අතුරුදන්වූවන් සෙවීම සහ වපර ඇස්!

Mahinda new
අතුරුදහන් වූවන් ගේ කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවෙහි සම්මත වූයේ ඉකුත් සතියෙහි. ඒ ගාලගෝට්ටි මැද. එය මැතිසබයට පැමිණිමත් එහි අනුමැතිය ඊට ලැබීමත් දෙකම සිදු වූයේ කඩිනමින්. හරියට හෙනයක් පාත් වූ සේ. නැත්නම් ඉඩෝරයක් මැද හදිසියේ කඩා හැලෙන වැස්සක් සේ. ඇත්තට ම එය වින දෙන හෙනයක් ද? නැතහොත් සෙත දෙන වැස්සක් ද? විවාදය කරළියට ඇවිත් ඇත්තේ දැන්. අස්වයා ඉස්තාලෙන් පැන ගිය පසු.

වන්නාට ය. පමා ව හෝ විවාදය යහපත්. කඩිනම නිසා ම බොහෝ කරුණු ජන දසුනෙන් බැහැර ව යි ඇත්තේ. තවමත් මැතිසබය අනුමැතිය ලත් පනතෙහි පිටපතක්වත් මහජනයා අතට පත් ව නැත. කුමක් හෝ අදහසක් පළ කරන්නට හැකි වන්නේ එයට කැමැති අකැමැති නායකකාරාදීන් ගේ බස් විමැසුමෙන් සහ මහජන අවධානයෙහි පවත්නා කරුණු ඇසුරෙන් පමණකි.
කෙසේ වෙතත්, හිටපු ජනපති මුල් වෙඩි මුරය පත්තු කැරැ අවසන්. සිරිත් පරිදි එය මුදා හැරැ ඇත්තේ මැතිසබයෙන් පිටත. මහළු වියෙහි රට හදන තැන මුනිවත රැකීම එතුමන්ට දැන් පුරුද්දක් ව ඇති සැටියෙකි. ඒ ගැන මෙහි අමතර යමක් නොකියන්නේ එය වඩා හොඳින් බලා ගැනීම කුරුණෑගල දිසා ඡන්දදායකයන් ගේ කාරියක් බැවින්.

සුපුරුදු පරිදි ඔහු කියන්නේ මෙම කාර්යාලය රණවිරුවන්ට සහ දේශපාලන නායකයන්ට දඬුවම් පමුණුවන්නට හදන ආයතනයක් බව. එහෙයින් එය රටෙහි ආරක්ෂාවට තර්ජනයක් බව. විදේශ බලවේග සමග එක්ව රටත් රණවිරුවනුත් පාවා දෙන්නක් බව. රණ විරුවන්ට එරෙහි අධිකරණ ආයතනයක් බව.

ඇත්ත ද? පනත ඉදිරිපත් කරමින් ආණ්ඩුවල විශේෂයෙන් ම විදේශ ඇමැතිවරයා කීවේ එය අධිකරණ ආයතනයක් නොව ඇත්ත හෙළි කැරැ ගැනීමෙහි යෙදෙන, හොයා බැලීමෙහි යෙදෙන ආයතනයක් බව. වෙනත් වචනලින් කිවහොත්, විමැසුම් ආයතනයක් බව. යමෙක් අතුරුදහන්ව ඇත්නම් ඔහු ජීවතුන් අතර සිටින්නේ ද නැත් ද තහවුරු කැරීමත් මරණයට පත්ව ඇත්නම් කෙසේ ද? කවදා ද? කොතැනක දී ද? යනාදී කරුණුත් දැනගැනීම මෙම කාර්යාලයෙහි කටයුතු බව. ඒ අතින් බලන කල මෙම කාර්යාලයෙහි කටයුතුවලින් මානව හිමිකම් තහවුරු කැරෙනු ඇති. වින්දිතයන්ට යම් සහනයක් එයින් සැලැසෙනු ඇති.

මෙහි දී නැඟෙන පැනයෙකි. එනම් මෙවැන්නක් වුවමනා ඇයි? පිළිතුර මෙරට කුඩා දරුවෙකු වුව දන්නා කරුණක්. ඉකුත් දශක කිහිපය තුළ මෙරට බොහෝ දෙනා අතුරුදහන් ව ඇත්තාහ. හැම පෙදෙසක ම වාගේ ජනයා, බෙහෙවින් ම උතුර හා නැඟෙනහිර ජනයා සහ මාධ්‍යවේදීන් වැනි ඇතැම් වෘත්තිකයෝ එසේ අතුරුදහන් වූ. එසේ නම් ඒවා ගැන සෙවිය යුතු නො වැ? ඇත්ත හෙළි කැරැ ගත යුතු නො වැ?

