ගී ගැයූ ලී පෙට්ටිය

phone
මා කුඩා කාලයේ දුරකථනය වූ කලී අරුම පුදුම දෙයක්විය. ඒ අද වගේ හැම නිවසක ම දුරකථන නොතිබුණු කාලයකි. අපේ ගම්මානයේ දුරකතන තිබුණු නිවාස දෙක තුන අතුරින් අපේ නිවසත් එකක් වූ අතර හොඳින් ඔපමට්ටම් කර, පිරියම් කළ දුරකතන රැඳවුම සාලයේ බිත්තියක එල්ලා තිබූ හැටි මට තාම හොඳහැටි මතකය. දිළිහෙමින් තිබුණු රිසිවරය එහි පසෙක එල්ලා තිබිණි.

පුංචි කොලු පැංචෙකු වූ මම අම්මා නිතර එයින් අමතන ආකාරය මෝහනයට පත් වී අසා සිටියෙමි. දින කිහිපයක් ඇවෑමෙන් එම අරුම පුදුම වස්තුව තුළ යම් තැනෙක ‘කරුණාකර තොරතුරු’ යන නම ඇති කාන්තාවක ජීවත්වන බවත් ඈ නොදන්නා කිසිවක් මේ මිහිපිට නොමැති බවත් මම පසක්කර ගතිමි.

මේ කියන ‘කරුණාකර තොරතුරු’ හට ඕනෑම කෙනෙකුගේ දුරකථන අංකයක් අපට ලබා දීම ඉතාමත් පහසු කාර්යයක් විය.

මගේ අම්මා අසල්වැසි මිතුරියක හමුවන්නට ගොස් සිටි අවස්ථාවකදි සිතන පතන දේ ලබාදෙන මේ ‘බෝතලේ බූතයා’ සමග මගේ ප්‍රථම අත්දැකීමට මග පෑදිණි. තනිවම පතුල්මාලයට වී, මිටියකින් ලීයකට ඇණ ගසමින් එය සෙල්ලමක් කරගෙන සිටි මගේ අතේ ඇඟිල්ලක් එක්වනම පදමට තැලුණි. වේදනාව අතිභයංකර විය. හැඬුවාට මගේ දුක බාරගන්නට, සිත සනසන්නට නිවසේ කිසිවකු නොවීය. එනයින් ගත්කළ හැඬීමෙන් කිසිම පලක් නොවන බව පැහැදිලිය. වේදනාවෙන් පුපුරු ගසමින් තිබුණු ඇඟිල්ල කටේ රුවා උරමින් මම නිවස පුරා ඉබාගාතේ ඇවිද යන්නට වීමි.

මෙසේ එහේ මෙහේ ඇවිද යන අතරේ එය මා නෙත ගැටිණි. ‘දුරකතනය!’ විගස දිවගිය මම ස්ටූලයක් තල්ලු කරගෙනවිත් එයට නැග ඒ වෙත ලඟාවීමි. රිසිවරය අතට ගත් මම අම්මා කරන ආකාරයට ම එය මුවට ලංකරගෙන “කරුණාකර තොරතුරු”යි පැවසීමි. මද වේලාවක් ගත වූ පසු මෘදු, කන්කලු හඬක් මගේ සවනත වැටිණි.

“මොනවද දැනගන්න උවමනා?”

“මගේ ඇඟිල්ල රිදෙනවා” මම දුරකථනය තුලට හඬා වැළපෙන්නට වීමි. ශ්‍රාවකයෙකු ලැබීමෙන් සැහිමකට පත් වූ මගේ කඳුළු රිසිසේ ගලා යමින් තිබිණි.

“අම්මා ගෙදර නැතිද?”

“මං විතරයි. කවුරුවත් ම නැහැ” ඉකිබිඳිමින් පැවසීමි.

“ඇඟිල්ලෙන් ලේ ගලනවද?” ඒ මෘදු හඬ ඉවසිල්ලේ ඇසුවාය.

“නැහැ. මගේ ඇඟිල්ලක් මිටියට තැලුණා. ලේ එන්නේ නැහැ. ඒත් ගොඩාරියක් ‍රිදෙනවා”

“ඔයාට පුළුවන්ද? ෆ්‍රිජ් එක අරින්න?” ඇය ඇසුවාය. හැකි බව මම දැන්වීමි.

“එහෙනං පොඩි අයිස් කුට්ටියක් කඩලා අරගෙන ඒ රිදෙන ඇඟිල්ලෙන් තියාගන්න බලන්න”

එයින් පසු හැමදේට ම ‘කරුණාකර තොරතුරු’ ඇමතීම මගේ පුරුද්දක් බවට පත් වූවායැයි කීවොත් නිවැරදිය. මගේ භූගෝල විද්‍යා පාඩමට උදව් පතා ඈ ඇමතූවිට ෆිලඩෙල්ෆියාව තිබෙන්නේ කොයිබදැයි ඇය මට පහදා දුන්නාය. මගේ ගණිත පාඩමේදී ද ඇය මට උදව් වූවාය. උද්‍යානයේදී හමු වූ ලේන් පැටියා පළතුරු සහ ඇට වර්ග කෑමට බොහෝ කැමති වනු ඇතැයි ඇය මා දැනුවත් කළාය.

