරු ඇය සිහි කරන්නේ ගෞරව පෙරදැරිව ය. සමාජයේ විවිධ ස්තර කෙරෙහි මානව දයාවෙන් බැලූ ඇය කාන්තාවන් විඳින දුක්ඛ දෝමනස්සයන් කෙරෙහි තත්පර වූවා සංවිධානය සමාජ සම්බන්ධතා අඩුකරන විට විපිළිසර වූවා ය.

සිය කෘතිය හරහා එල්.ටී.ටී.ඊය විසින් සිංහල සිවිල් ජනයා වෙත හෙළන ලද ප්‍රහාරයන් ගැන වැඩිමනත් නොපවසන ඈ හමුදාව සිවිල් වැසියන් වෙත එල්ල කළැයි කියන ප්‍රහාර ගැනද කිසිත් නොකියයි. කෙසේ නමුත් සාම සාකච්ඡා වටයක දී හමුදාව උතුරේ එල්ල කරන ප්‍රහාර ගැන පවසන්නට සූදානම් වන ඇයට ඇන්ටන් බාලසිංහම් මෙබඳු ප්‍රකාශයක් කරයි. “සමූහ ඝාතන සිද්ධ කෙරුවේ ඒ අය විතරක් කියලා හිතන්ඩ එපා. කොටිත් තොත්ත බබාලා නෙමෙයි. අපි සමූහ ඝාතනවල ලැයිස්තුවක් ඉදිරිපත් කළොත් ඒ අයත් කොටි කරපු සමූහ ඝාතනවල ලැයිස්තුවක් දෙයි…” එයින් වැදගත් කරුණක් හෙළිවන බව පැහැදිලි ය.

එල්.ටී.ටී.ඊ ය සිය පරාජය සනිටුහන් කරන වැදගත්ම කරුණු ලෙස මේ කෘතියෙන් පැනෙන්නේ යුද්ධය සේ සාමය කළමනාකරණය කරගන්නට ඔවුනට තිබූ නොහැකියාවයි. ආයුධ මත අධි විශ්වාසයක් තැබූ ප්‍රභාකරන් සාමය තුට්ටුවකට මායිම් කළේ නැත. සංවිධානයට යම් මතවාදී සවියක් සැපයූ බාලසිංහම්ගේ අහිමිවීම නිසා එතැන පූරණය කළ තමිල් චෙල්වන් යනු ප්‍රභාගේ එහෙයියෙක් විනා බාලසිංහම්ට අලගු තියන්නටවත් හැකි අයෙක් නොවීම බරපතළ අලාභයන් කොටින්ට ගෙනාවේ ය.

අනෙක් වැදගත් ම කරුණ නම් ගරිල්ලා සංවිධානයක් ලෙස ජනයා අතර පැවත ආ කොටින් විධිමත් නිල හමුදාවක් බවට රූපාන්තරණය වීම සහ රාජ්‍යයක් බවට පත්වන්නට දැරූ වෑයමයි. එවක් පටන් කොටින් ජනයාගෙන් වියුක්ත වන්නට වූයේ ය. සංවිධානය මූලික අරමුණුවලින් බැහැර ව රාජ්‍ය ආයතන නඩත්තු කරන්නට පටන් ගත් බව තමිළිනී කියයි. නඩු ඇසීම, පොලිස් කටයුතු, බැංකු කටයුතු ආදියෙහි බර සංවිධානය වෙත ආ අතර ඉහළිය නොහෙන බදු බර ජනතාවට පැටවීම අති අමනෝඥ ක්‍රියාවක් බව ඇය කියයි. එයින් සංවිධානය සහ ජනයා අතර බැඳීම පළුදුව යෑමට මහත් වැඩ කොටසක් කෙරුණු බව පෙනෙයි.

තවමත් අවසන් නොවුණු ප්‍රශ්නයක් වන ලංකාවේ ජාතික ගැටලුව විෂයෙහි වෙසෙස් ඉමක් මෙම පොතෙන් සටහන් කෙරේ. ඈ සිය සටන වැරැදි බව කිසිවිටෙකත් නොකියයි. අසාර්ථකවීම් දහසක් ඈ සටහන් කරයි. වාස්තවික තත්වයන් විසින් පරාජය කර දැමුණු එකී සටනෙහි අරමුණ වන අයිතීන් දිනාගැන්ම ගැන ඇගේ කිසිදු විචිකිච්ඡාවක් ඇත්තේ නැත. උපාය මාර්ගයන් පමණක් ඈ ප්‍රශ්න කරයි. යටපත් කර දැමුණු දෙමළ ජනතාවගේ ආයුධ සන්නද්ධ අරගලය ගැන වැදගත් කෘතියක් වන මෙය කියවීම දෘෂ්ටිවාදී සටන්කරුවන්ට වැදගත් වන බව අපේ හැඟීම ය. කෙසේ වෙතත්, යටපත් කර දැමුණු අයිතිවාසිකම් නිසි පරිදි ලබා නොදෙන්නේ නම් දෙමළ ජනතාවගේ අරගලය වෙනත් හැඩයකට පැන නගින බව පැහැදිලි කරුණකි.

sandun

සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.