එයින් කියැවෙන්නේ මෙම කාර්යාලය පිහිටුවීම රටෙහි අවශ්‍යතාවක් බව. විදේශිකයන් ඒ ගැන උනනන්දු වීම ගැන ද පුදුම වන්නට දෙයක් නැත. අද ලෝකයෙහි හුදකලා රාජ්‍ය නැත. අප ද එතෙර ප්‍රශ්න ගැන උනන්දු වනවා නොවැ? සංවේදී වනවා නොවැ? එහෙත් එපමණින් විදේශ කුමන්ත්‍රණයක් මැවීම තරමක් අතිශයෝක්තියක්. එයින් අදහස් කරන්නේ විදේශ බලවතුන් ළඟ යටි අරමුණු නැතැ යි සහතික වීමක් ම නො වේ. එකම දෙය මෙම යාන්ත්‍රණය අපේ ම කල්ක්‍රියාවෙහි ඵලයක් බව.

ඇත්ත ඊට එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සම්මත කළ යෝජනාව හා බැඳීමක් පවතී. එය වසන් කළ නො හේ. එසේ ම වසන් කරන්නට වුවමනාවක් ද නැත. ඇත්ත හොයන්නට අපි ජගත් ප්‍රජාව ඉදිරියේ පොරොන්දු ව ඇත්තෙමු. එය මේ ආණ්ඩුවට මෙන් ම පසු ගිය ආණ්ඩුවට ද සාධාරණ සත්‍යයක්. අප කැත කැරැ ගත් අපේ නම ජගත් කරළියෙහි පිරිසුදු කැරැ ගන්නට ද මෙම පියවර උපකාරී වනු ඇත.

එකී යෝජනාවෙහි ද සඳහන් පරිදි මෙය හා බැඳුණු තවත් පියවර වෙයි. එකක් වන්නේ සත්‍ය කොමිසමක් පිහිටුවීමෙ. එය ද දඬුවම් දීමට නො වේ. ඇත්ත හෙළිදරවු කැරැගැනීමට සහ සංහිඳියාව ඇති කැරැ ගැනීමට මිස යළි වෛරය හා භේදය වපුරන්නට නො වේ.

ජිනීවා යෝජනා හා සම්බන්ධ වුව මෙම යාන්ත්‍රණය මඟින් කැරෙන විමැසුම් උතුරු නැඟෙනහිරට හෝ එක් ජනවාර්ගික ප්‍රජාවකට හෝ සීමා නොවනු ඇති. එසේ ම එහි විෂය පරාසය කාලය අතින් ද යුද සමයට සීමා නො වේ. නිදසුනක් වශයෙන් දකුණේ 1980 ගණන්වල සිදු වූ අතුරුදහන් වීම් ආදිය ද එහි විෂය පථයට අයත් ය. එබැවින් ද එය දෙමළ ඩයස්පෝරාව හෝ විමුක්ති කොටින් හෝ පිනවීමක් වන්නේ ද නැත.

එ මතු ද නො වේ. අනාගතයෙහි එවන් අතුරුදහන්වීම් ඇති නොවීමට කුමක් කළ යුතු දැ යි නිර්දේශ කැරීම ද මෙම පනත යටතේ පිහිටුවන කාර්යාලයෙහි වගකීමකි.

මෙවන් වැදැගත් ආයතනයක් පිලිබඳ තීරණ ගැනීමෙහි දී මීට වඩා සාකච්ඡා කැරැ සන්සුන් ව සලකා බැලුවෙහි නම් වඩා අගනේ ය. එහෙත් එයට ඊනියා ඒකාබද්ධ විපක්ෂය මැතිසබ ගැබ තුළ කළ කලහකාරී මෙන් ම අවලස්සන රංගනය තදින් බලපෑ බව කිව යුතු මැ යි. සුපරීක්ෂාවෙන් විමැසුවෙහි නම් පනතෙහි වගන්ති වඩා පැහැදිලි කැරැ ගන්නට, උභයාර්ථ නිරූපණ වලක්වා ගන්නට ඉඩ තිබිණි. කෙසේ වෙතත් පනත එළි දකින තෙක් ඒ ගැන වැඩි දුර කිව නොහැකි ය.

ඒකාබද්ධ විපක්ෂය වගකීමකින් කටයුතු කරනු වෙනුවට කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් හිතා මතා ගෙන යන බවකි ඔවුන් ගේ සියලු කටයුතුවලින් පෙනෙන්නේ. පනතට එරෙහි ව ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්නට ඔවුන්ට හැකියාව තිබිණි. එහෙත් ඔවුහු එය මඟ හැරියහ. මැතිසබය තුළ සංශෝධන ගෙන ඒම ද ඔවුහු මඟ හැරියහ. එපමණක් නොව මැතිසබයෙහි කටයුතුවලට ද බාධා කළහ.