මේ අතරතුරේ දිනෙක, මා ඉතා ආදරයෙන් සුරතලයට ඇති කළ කුරුල්ලා මිය ගියේය. ‘කරුණාකර තොරතුරු’ ඇමතූ මම මගේ දුක පැවසීමි. ඇය අසා සිටියාය. අනතුරුව වැඩිහිටියන් මෙවන් අවස්ථාවකදි දරුවන්ගේ සිත් සනසනු පිණිස පවසන වදන් තෙපලන්නට වූවාය. එයින් මට සැනසෙන්නට නොහැකිවිය.

“කූඩුව පතුලේ පිහාටු ගොඩක් විදිහට ඉවරයක් වෙන්න නම් ඇයි මේ හුරුබුහුටි කුරුල්ලෝ අපි හැමෝම සතුටු කරන සිංදු කියලා අපේ හිත් බදා ගන්නේ?” මම හිත පිරුණු දුකින් අසා සිටියෙමි.

මගේ වේදනාව ඈ නිවැරදිව ම වටහා ගත්තා විය යුතුය. ඇය සන්සුන්ව මෙසේ පැවසුවාය. “පෝල්, නිතර ම මේ කාරණය සිහියේ තියා ගන්න. තවත් ලෝකයක් තියෙනවා එයාලාගේ ගායනයෙන් සතුටු කරන්න”

කෙසේ හෝ එවදනින් මට සැහැල්ලුවක් දැනෙන්නට විය.

තවත් දිනෙක මම දුරකථනය වෙත ‍ඇදුනෙමි.

“කරුණාකර තොරතුරු”

“මොනවද දැනගන්න උවමනා?” පුරුදු හඬ අනෙක් කෙළවරින් ඇසුණි.

“ෆික්ස් කියලා ලියන්න මොන අකුරුද එන්නේ?”

මේ සියලුම දේ සිදුවූයේ වයඹ දිග පැසිෆික් කළාපයේ පිහිටි කුඩා නගරයකදීය. මට වයස අවුරුදු නවය සම්පූර්ණ වනවාත් සමගම අපි රට හරහා බොස්ටන් වෙත සංක්‍රමණය වීමු. මට ඇගේ සමාගමය නැති අඩුව බලවත් ව දැනුණි. ‘කරුණාකර තොරතුරු’ පදිංචිව සිටි පරණ ලී පෙට්ටිය අප හැරදා ආ නිවසේ දමා ආ අතර පැහැදිලි කරන්න අපහසු වූ යම් කාරණයක් නිසා නව නිවසේ මේසයක් මත වූ අලුත් දුරකතනය භාවිතා කරන්නට, මට සිත් නොදුන්නේය. කලක් ගත වී නව යොවුන් වියට පත් වූවත් කුඩා කල ඒ මිහිරි මතකය මගේ සිතින් කිසිදා ගිලිහි නොගියේය.

අදටත් යම්කිසි ගැටළුකාරී තත්ත්වයක් උදා වී මසිත ඔද්දල් වනවිට එකල විඳි නිස්කාංසුවත් සුරක්ෂිතභාවයත් නිතැතින් ම මා හට සිහිවේ. සන්සුන් ව, කරුණාවෙන් ඒ අවස්ථාව මනාසේ වටහා ගෙන පුංචි කොලු පැටියෙකු වෙනුවෙන් ඈ සිය කාලය වැය කළ ආකාරය සැමදා මම හදපතුලෙන් ම අගය කරමි.

වසර කිහිපයක ඇවෑමෙන් පාසලේ කටයුත්තක් සඳහා උතුරට ගමන් කරන අතරතුරේ වෙනත් ගුවන් යානයකට මාරු වනු පිණිස පැය එකහාමරක පමණ කාලයක් සඳහා සියැටැල් හී රැ‍ඳෙන්නට මට සිදුවිය. එහි වාසය කරන සොයුරිය හා පැවැත්වූ පැය කාලක පමණ දුරකථන සංවාදයකින් අනතුරුව වැඩිදුර නොසිතා ම අප පෙර වාසය කළ පෙදෙසෙහි දුරකථන ක්‍රියාකරුගේ අංකය සොයා එයට ඇමතුමක් ගත්තෙමි.

“කරුණාකර තොරතුරු”

ආශ්චර්යජනක ලෙසින් මා හට ‍හොඳින් හුරු පුරුදු ඒ මෘදු හඬ මගේ සවන සොයා පැමිණුනි.

“මොනවද දැනගන්න උවමනා?”

මෙය මා කිසිසේත් ම බලාපොරොත්තු වූවක් නොවේ. සිදු වූ දෙය පිළිබඳ ව විමතියෙන් පසු වූ මගේ මුවින් මටත් නොදැනීම වදන් පිටවන්නට විය.

“ෆික්ස් කියලා ලියන්න මොන අකුරුද එන්නේ?”

