“කකුල කපන්න වෙයි!”

Doctor d 2
වෛද්‍ය සුනිමල් ජයකොඩි නිවහල් වෙත ලියයි. ෴

අගෝස්තු 05 – සිකුරාදා

මම වැඩට යන්න සුදානම් වුණා. ලොකු පුතා මෙවර උසස් පෙළ විභාගයට ලියනවා. මම පුතාගේ කාමරයට ගියේ ඔහුට සුබ පතා පිටව යන්නයි. ලොකු පුතා දැන් මට වඩා අඟල් 5ක් විතර උසයි. ඔහු ඇඳුම් අඳිමින් හිටියේ.
“ පුතා කොහොමද? අද ෆිසික්ස් නේද?”
“ ඔව්.. ඔක්කොම වගේ බලා ගත්තා. .. පුළුවං වෙයි”

ඔහු කිවුවා.
“ එහෙනම් මම යන්නං. ගෝඩ් බ්ලෙස් යූ”
මම කිවුවේ ඔහුමට සමුදෙන අතරෙදි. වෙනදාටත් මේ විදියට සමුගත්තත් අද මගේ හිත හැඟුම් බරයි. උසස් පෙළ විභාගය ජීවිතයේ තීරණාත්මක කඩ ඉමක්. වසර 13ක ඔහුගේත්, අපෙත් අනවරත අරගලයක තීරණාත්මක මොහොතක්. රටේම දරුවන්ගේ අනාගතය තීරණය කරන මේ මොහොතේ බලාරොත්තු ඉටු කර ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?

අගෝසතු 11 – බෘහස්පතින්දා

මගේ දුරකතනය නාද විය. ට්‍රිලෝනි – මගේ මිතුරෙක්. ලලිත්,විශ්රන්, ට්‍රිලෝනි, මම…අපි හතර දෙනාම එකම පාසලේ එකම පංතියේ හොඳම යාළුවෝ. පුනරුත්ථාපන රෝහලේ සිට රාගම රෝහලේ විකලාංග සායනයට අද උදේ 9 ට ට්‍රිලෝනිව ඇම්බියුලන්ස් එකෙන් ගේනවා. “මචං, මම ලෙක්චර් එකක ඉන්නේ, ඉවරවුණ ගමන් එන්නම්” මම කිවුවා.
මීට මාස 2 කට විතර කලින් දවසක ට්‍රිලොනි රිය අනතුරක් සිදුවෙලා රාගම රෝහලට ඇතුල් කළ බව මට දැනගන්න ලැබුණා. හවස 6 ට විතර, මම හිටියේ ඩිස්පැන්සරියේ. මම දුරකතනයෙන් රෝහල ඇමතුවා. “කකුල කපන්න වෙයි”. ETU එකෙන් මට දැන්වූවා. මම රෝහල වෙත ගියේ වේගයෙන්. ETU එක මට නුපුරුදු තැනක් නොවේ. කකුලට බරපතළ හානි සිදුවී ඇති බවත්, ඉක්මනින් ශල්‍යකර්මයක් නොකොළොත් කකුල බේරා ගත නොහැකි බවත් මට ක්ෂණිකවම වැටහුණා. ETU වෛද්‍යවරයා රෝගියා පරික්ෂා කර ඇතත්, අවශ්‍ය හදිසි ශල්‍යකර්මය දැනටමත් පමා වෙලා ඇත්තේ අස්ථි වෛද්‍යවරයාගේ පමාව නිසයි. තවත් බලා ඉන්න බැරි තැන වෛද්‍යවරයාව කැඳවීමේ වැඩේ මටම කරන්න සිදුවුණා. ඔට ඒත්තුගැන්වීම සඳහා තව තවත් වෛද්‍යවරුන්ටත් අමතන්න මට සිදු වුණා. මෙය මේ අවස්ථාවේදී වෙහෙසකර වැඩක්. මම නොසන්සුන්. ඔහු පැමිණියා. කකුල බේරා ගත්තා. එත්… නන්නාඳුනන රෝගියෙක් මෙසේ පැමිණියා නම්..! මට මේක ලොකු ගැටලුවක්.

අගෝස්තු 12 – සිකුරාදා
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කළ වැඩිහිටි සත්කාරය පිලිබඳ පුහුණු පාඨමාලාවක්, හැඳල ලාදුරු රෝහලේ පැවැත්වූවා. මමත් එයට සහභාගී වුණා. දැනට ලංකාවේ වැඩිහිටි ප්‍රතිකාර මද්‍යස්ථානයක් නොමැති නිසා ලාදුරු රෝහල එවැනි ආයතනයක් බවට පත්කිරීම අමාත්‍යාංශයේ අදහසයි. මෙය ජපානයේ JAICA ආයතනයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක්.
දැනට ලංකාවේ වැඩිහිටි ජනගහණය – වයස අවු 60 ට වැඩි – 12% ක් වන අතර 2025 වන විට එය 25% ක් වෙන බවට ගණන් බලා තිබෙනවා. ප්‍රධාන වශයෙන් ආයුකාලය වැඩිවීමත්, උපත් සංඛ්‍යාව අඩුවීමත් නිසා සිදුවී ඇති මෙම තත්වය දැනටත්, ඊටත් වඩා නුදුරු අනාගතයේදීත් අපේ රටට විශාල ගැටලුවක්. අභියෝගයක්. වැඩිහිටි යැපෙන්නන් 25% යි. ළමා යැපෙන්නන් 25% යි. රටෙන් බාගයක් යැපෙන්නන්. ඉතිං කොහොමද රටක් ඉදිරියට යන්නේ?

ලෝකයේ මෙම අර්බුදයට වැඩියෙන්ම සහ ප්‍රථමයෙන්ම මුහුණ දුන් රට ජපානය. නමුත් සැලසුම්සහගතව, සංවිධානාත්මකව, ඉලක්ක සහිත වැඩපිළිවෙලක් ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් එම අභියෝගයට ඔවුන් මුහුණ දුන් අකාරය සහ දැනටමත් එම ඉලක්ක සපුරා ඇති බවත් එදින සහභාගී වූ ජපන් ජාතික විද්වතුන්ගේ දේශන වලින් ඔවුන් පැහැදිලි කළා.
නමුත් අපි.. ජාතික අර්බුදයකට මුහුණ දෙන්න ජාතික වැඩපිළිවෙලක්, ප්‍රතිපත්තියක් නෑ. සත්කාර, පුණ්‍යකර්ම සහ හැඟීම්බර වචනවලින් විතරයි වැඩගන්න හදන්නේ. වැඩිහිටියන්ට සැලකීමට දැන් තියරි හදන්න සිදු වෙලා.

Comments are closed.