රාජාලි දිවිය

Rajali
පරිවර්තනය‍
රන්දිකා රණවීර ප්‍ර‍නාන්දු
(මුලාශ්‍රය: බයිබලය ඇසුරින් ලියැවුණු අන්තර්ජාල ලිපියකි)

1. සෑමවිටම පියාඹන්නේ තනිව, හැකි උපරිම ඉහළින්

රාජාලියා ගේ කුරුල්ලන්, කපුටන් හෝ වෙනත් කුඩා කුරුල්ලන් හා එක්ව පියාඹන්නේ නැත. එය ආදර්ශයට ගෙන ඔබට නොගැලපෙන, පටු අදහස් ඇති පුද්ගලයින් හා සමාගමයෙන් වැළකීම වටී. හැමවිට ම උසස් අදහස් ඇති මිතුරන් ආශ්‍ර‍ය කිරීම ඔබගේ දියුණුව පිණිස හේතුවේ.

2. ඉතාමත් තියුණු, නිවරද දෘෂ්ටියක්

කිලෝමිටර පහක් පමණ දුර සිට තම සිත්ගත් ගොදුර වෙත එල්ලය ගැනීමට රාජාලියාට හැකිය. ඉතාමත් කලාතුරකින් මිස අතරතුරේ ඇතිවන අවහිරතාවකට ඒ මෑනීමට බාධා කළ නොහැක. ගොදුරට පහර දෙනතුරු සිය ඇස එයින් ඉවතට ගන්නේ රාජාලියා නොවේ. එය ආදර්ශයට ගෙන අපගේ දියුණුව පතා වන ඉලක්කයක් වෙත ගත් එල්ලය කෙතරම් අවහිරතා ඇති වුවත් වෙනස් නොකළ යුතුය.

3. කල්ගිය ආහාර කුමටද?

රාජාලියා සැමවිට ම ආහාරය පිණිස ගන්නේ නැවුම් ගොදුරකි. එය ආදර්ශයට ගෙන, අතීත ජයග්‍ර‍හණ පිළිබද ව උදම් අනමින් නොසිට දියුණුවේ නව දිශාවන් දිනාගන්නට උත්සාහ කළ යුතුය. අතීතයට එයට හිමි අතීතයේ ම රැදෙන්න ඉඩ හළ යුතුය.

4. කුණාටු ප්‍රේමය

කුණාටුවකට පෙර මග කියමින් වළාකුළු එක්රැස් වී කොඳුරන විට රාජාලියාගේ උද්යෝගය ඇවිස්සෙයි. කුණාටු සුළං ඔහු උපයෝගී කරගන්නේ තව තවත් ඉහළට පියඹා යෑමටය. කළබලකාරී කුණාටු සුළං තමන් රැගෙන වළාකුළු වලට ඉහළින් ඇදී යන ආකාරය රාජාලි සිත පිනවයි. අනෙක් සියලුම කුරුල්ලන් තුරු අතු මතට වී, තුරුපත් වලට වහං වෙන්නට උත්සහ දරමින් තෙත බරිතව නිසොල්මනේ සිටියදි ඔහු සෙමින් පියාසලමින් සිය පියාපත් වලට විවේකයක් ලබාදීමට අවස්ථාවක් උපදවාගෙන තිබේ. එය ආදර්ශයට ගෙන, මුහුණ දීමට සිදුවන සියලුම අභියෝගවලට සෘජුව මුහුණ දී ඒ මතින් තව තවත් ශක්තිමත් වන්නට සිතාගත යුතුය. අභියෝගය ජයගත් පසු සිටිය යුත්තේ පෙර සිටි ඔබ නොව වඩා ශක්තිමත් ව ජීවිතයට මුහුණ දෙන තෘප්තිමත් පුද්ගලයෙකි. ජීවිතයේ හමන කුණාටු වල පිහිටෙන් අප වඩ වඩා ඉහළ යා යුතුව තිබේ. නව මාන හදුනාගත යුතුව තිබේ. දිනන්නෝ උස් තැන් දැක නොහැකිලෙති. අභියෝග දැක පසු නොබාති. ඒ වෙනුවට ඔවුහු ඒවා රසවිදමින් තමන්ගේ වාසියට ම හරවා ගනිති.