ඔවුන්ට කිසිදු සාධනීය වැඩපිළිවෙලක් නැත. අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය නිරාකරණය කරන්නට ඔවුන්ට වුවමනාවක් නැත.ඔවුන්ගෙන් සමහරු අතුරුදහන් වීම් පැවැති බවක් වත් පිළිගන්නේ නැත. ඔවුන් ගේ එකම අරමුණ හැකි පමණ ඉක්මණින් මෙම ආණ්ඩුව පෙරළා යළි රාජපක්ෂ පාලනය ප්‍රතිස්ථාපනය කැරැ තම පිලෙහි සිටින සාපරාධී චෝදනා ලද්දවුන් නිදහස් කැරැ ගැනීම ය.

ඇත්තෙන් ම මෙම කල්ලියෙහි වැඩවලින් අවුල් ව ඇත්තේ මැතිසබය පමණක් නො වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නො වේ. ආණ්ඩුව සහ රට ම අවුලට පත් ව ඇත්තේ ඔවුන් ගේ නාඩගම නිසා. ආණ්ඩුවට සහයෝගය දක්වන ශ්‍රීලනිප කොටස ද ඊට වග කිව යුතු ය. හැරත් එම දෙපිරිස වෙන් කරන සීමා රේඛාව ද ඇතැම් විට දියෙහි ඇන්දා සේ ය. ශ්‍රීලනිපය කඩාකප්පල්කාරීන් හුරතල් කැරීම ජනතාවට ප්‍රශ්නයක් නොවුව ද ඒ නිසා ආණ්ඩුවත් ජනතාවත් අවුලෙන් අවුලට පත් වන්නේ නම් එයට ඉඩ දිය නොහැකි ය. ඒ නිසා රටෙහි දේශපාලන ස්ථාවරත්වය ගැන කුකුසක් එතෙර වුව ඇති විය හැකි. අමාත්‍ය මණ්ඩල තීරණ පවා යළි වෙනස් වන තත්ත්ව මතු වෙයි. අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම බිඳ වැටෙයි. රජයෙහි විශ්වසනීයත්වය මතභේදයට තුඩු දෙයි. රට ලෝකය ඉදිරියෙහි හාස්‍යයට ලක් වෙයි.

ආණඩුව පැත්තෙන්ද අඩුපාඩු නැතිවා නො වේ. ජිනීවා යෝජනාවෙන් වසරක් ඉක්ම ගිය ද ඒ ගැන පුළුල් සංවාදයක් ජනතාව සමඟ කරන්නට වත්, සිය ස්ථාවරය පැහැදිලි කරන්නටවත් ප්‍රමාණවත් වෙහෙසක් නොගත් එය නියැලුණේ මහින්ද රාජපක්ෂ කල්ලියෙහි චෝදනා නිෂ්ප්‍රභා කරනු වෙනුවට ඒවාට නිදහසට කරුණු කීමෙහි පමණකි. මෙය මෙම පනතට පමණක් අදාල වූවක් නො වේ. අතිවැදැගත් පනතක් වන තොරතුරු දැනගැනීමෙහි පනත ගැන ද ජනතාව දැනුම්වත් කරන්නට කළ යුතු දෑ එමට ය. ආණ්ඩුවෙහි මෙවන් කටයුතුවල අනවශ්‍ය රහස්‍යභාවයක්, පාරදෘශ්‍යභාවය නැතිකමක් පෙනෙන්නට තිබෙයි. ඇතැම් විට සකල බුද්ධියෙහි ප්‍රභවය මැතිසබය තුළ සංකේන්ද්‍රිත ව ඇතැ යි ආණ්ඩුව සිතනවා ඇති!

ආණඩුවෙහි සාපේක්ෂ නිහැඬියාව හේතුවෙන් වේදිකාවෙහි බඩ පිනුම් ගසන්නට පවා ඒකාබද්ධ විපක්ෂයට අවස්ථා එමට ය. එයින් ජනතාව තුළ දුර්මත වපුරන්නටත් ජනතාව මුලා කරන්නටත් ඔවුන්ට අබාධිත ඉඩකඩක් නිර්මාණය ව තිබෙයි.

ආණ්ඩුව සම්මුතිවාදී පදනමක පිහිටා ඇතත් ප්‍රායෝගික ව දිස් වන්නේ බල කේන්ද්‍ර දෙකක් සංවර්ධනය වන බවෙකි. එය බල අරගලයක් දක්වා අවුළුවන්නට ය, ඒකාබද්ධ විපක්ෂය දඟලන්නේ.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් ලු!

Jayathilake
ජයතිලක ද සිල්වා
2018 අගෝස්තු 18 වැනි දින ලංකාදීප පුවත්පතෙහි පළමුවරට පළ විය.

Comments are closed.