මායා ගංගා (03 වැනි කොටස)

mayam-ganga
නිවහල් වෙබ් අඩවිය සතිපතා කොටස් වශයෙන් පළකරන නවකතාවකි.
ලියන්නේ – තීක්ෂණ කිරිඇල්ල

දිවා ආහාරයෙන් පසුව පත්තර කාර්යාලය තුළද ඇත්තේ බොහෝ කාර්යාලවල සේ ම නිදිබර වාතාවරණයකි. හැරත් බදාදා දවසක් බැවින් කලි-කලහය අඩු ය. තොවිලය පටන් ගැනෙන්නේ බෘහස්පතින්දා, සිකුරාදා ය. නිල්හාන් ප්‍රධාන කර්තෘවරයාගේ මේසය ඉදිරිපිට අසුනේ වාඩිගෙන සිටියේ ය. පංකාව බමන්නේ ය. දෙදෙනා අතර ආතතියක් නැත්තේ සතුරු හැඟීමක් නැතියෙනි. නිල්හාන් ආධුනිකයෙක් ව බැඳී කෙටි කලෙකින් ස්ථාවර වූයේ සූරියආරච්චි නම් මේ කතුවරයා නිසා ම ය.

“නිල්හාන්.. හල්කඳඑළිය ගමේ කේස් එක අපේ අතට ගන්න වෙයි වගේ..එතන දැන් මාස තුනක් ඇතුළත මිනීමැරුම් තුනක්! ප්‍රාදේශීය කට්ටියට ගෙනියන්න බැරි තරම් තැනකට ඒක එයි වගේ මට පේන්නෙ.”

කතුතුමා කියන්නක් නිල්හාන්ට එතරම් පැහැදිලි නැත. ඔහු තමාද අයත් වුවත් ජනදින පුවත්පත කිසිදාක සම්පූර්ණයෙන් කියවා නැත. තමාගේ නම සහ සේයාරුව සහිතව පළවන පුවත හෝ ලිපිය පමණක් නැවත නැවත කිහිපවතාවක් කියවීම ඔහුට තද ප්‍රහර්ෂයකි. එනමුදු කිසිදා අනෙක් කිසිදු ලිපියක් පූර්ණව කියවා පුවත්පත සපුරා කියවන්නේ නැත. සූරියආරච්චි මේ පවසන පුවත පිළිබඳ ඔහුට නිනව් නැතිව මොහොතකට දුෂ්කරතාවකට පත් වූ නිල්හාන් හිස් බැල්මෙන් බලා සිටියේ ය.

“මේ කේස් එක සීරියල් කිලින් පැත්තට යන්න තියෙන ඉඩ වැඩියි වගේ. දැන් ළඟ ළඟ තුනක්.. මේක හොඳ ඉෂු එකක්. පත්තරේ සේල් එක වැටිල තියන්නෙ නිල්හාන්. අර ජයබිම පත්තරේ අංක එකට ආවනෙ. උන් නියමෙට වැඩේ ගෙනියනව. සෙක්ස් පැත්ත එහෙම නියමෙට ප්‍රමෝට් කරල ලිපි ලියනව. දාන ෆොටෝස් වුණත් ඇහැ ඇදිල යන ඒවා.. දැක්ක ද ළඟදි අර ගෑනියක් ගිනි තියාගත්ත එක ගැන දාල තිබ්බ ආර්ටිකල් එකේ ෆොටෝ එක. ගෑනියෙක්ගෙ නියුඩ් ෆොටෝ එකක් වටේට ගිනිදැල්ලක් ඔතල..”

දැන් නිල්හාන්ට කළයුත්ත පැහැදිලි ය. තමාගේ තත්වය උපකර්තෘකමකට ඔසවා ගන්නට නිල්හාන්ට අවැසි ය. කර්තෘ මණ්ඩලයේ පැරැණ්නන් ගැන නිල්හාන් නිතර සූරියආරච්චි වෙත ගතු කියමින් තහවුරු කරගත් තැන දැන් ඔසවා ගත යුතු ය. ඔහුගේ දෑස කාන්තිමත් වූයේ ය.

“හරි සර්.. අපි වැඩේ කරමු. මම හෙටම යන්නම් ඔය ගමට. අපේ මනුස්සයගෙ නම්බර් එක අරගෙන කතා කරන්නම්. සර් බය වෙන්න එපා. මම අනිවා වැඩේ ගොඩ දානව.”

“වෙරි ගුඩ් නිල්හාන්.. මම හිතනව තව මර්ඩර් දෙක තුනක්වත් වෙයි කියල. එහෙම වුණොත් අපි ගොඩ. ඕක ටෙලිවිෂන් චැනල්වලින් අල්ලන්න කළින් අපි කරන්න ඕන. උන් ගත්ත ගමන් අපේ අතෙන් ඕක යනවා.”

