මී කඩන්නෝ සහ අනුන් ගේ පහනෙන් එළිය බලන්නෝ

Mahinda with Geetha

මී කඩන්නෝ සහ අනුන් ගේ පහණෙන් එළිය බලන්නෝ

පාද යාත්‍රාව නිම යි. වහසි බස් පුරසාරම් මෙන් ම ගැරැහිලි කෙනෙහිලි ද අවසන්. සිදු වූයේ කුමක් ද කියන්නට දේශපාලන තර්ක විතර්ක වුවමනා නැත. සරල ගණිතය ම ප්‍රමාණවත්. ගණිතයෙහි පරීක්ෂණයට මහින්ද රාජපක්ෂ කල්ලිය මුහුණ දුන් හැටි බලමු.
මහින්ද රාජපක්ෂ 2010 වසරෙහි දෙවැනි වර ජනාධිපති ධුරයට පත් වූයේ ඡන්ද 60 ලක්ෂයක් ලබමිනි.
යාග හෝම පවත්වා රාජකීය නක්ෂත්‍රවේදීන් විමසා දේශපාලන දත්ත විශ්ලේෂකයන් හා පුරෝහිත බමුණන් ගේ උපදෙස් පතා තුන් කල් සහ පස් මහ බැලුම් බලා දෙවසරකට කලින් ම මැතිවරණයට සිංහ ලීලාවෙන් ඉදිරිපත් ව 2015 ජනවාරියෙහි ඔහු පරාජය වූයේ ඡන්ද 58 ලක්ෂයක් ලබමිනි.

ඉනික්බිති එම වසරෙහි ම අගෝස්තු මහා මැතිවරණයෙහි අගමැති ධුර අපේක්ෂාවෙන් බලහත්කාරයෙන් මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි අපේක්ෂකත්වය ලබා ඔහු ගේ පිලට ගත හැකි වූයේ හුදෙක් ඡන්ද 48 ලක්ෂයකි.
අනතුරුව කොතෙක් පුරසාරම් දෙඩුව ද 2016 මැයි දිනයෙහි ජනතා සහභාගිත්වය අතින් ඔහු ගේ පිල නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සසඳන විට දෙවැනි තැනට වැටුණේ ලෝකයා ම ඉදිරියේ ය.

දස ලක්ෂයක් කොළඹට ගෙන්වන්නට වහසි බස් දෙඩුවද අවසානයෙහි බස් රථ මඟින් පැමිණි ‘‘පාද යාත්‍රිකයන්” ද කැටුව ඔහුට පාද යාත්‍රාවෙන් පෙන්විය හැකි වූයේ 15 දහසක් හෝ 20 දහසක් පමණ පිරිසකි.

පරාභවයට අන් නිදසුන් කුමට?

මහින්ද ගේ තුරුම්පු ආපසු කැරැකී ඇති සේ ය. පක්ෂය හැරැ ගිය මෛත්‍රීට ශ්‍රී. ල. නි. ප. මුල් පුටුව දෙන්නට වූයේ ද චන්ද්‍රිකාට විරුද්ධ ව ගැසූ තුරුම්පුවක් ආපසු කැරැකීමෙනි.

අගමැති අපේක්ෂකත්වය ගන්නට ගැසූ තුරුම්පුව ආපසු කැරැකුණේ මෛත්‍රී එළිපිට ම ඔහුට සහයෝගය නොදෙන බව ප්‍රකාශ කැරීමෙන්.

මැතිවරණයෙහි දී මෛත්‍රීට හිතවත් අපේක්ෂකයන් පරාජය කරන්නට සිය අනුගාමිකයන් ලවා ගැසූ තුරුම්පුව ආපසු කැරැකුණේ මෛත්‍රී ඡන්ද ප්‍රතිඵලය නොතකා පැරැදුණු සිය හිතවතුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමෙන්.

දැන් ඔහූ ගේ පාද යාත්‍රා තුරුම්පුවෙන් ද වැඩක් නැති සේ ය. ඔහු අත තව එක් තුරුම්පුවක් ඇත. එය නව පක්ෂයකින් ඉදිරියෙහි එන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම යිග එම තුරුම්පුව ගසා කුජීත වීම හැරැ ඔහුට දැන් අන් මඟක් නැත.

මීයක් කඩන්නේ අත ලෙවකන්නදැ යි කතාවක් තිබේ. එහෙත් බොහෝ විට මීය කැඩූ අයට සිදු වන්නේ ද අත ලෙව කන්න මැ යි. මන් ද යත්, පන්දම් සැකැසුවන් සහ ඈත සිට බලා සිටි උදවිය පමණක් නොව තවත් වෛවාරන්න කුම්භාණ්ඩයන් ද පැමිණ ඊට අයිතිවාසිකම් කියන බැවිනි. එබඳු අනුන් ගේ පහණෙන් එළිය බලන්නෝ අප සමාජයහි විරල නො වේ.

මී කඩන්නෝ සහ අනුන් ගේ පහණෙන් එළිය බලන්නෝ

මැතිවරණයෙහි මහින්ද රාජපක්ෂ පරාජය කරන්නට ඡන්දය දුන් ජනතාවට ද දැන් සිදු ව ඇත්තේ මීයක් කඩා අත ලෙවකන්නට. මීය කැඩුවෝ ජනතාව මිස පන්දම නො වේ. දැන් බලයට පත් දේශපාලකයන් ගේ හැසිරීමෙන් පෙනෙන්නේ උන් ද අනුන් ගේ පහණෙන් එළිය බලන බවකි. මීය කැඩූ පසු සිය රස නහර පිනවන්නට දඟලන කෑදරයන් පරිද්දෙන් ම දැන් ඊනියා ජනතා පුත්‍රයෝද බඩජාරිකමෙන් සිය රස නහර පිනවන්නට කාමසුඛල්ලිකානු යෝගී ව ජීවත් වන්නට ම දඟලති.

රජය උග්‍ර මුදල් හිඟයකින් පෙළෙත් දී රට ණය උගුලක හිර වෙත්දී ජනතාව ආර්ථික වශයෙන් කබලෙන් ලිපට වැටෙත් දී මන්ත්‍රීවරුන්ට වුවමනා සැප කාර් ලබා ගන්නටග බොහෝ විට එය ඒවා අලෙවියෙන් වැඩි ආදායමක් උපයන්නට. පනින රිලවුන්ට ඉණිමං බඳින්නාක් මෙන් මන්ත්‍රීවරුන්ට සියයට හතරේ අඩු පොළියට කෝටි ගණන් ණය දෙන්නත් ආණ්ඩුව සැරැසෙන්නේ පාතයා ගේ රිස්ස යන්නට හකුරු මුලට බෑ තුන තුන බඳින්නැ යි තුම්පනයා උපදෙස් දුන් ආකාරයට මැ යි.

ජනතාව දේශපාලකයන් බලයට පත් කෙළේ ඔවුන් ගේ පෞද්ගලික කුටුම්භ රක්ෂණයට, ඥාති සංග්‍රහයට, අයථා ධනය ඉපැයීමට, මහජන දේපල අවභාවිතයට නො වේ. ගමේ ගොඬේ භාෂාවෙන් කිව හොත් එක් හොර නඩයක් පළවා හැරියේ තවත් හොර නඩයක් නඩත්තු කරන්නට නො වේ. අවසාන විනිශ්චය ජනතාව අත බව වටහා ගැනීම නුවණට හුරු බව පමණක් මතක් කරනු කැමැත්තෙමු.

දේශපාලන විශ්ලේෂක

Comments are closed.