දීර්ඝ නිහැඬියාවකින් කාලය පිරි ඉතිරි යන්නට ඔන්න මෙන්න ව තිබියදි ඒ මෘදු හඬ ඇසෙන්නට විය.

“මං හිතෙන්නේ ඔයාගේ ඇඟිල්ල දැන් සුවපත් වෙලා වගෙයි”

මම මහ සිනහවකින් පුපුරා හැලුණෙමි.

“ඉතිං ඉතිං… ඒ පරණ පුරුදු ඔයාම තමයි නේ!” මම පැවසීමි.

“මට හිතාගන්න බැහැ ඒ කාලේ ඔයා මට කොච්චර වැදගත් කෙනෙක් වුණාද කියන එක ඔයා හරියටම දන්නවද කියලා”

“මටත් හිතා ගන්න බැහැ” ඇය පැවසුවාය.

“ඔයාගේ ඇමතුම් මට කොච්චර වැදගත් වුණාද කියන එක ඔයා දන්නවද කියලා. මට දරුවෝ නැහැ. ඒ කාලේ මං හැමදාමත් ඔයාගෙන් ඇමතුමක් එනකම් මගබලාගෙන හිටියා කියලා ඔයා දන්නවද?’

ගතවුණු කාලය පුරා කෙතරම් ඈ ගැන සිහිපත් කළාද යන්න මම ඇයට විස්තර කළෙමි. නැවතත් ඒ පෙදෙසට ආ විටෙක ඇයට අමතන්නට පොරොන්දු වීමි.

“අනේ එහෙම කරන්න” ඇය සතුටින් පැවසුවාය. “කතා කරලා සැලි කියලා ඉල්ලන්න.”

තුන් මසකට පසු නැවතත් මට සියටැල් වෙත යන්නට අවස්ථාවක් එළඹිණි. එවර වෙනස් හඬක් දුරකථනය කෙළවරින් මට පිළිතුරු දුන්නේය.

“මොනවද ඔබට දැන ගන්න උවමනා?”

“සැලිට පොඩ්ඩක් දෙනවද?”

“ඔබ ඇගේ මිතුරෙක්ද?”

“ඔව්, බොහොම පරණ මිතුරෙක්!” මම පැවසීමි.

“මට කණගාටුයි ඔබට මෙය පවසන්නට සිදුවීම ගැන. ඇය අසනීපෙන් හිටපු නිසා පහුගිය අවුරුදු පහ පුරා ම මෙහේ සේවය කළේ ආර්ධකාලීන පදනම යටතෙයි. අසනීප තත්ත්වය වැඩිදියුණු වෙලා මීට සති පහකට පෙර ඇය සදහට ම අප අත්හැරදා යන්න ගියා” මගේ උගුරකට වියළි යනු මට දැණිනි. දෙනෙත කඳුළින් පිරෙද්දි, දුරකතනය අතින් ගිලිහෙන්නට ඔන්න මෙන්න තිබියදි නැවතත් ඈ අමතනු මට ඇසිණි.

“මිනිත්තුවක් ඉන්න. ඔයාගේ නම පෝල් කියලද කිව්වේ?”

“ඔව්. මම පෝල්”

“අනේ, කවදාහරි දවසක ඔබ ඈ සොයනු ඇති බව සැලී විශ්වාස කළා. ඇගෙන් ඔබට පණිවුඩයක් තියෙනවා. ඇය එය කඩදාසි කැබැල්ලක ලියා තැබුවා. මම ඔබට ඇහෙන්න එය කියවන්නම්.

‘එයාට කියන්න මං මෙහෙම කියපු වග.

“තවත් ලෝකයක් තියෙනවා ගායනයෙන් සතුටු කරන්න”

එයා දන්නවා මං මොකක්ද අදහස් කරන්නේ කියන එක ගැන’.

මම ඇයට ස්තුති කොට දුරකථනය ස්ථාන ගතකොට පිටව ආවෙමි.

සැලී අදහස් කළේ කුමක්දැයි මට වඩා හොඳින් දන්නා අයෙකු මෙලොව වාසය කරතැයි මම නොසිතමි.

(1996 දී Reader’s Digest හී පළවූ)
සත්‍යය කතාවක් ඇසුරින්

Randika
පරිවර්තනය
රන්දිකා රණවීර ප්‍රනාන්දු

2 Comments

  1. Ravi says:

    ස්තූතියි රන්දිකා…ජීවිතය ගැන අපූරු පාඩමක්…කාලෙකට ඉස්සර නවයුගය සඟරාවෙ ඔය විදිහට රීඩර්ස් ඩයිජට් එකෙන් උපුටාගත්තු අනුවේදනීය පුංචි කතා පළවුනා “ජීවිතේ මී විතෙන්” නමින්. ඩයිජට් එකේ ඔය වගෙ කතා පලවෙන්නෙ මම හිතන්නෙ ” Life is like that” කියල.

  2. හා පැටික්කි says:

    කාලෙකට කලින් කියවපු මතකය ආයේ අළුත් උනා. මං හැමදාමත් ඔය කතාව ඇහුවම හිතුව ඇයි පෝල් එයාව බලන්න නොගියේ කියලා…..