5. පෙම්වත් හමුව

රාජාලි යුවළකට සංවාසයේ යෙදීමට වුවමනා වූ විට රාජාලි ධේනුව මහා පොළොවට පහත්වී ඉපළක් ගෙන නැවතත් ඉහළ ඉහළ ආකාසයට පියඹා යන්නේ සිය සිත්ගත් රාජාලියා උණුසුම් හැඟීමෙන් තමන් ලුහුබැඳ එද්දීය. ප්‍ර‍මාණවත් යැයි හැඟෙන උසකට පැමිණි පසු ඈ ඒ ඉපළ බිම හෙළන්නේ ඒ වෙත අචලව රැදුණු දෙනෙතින් යුතුවය. රාජාලියා එය සොයා ගත යුතුය. පැය ගණනාවක් පුරා මේ කෙළි සෙල්ලම ඇදී යන්නේ ඉහළ නගින වාරයක් පාසා ඉපළ බිම හෙළන උස වැඩි කරමිනි. තමන්ගේ දක්ෂතාවත් කැපවීමත් තහවුරු වී ඇය එය පිළිගන්නාතුරු ඔහු මේ ක්‍රියාවේ යෙදිය යුතුය. එය ආදර්ශයට ගෙන, පුද්ගලික ජීවිතයේදී හෝ ව්‍යාපාරික කටයුත්තකදි තමන්ගේ සහකරුවෙකු වන්නට සූදානම් කෙනෙකු ඒ වෙනුවෙන් කෙතරම් සුදුසුදැයි තෝරා බේරා ගැනීම වටී.

6. පුහුණුවේ ආරම්භක සැසිය

රාජාලි මව්පියෝ සිය පැටවුන් නිසි වයසට පත්වූ පසු කූඩුවේ වූ සිනිඳු ඇතිරිලි ඉවත් කරන්නට වගබලා ගනිති. ඔවුහු සියලුම තණපත් හා සුමුදු පිහාටු සැරසිලි හොටින් ඇද කූඩුවෙන් බිමට දමති. නොබෝ දිනකින් පැටවුන්ට එහි තවදුරටත් රැඳී සිටීම සැපක් සතුටක් නොවන මොහොත උදා වේ. කළ හැකි වෙන අන් යමක් නොමැති තැන ඔවුනට නොදැනී ම ඔවුන් පියෑඹීම අරඹයි. එය ආදර්ශයට ගෙන, සැප පහසු කලාපයේ දිගින් දිගටම රැඳී සිටීමෙන් වළකින්න. බොහෝ කාලයක් එහි රැඳී සිටීමෙන් ඔබගේ වැඩීම සම්පූර්ණයෙන් අඩාලවනු ඇති.

7. කලක් ගත වූ විට

කාලයක් ගතවන විට තමන්ගේ පිහාටු දුර්වල ව පෙර පරිදි වේගයෙන් පියාඹන්නටත් ඉහළ නැඟෙන්නටත් අපහසු බවක් රාජාලියාට හැඟෙන්නට වෙයි. ආහාර සොයා යෑම අපහසුවීමෙන් දුර්වල වන ඔහුගේ මරණය පවා සිදුවිය හැකිය. එබැවින් රාජාලියා දුර ඈත කඳුකරයේ සැඟවුණු තැනකට විරාමයක් සොයා ඇදී යයි. එහිදී ඔහු සියලුම දුර්වල පිහාටු එකින් එක ගලවා දමා හොටත් නියපොතුත් ගල් පතුරුවල වද්දා කඩා ගනියි. එය ඉතාමත් වේදනාකාරී ක්‍රියාවලියක් බව නොකිවමනාය. ඉන්පසුව ඒ රහසිගත ස්ථානයට වී නිසොල්මනේ කාලය ගත කරන්නේ නැවුම් පිහාටු වැඩී, ශක්තිමත් හොටක් ලැබී, තියුණු නියපොතු වැඩෙනතුරුය. ඉන් අනතුරුව ඔහුට පෙර පරිදි ම ශක්තිමත්, අභීත රාජාලියෙකු ලෙසින් ලොව හමුවේ පෙනී සිටිය හැකිය. මේ ආකාරයට ම අපටත් විටෙක කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කළ පුරුදු අත්හරින්නට දිනක් එළඹෙනු ඇති. කෙතරම් වේදනාකාරී දෙයක් වුවද අපගේ සිත් දවන හෝ අප දිවියට කිසිදු යහපතක් එක් නොකරන හෝ යමක් රඳවා තබා ගන්නවාට වඩා එය අත්හැරීම යහපත් නොවන්නේද?

One Comment