ශාස්තෘෘ

Shashthru
අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයෙක් ලෙස හැඳින්වීම වඩාත් යුක්ති යුක්ත යැ යි සිතමි. ඔහු සිය මුද්‍රාව තබා ඇත්තේ බ්ලොග්කරණය හරහා බව සැබවි. නමුත් බ්ලොග්කරණයත් ලේඛකයෙක්ගේ කාරියක් විනා අන් යමක් නොවේ. අජිත් සිය පළමු නවකතාව ලෙස ‘ශාස්තෘෘ’ 2010 ලියා පළ කළේ ය. ඒ කාලය තුළ දී ද මේ පොත එතරම් කතාබහට ලක් වූ බවට වන මතකයක් මට ඇත්තේ නැත. එයට වසර දෙකකට පසුව මෙය කියවන්නෙමැයි කියා අප සම්බන්ධ වුණ වෙනත් කටයුත්තකදී ඔහුගෙන් ඉල්ලා සිටියත් එය ලබා ගන්නට හැකි නොවී ය. අහම්බෙන් සරසවි අඩු මිල පොත්හළේ තිබු පිටපතක් රැගෙන ආවෙන් එක හුස්මට කියවා දැමුවෙමි.

අජිත්ගේ ශාස්තෘෘ වැඩකට නැති කෘතියක් නොවේ. අද පළවන බොහෝ නවකතාවලට සාපේක්ෂව යම් මට්ටමක තිබේ. නමුත් සාහිත්‍ය සමාජය එය එතරම් බැරෑරුම්ව නොගත්තේ ඇයි? අජිත් විශ්වාස කරන පරිදි,

මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි.
තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාදී විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප්‍රබන්ධ සාහිත්‍යයක් අවැසිව ඇතැයි සිතමි.

යන්න සමකාලීන සාහිත්‍ය සමාජය අනුදක්නා චින්තනයට සමපාත නොවන නිසාද එලෙස සිදු වූයේ?

අජිත් පවසන ලෙස ම තරුණ කැරැලි දෙකක් නොව උතුරේ අරගලය සමඟ තුනක් ලෙස ගත හැකි ඒ මැදිහත්වීම් පිළිබඳව වන සාහිත්‍යයක අවශ්‍යතාව ඉතා තදින් දැනෙන්නකි. සාහිත්‍ය කෘති ලෙස බිහි ව ඇති ඒවා ද එක් හෝ තවත් පාර්ශ්වයක් උත්කර්ෂයට නංවමින් අනෙක් පාර්ශ්වයන් පිරිහෙළන හැඟීම්බර රචනා වීම පෙර කී අවශ්‍යතාව වඩාත් දනවයි.

ශාස්තෘෘ විසින් ඒ අවශ්‍යතාවට අලගු තබාවත් ඇත් දැ යි කිව හැක්කේ එම කෘතිය විමසා බැලීමෙනි. 88-89 ජ.වි.පෙ අරගලය වෙත සම්බන්ධ වූ තරුණයෙක් දිවි ගලවාගෙන වත්මනෙහි ශාස්තෘෘවරයෙක් ව දිවි ගෙවනයුරු කතා වස්තුව වෙයි. ඔහුගේ මතකාවර්ජන සහ සමකාලීන සිදුවීම් හරහා ලංකාවේ වාමාංශික දේශපාලනාවකාශයට බැලුම් හෙළන්නට රචකයා උත්සාහ දරයි. සූර්ය වන්දනාවක් මූලික කරගත් ප්‍රජාවක් නිර්මාණය කරනා ඉන්ද්‍රනාථ නම් කථක චරිතය හරහා අජිත් ගෙන එන සිදුවීම් සියල්ල වනාහී මෙරට වාමාංශික ඉතිහාසයේ සුලබ කරුණු විනා අන් යමක් නොවේ. නිර්මාණයක් ලෙස ශාස්තෘෘ ජනනය කරන නව අරුත හෝ පාඨක මනස කළම්බන අන් යම කුමක් ද? ගැටලුව ඇත්තේ එතැන ය. එකී සාම්ප්‍රදායික ඉතිහාස කතන්දරයෙන් වෙසෙස්ව යම් රසයක් හෝ ජනනය කරන තැන බවට පත් වන්නේ ව්‍යාජ සූර්යවන්දනා සහිත ප්‍රජාව නම් ආයතනයේ කටයුතු සහ ඔහුගේ ස්ත්‍රී ධූර්ත හැසිරීම් පමණකි. අරගල ගැන ප්‍රබන්ධ සාහිත්‍යයක් අවැසි ව ඇතැයි කියන කතුවරයා බොහෝ විට පදනම් වෙන්නේ ප්‍රබන්ධ චරිත මත නොව විවිධ සැබෑ චරිත මත බව පෙනේ. ලංකාවේ වාමාංශික ව්‍යාපාර ඉතිහාසයේ යටිබිම දන්නා පාඨකයෙක් මෙය කියවන්නේ නම්, ඉතා ලෙහෙසියෙන් අජිත් වෙනත් නාම ගන්වා ඇති සැබෑ චරිත පාදා ගනු ඇත.

“මම පා සම්බාහනය කරන ගමන් ඇගේ වත දෙස බැලීමි. ඇය ඉඟටියට පිටුපසින් බංකුව මත තැබූ දෑතට බරදී ඈත අහස දෙස හිස හරවාගෙන දෑස් පියාගෙන ස්පර්ශ සුඛය විඳින්නීය. කෙස්ස පිට මතට හෙළා දා, නිකට අහස දෙසට යොමු කරගෙන, ප්‍රමෝදයේ මන්දස්මිතයකින් මුව ගවසාගෙන, දෑස් පියාගෙන සිටින ඇගේ වත කාව්‍යමය ආලේඛ්‍ය චිත්‍රයකි.”

සිය නවකතාවේ දී මෙවැනි මනරම් බස් යෙදුම් යොදා අවස්ථා විස්තර කරන්නට කතුවරයා සමත් වෙයි. කියවා රස විඳිය හැකි ය. එනමුත් අජිත් සිය පෙරවදනෙන් කියන දැය කෘතිය තුළින් ගෙන එන්නට සමත් වී නැති බව පෙනී යයි. සාහිත්‍ය සමාජය හෝ දේශපාල ක්‍රියාකාරික සමාජය මෙම කෘතිය බැරෑරුම්ව නොගත්තේ කෘතියෙන් පැනෙන අලුත් යමක් නැති නිසා වන. දේශපාලන සිදුවීම් පෙළෙන් බැහැරව අජිත් ගොතන කතා වස්තුව නම් සැලකිය යුතු තරමේ එකකි. එහි සමහර ඉන්ද්‍රජාලික යථාර්ථවාදී යැ යි සැලකෙන සිදුවීම් ආදිය ද යොදා ගෙන ඇතැයි සිතේ. දැනටමත් බොහෝ අය දන්නා වාම දේශපාලන සිදුවීම් නැවත වෙනත් නම් වලින් නොකියා කතා වස්තුව කෙරෙහි අවධානය යොමු කළා නම් මෙයට වඩා සාර්ථක නවකතාවක් බිහි වනු ඇති බව සිතේ.

sandun
සඳුන් ප්‍රියංකර විතානගේ

ශාස්තෘෘ ගැන කතුවරයාගේ අදහස්

Comments are closed.