“සුනිල් සුලෝචනියේ .. ඔය නෙත් ඇර හිනැහෙන්න”

guiter

අගෝස්තු 16 අගහරුවාදා

“පියතිස්ස දැන් හොඳ වෙලා සර්, හොඳට වැඩ කරනවා” මගේ කාර්යාල සහායක සේචිකාව කීවේ සතුටින්. පියතිස්ස රෝහලේ සුළු සේවකයෙක්. ඔහුට විරුද්ධව බොහෝ චෝදනා‍ තිබුණා. සේවා ස්ථානයේ නිතර නොසිටීම, රෝගීන්ගෙන් පගාව ගැනීම සහ ඒ සල්ලි වලින් මත්පැන් පානය කිරීම… ආදී වශයෙන්. ඔහු එතැනින් ඉවත් කොට වෙනත් ස්ථානයකට මාරු කිරීමටත් යෝජනා වුණා. වැරදි කළත්, ඔහු කරන රාජකාරිය මහන්සි වී කරන බව මගේ වැටහීමයි. රෝගීන් හැසිරවීම සහ අංක කතා කිරීම ඔහුගේ රාජකාරිය. එය අසීරු කටයුත්තක්. රාගම රෝහලට දවසකට රෝගීන් 2500 ක් විතර පැමිණෙනවා.

මම ඔහුට අන්තිම අවවාදය කළා. “පියතිස්ස, මීට පස්සේ වැරදි කළොත් මම මෙතනින් අස් කරනවා” මම කීවා. “මම වැරදි කරන්නෙ නෑ සර්. මට ලොකු දුවලා දෙන්නෙක් ඉන්නවා. මම උන් දෙන්නව බලා ගන්නේ තනියම. ඒ අයගේ වැඩත් මම ම කරන්න ඕනැ”. පියතිස්සගේ කතාව අඳෝනාවක්. “ඇයි, ළමයින්ගේ අම්මා ?” මම ඇහුවා. “ පවුල රට ගිහින් අවුරුදු 5 ක් වෙනවා”. ඔහු කීවේ සංවේගයෙන්. “ පියතිස්ස වැරදි කරන්න එපා. සල්ලි හදිසියක් තියෙනවානම් මට කියන්න”. එත්, පියතිස්ස කවදාවත් මගෙන් සල්ලි ඉල්ලු නෑ. ඒත් පියතිස්ස දැන් හොඳ වෙලා..

අගෝස්තු 19 සිකුරාදා

අද උදේ ඉඳන් මගේ මුවගේ රැඳුණ ගීතයක්,

“සඳ නැත බැබළෙන්න
නොපෙනෙයි තරූ ගොන්න
සුනිල් සුලෝචනියේ .. ඔය නෙත් ඇර හිනැහෙන්න”

ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ සිංදුවක්. හරි ලස්සනයි කියලා මට හිතුණා. පොඩි කාලේ ඉඳන් අහලා තිබුණත්, නිතර කියවුණේ නෑ. එත් අද දවසෙම මට ඒක කියවෙනවා. හවස රෝගීන් බලන ගමන් වෙලාවක් ලැබුණු අතරතුරේ ලැප්ටොප් එක අරන් මම ඉන්ටෙර්නෙට් එකෙන් ඒක බැලුවා. ලහිරු ප්‍රභාත්, දෙරණ සුපර් ස්ටාර් – ඒ සිංදුව ලස්සනට කියනවා.

රැ නින්දට යන්න කලින් හිත නිදහස් දවස්වල ගිටාරය වයමින් මම ගීතයක් දෙකක් ගයනවා. අද මේ ගීතය ගැයුවා. දයානි අහගෙන හිටියා.
ඔබ මගෙ සුදේහිනී
ඔබ මගෙ සුභාෂිණී
ඔබ මගෙ සජීවනී..
ඔව් .. ඔබ මගෙ සුහර්ෂණී…
“ලස්සනයි නේද ?” මම ඇහුවා.
පහුවදා උදේ වැඩට යන්න මම සුදානම් වෙන අතරේ ඇය මගේ ළඟට ආවා. “ඒ සිංදුව භාවනාවක් වගේ..” ඇය කීවා.

Sunimal
වෛද්‍ය සුනිමල් ජයකොඩි ලියයි.

Comments are closed.