ජීවිතය තහනම්!

poem
ගෙදර වැඩ පෙන්වන්න
උරහිසට උඩින් නුඹ
එබෙනකොට
යටි තොලේ දිස්නය
අකුරු මත වැටෙනවා
රස්නයට
ඉතින් ආයෙත් කාටත්
ගුරු මේසයට පොත්
ගෙන ඒම තහනම්!

කෙස්ස ගස්සා කඩා දා විටෙක
පෝනි ටේලයට වූල
දමනවිට
ඩියෝඩ්‍රන්ට් නාඳුනන
තුරුණු දහදිය සුවඳ
දැනෙනවා ආත්මය සිදුරුකර
ඉතින් ආයෙත්
මා ඉදිරියේ
කිසි කෙනෙක්
කොණ්ඩ බැඳ බැඳ
දැඟලීම තහනම්!

හිටිගමන්
කකුල පිට
කකුල පිහිටුවන
අඩ නිමේශය
සැමවිටම
ඇස් දෙකට හසු වීම
සාලයෙන් කුස්සියට
ඇදී යන
කෘෂ දෙපා ගැන
සිතේ කෝප ගිනි
නංවනා සුළුය
ගැහැණු ළමයින්ට
මින්පසුව
කකුල් පිට කකුල් දා
ඉඳගැනුම තහනම්!

කාලයක් තිස්සෙ
පාරවල් දිගේ වේලිච්ච
කල් ඉකුත් වෙච්ච
උපාධිය ගත්තාට
පර්චස් විස්ස
ගේකුත් එක්ක
නිකං දෙනවද
කවුරුත්ම?

ඔරව ගත් මුහුණු හා
නොරොක්වුණු
හිත් වලින්
මගේ ඇස්
මඟ අරින්නට හදන
නුඹලාට ඒ ඇත්ත
තේරුණානම්??

wasantha
වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි

වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි කවියාගේ මෙකවිය කලෙකින් දුටු, වෙනස් අත්දැකීම් කලාපයක් ස්පර්ශ කරන ලද කවියකි.

කවියකට අනුභූති සපයා ගැනීමේ දුෂ්කරතාවක් ඇතැයි සිතන තරමට වත්මන් කාව්‍ය කලාපයේ දක්නට ලැබෙන බොහෝ කවි ඒකාකාරී වී ඇත. නිර්මාණකරණයෙහි යෙදෙන නවක කවීන් මුහුණ දෙන ප්‍රබල අභියෝගය නම් නව අනුභූති සපයා ගැනීම සහ පට්ටාගසන ලද අනුභූතීන් මතින් නව රස ඉපැදවීමයි.

ජීවිතය තහනම් යනුවෙන් නම් කර ඇති මේ කවිය අහිමිවීමක වේදනාව හෙවත් පිය විප්පයෝගයක අරුම විදහා දක්වන්නකි. කවියට අනුව කථකයා ගුරුවරයෙකි. කාව්‍ය ප්‍රිය රසිකයා ඒ අනුභූතිය හා අනන්‍ය කරගන්නට ඔහු සමත් වෙයි. මර්ධිත ආශාවන් නමැති කලාපය සංස්පර්ශ කිරීම කොයි කාගේත් රහස් සතුටකට හේතු වන්නකි. ජ්‍යෙෂ්ඨ පංතියක සිසුවියක කෙරෙහි ලාලසාවකින් බැඳී ඇති ගුරුවරයෙක්ගේ ආත්මකථනයක් වන මේ කවිය ගොඩ නඟන සෞන්දර්යය විමසන්න.

ගෙදර වැඩ පෙන්වන්න
උරහිසට උඩින් නුඹ
එබෙනකොට
යටි තොලේ දිස්නය
අකුරු මත වැටෙනවා
රස්නයට
ඉතින් ආයෙත් කාටත්
ගුරු මේසයට පොත්
ගෙන ඒම තහනම්!

යටිතොලක දිස්නය කිසි දාක රස්නයට පොතක අකුරු මතට නොවැටෙනා බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් කාව්‍යක්කාරයෙක්ට එයින් කම් කිම්? ඔහු එයින් උපදවා ඇති රසය නොහිම් ය.

ඇගේ ලීලාවන් මහත් අභිරුචියෙන් වින්දනය කරන කථකයාට යම් බඳු හේතුවක් නිසාවෙන් (සංස්කෘතික හෝ සදාචාර හේතුවක් වන්නට හැකි ය.) සැනෙන් ඒවා අහිමි වෙයි. ඔහු කියන්නේ, එවැනි භාව භාව ලීලාවන් තමා වෙන කිසිවෙක්ගෙන් දක්නට නොකැමැති බව ය. එනම් තමාට ජීවිතය තහනම් ව ඇති බව ය.

කෙසේ වෙතත්, මේ කවියෙහි දක්නට ලැබෙන එක්තරා දුර්ගුණයකි. නිරායාසයෙන් රස ජනනය කරමින් ගොඩ නැගෙන කවියට සමාජ විවේචකයෙකු ලෙස කවියා ගොඩ වදියි. කවිය අවසානයේ පැනෙන

කාලයක් තිස්සෙ
පාරවල් දිගේ වේලිච්ච
කල් ඉකුත් වෙච්ච
උපාධිය ගත්තාට
පර්චස් විස්ස
ගේකුත් එක්ක
නිකං දෙනවද
කවුරුත්ම?

ඔරව ගත් මුහුණු හා
නොරොක්වුණු
හිත් වලින්
මගේ ඇස්
මඟ අරින්නට හදන
නුඹලාට ඒ ඇත්ත
තේරුණානම්??

යන කොටස අපට අනුව නම් කවියෙහි නිරායාස ගුණය භංග කරමින් එම කවිය පණ්ඩිතමානී ඉසව්වකට ‍ගෙන යන බවයි. එම කොටස සහ එම කොටස ගොඩ දමා ගැනීම වෙනුවෙන් උක්ත කවියේ මැද කොටසකට කවියා විසින් ඔබ්බන ‘කෘෂ දෙපා කේන්තියක් උපදවන..යන කොටසත් විසින් කවියෙහි සාර්ථකත්වයට මහත් හානි පමුණුවයි. කවිය විසින් නිරායාසයෙන් අරුත් ගොඩ නංවාගැනීමට බාධාවන එවැනි හානියක් නොවූයේ නම් එය ඉතා හොඳ කවියක් වනු ඇත.

සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.