ජනදින පුවත්පත දෙපැත්තකින් අර්බුදයකට මුහුණ දී තිබේ. එකක් පුවත්පත් අලෙවිය බිඳවැටීම පිළිබඳ ප්‍රශ්නයයි. අනෙක පුවත්පතෙහි ගුණාත්මකබව පිරිහෙළීම පිළිබඳ ප්‍රශ්නයයි. දෙවැන්න කිසිවෙකුට දැන් ප්‍රශ්නයක් නොවේ. එය ප්‍රශ්නයක්ව ගෙන වැඩ කරමින් සිටි පුද්ගලයා වූ සූරියආරච්චිට පූර්වයෙන් කතුකම් දැරූ සමන්රත්න මහතා ඉල්ලා අස් වී ගෙදර නැවතුණේ ය. පූර්ව පරම්පරාවේ අවසන් පුරුක්වලට නෑකම් කියන සමන්රත්න පිරුණු මිනිසෙකි. ඇසූ පිරූ තැන් ඇත්තෙකි. මාර්ටින් වික්‍රමසිංහලාගේ, මානවසිංහලාගේ සහ දයාසේන ගුණසිංහලාගේ පුවත්පත් භාවිතය හිස් මුදුනින් ගත්තෙකි. අලුතෙන් පුවත්පත් අතරට ආ ජයබිම පුවත්පත අංක එකේ අලෙවිය වාර්තා කළ අතර ජනදින වැටී ගියේ ය. මේ වැටුමට පිළියම් ලෙස කළමනාකාරිත්වය කළ යෝජනා බැහැර කළ සමන්රත්නට ධුරයෙන් යන්නට සිදු විය.

ඒ හිඩැස පුරවන්නට කළමනාකරිත්වය සූරියආරච්චි තෝරාගත්තේ ඔහු එහෙයියෙක් වන හෙයිනි. හිස් මිනිසෙක් වූ ඔහු කේලම්වලින් කර්තෘ මණ්ඩලය පවත්වාගෙන ගිය අතර හිස නැමීමෙන් කළමනාකාරිත්වය පවත්වාගෙන ගියේ ය. පුවත්පත වැටී ඇති අලෙවි ප්‍රශ්නයෙන් නිදහස් වන්නට දහං ගැට ගසන කාලයක රසමසවුළක් ලෙස මායංගම දැන් විද්‍යමානව ඇත.

නිල්හාන් බසයේ නැඟී මායංගමට යන්නට පිටත් විය. කැමරාවද තෙමේ ම ගෙන යන්නේ ඡායාරූපවල ගරුත්වය ද තමා සන්තක කොට ගන්නට ය. කලා අංශයෙන් උසස්පෙළ නොකර වානිජ අංශයෙන් උසස් පෙළ කරමින් අලෙවි අංශයට පිවිසෙන්නට නොහැකි වීම පිළබඳ නිල්හාන් සැමදා දුක්බර වූයේ මෙසේ බසයෙන් ගමන් බිමන් යන්නට වන විට සහ සොච්චං පඩිපත අතට ගන්නා දාට ය. පුවත්පතේ ඉඩ වැඩිපුර පුරවන කතුමඩුල්ල බසයේ එද්දී අලෙවි අංශයේ උන් මෝටර් රථවල පැමිණෙති. විවිධ දැන්වීම්වලින් කොමිස් මුදල් සහිතව විශාල වැටුප් අතට ගන්නා අලෙවි අංශය පුවත්පතේ බලගතු ම අංශයයි. ඔවුනට අවැසි විට පුවත්පත් ලිපි කපා කොටා දැන්වීම්වලට ඉඩ ලබා දීම ප්‍රශ්න නොනගා ඉටු වන්නකි. නිල්හාන් මේ රැකියාවට ආවේ කරන්නට දෙයක් නැති කම නිසාවෙනි. උපාධිය අවසන් කර රැකියා සොයා ඇවිදිද්දී දන්නා කියන මිතුරෙකු මේ පුවත්පත සම්බන්ධ කර දුන්නේ ය. හැඩට-රුවට අඳින්නට වැඩිපුර වියදම් කරමින් බඩට නොකා නිල්හාන් පුරාජේරු ජීවිතයක් නඩත්තු කළේ ය. උක්ත-ආඛ්‍යාත සම්බන්ධය සහිතව වාක්‍යයක් හරියට ලියන්නට බැරි නිල්හාන්ට කිසිවෙක් කිසිවක් නොකියයි. ඒවායේ හැටි එහෙම ය.

පැය තුනක පමණ වෙහෙසකාරී ගමනකින් පසුව නිල්හාන් දැන් විවිධ මායං පෙන්වාලන මායං ගඟ අසබඩ පිහිටි මායංගම ඉසවුවට ආවේ ය. ගැමියන් සමඟ කතා-බහ කිරීමට වඩා දැන් ඔහුට අවැසි වන්නේ පින්තූර ටිකක් ගැනීමට ය. මන්දයත්, ලිවිය යුත්ත ඔහු දැනටමත් තීරණය කර ඇති බැවිනි. අඳුරු ගොම්මන් රබර් හේඩාව පැත්තේ දී දුගී ගැමි ගැහැනුන් දෙදෙනෙකු හනි-හනික පියනගන අයුරු හේ සිය කැමරාවේ සටහන් කරගත්තේ ය.

Comments are closed.