මායා ගංගා (02 වැනි කොටස)

murder-generic_650x400_81466778653
නිවහල් වෙබ් අඩවිය සතිපතා කොටස් වශයෙන් පළකරන නවකතාවකි.
ලියන්නේ – තීක්ෂණ කිරිඇල්ල

මායංගම කෙළවරෙන් ආරම්භ වූයේ පිංකන්ද වතුයාය යි. ගමත් වතුයායත් ආසන්නයේ වත්තෙහි මෙහෙ කරන දමිළ කම්කරුවන් පදිංචි කර තිබුණි. දශක ගණනාවකට පෙර ඔවුන් මෙරටට ගෙන එන කාලයේ තිබු ලැයිම් කාමර තවමත් ඔවුන්ගේ පදිංචිය සඳහා තිබුණේ සියල්ල වෙනස් වුවත් ඒවා වෙනස් නොවන බව කියන්නාක් මෙනි. ලැයිම් කාමරයේ නිවසන්නට නම් පවුලේ අයකු වත්තේ මෙහෙ කිරීම අනිවාර්ය වීම නීතියකි. එනිසාවෙන් සොච්චමකට වත්තේ වැඩ කරන්නට මේ මිනිසුන්ට සිදු වුවත් ඔවුන් ඉඩ ලද වහාම මායංගම පැත්තට දුවන්නේ ගමෙහි මිනිසුන්ගෙන් කුලියක් මලියක් සොයා ගන්නට ය. පිංකන්ද වත්තෙන් ලැබෙන වැටුපට වඩා වැටුපක් ද දිවා ආහාරය ද විටක් කන්නට ද ලැබෙන බැවිනි. ලැයිම් ජනයා සහ ගම්වැසියන් අතර යම් තරමකට එක්කාසුවක් මේ අනුව ගොඩ නැඟී තිබුණ ද යම් මතභේදාත්මක අවස්ථාවක් එළැඹුණු සැනෙකින් දෙමෙළ්ලුන්ට කොහෙන්ද එහෙම හයියක් කියමින් බෙදුම් ඉර ලකුණු කරන්නට ගම්වැසියෝ ඉක්මන් වීම සාමාන්‍ය දෙයකි.

පිංවත්ත පහළ ලැයිමේ දිවි ගෙවූ යුවතියකි, ප්‍රියා. ඇය මේ ඝාතනයට ලක් වූ කාන්තාවන් කිහිප දෙනාගෙන් පළමු වැන්නීය. ඈ මායංගමේ යොවුනන් බොහෝ දෙනෙක් පවා ඇලුම් බැලුම් හෙලූ එකියකි. ඇගේ මව් කොච්චි යනුවෙන් හඳුන්වන උප ජන කොටසෙන් පැවත එන්නියකි. ඇගේ මිත්තණිය එක්තරා සුදු පාලකයෙක් හා බැඳුණු පෙමක ප්‍රතිඵලයක් ලෙස ඇගේ අම්මා ලොව එළිය දුටු බව කතාවක් එන්නේ, ප්‍රියාගේ මනස්කාන්ත රූ සපුව ගැන කතා කරත් දී ය. පිංවත්ත වතුයායේ ගෙවූ සොච්චම් පඩියට නඩත්තු වෙන ජීවිතය යට කරගෙන ප්‍රියාගේ රූ සපුව එළියට ආයේ ය.

මේ රුවැත්තිය මායං ගඟ ආසන්නයේ වැටී සිට කංසා සුරුට්ටුවක් උරන්නට ගිය ගම් ගැටව් දෙදෙනෙකුට මුණ ගැසෙන විට සිටියේ ජීවතුන් අතර නොවේ. තියුණු ආයුධයකින් වුණු තුවාලයකින් හෝ තුවාල කිහිපයකින් ගලා ගිය සුරත් පැහැ ලේ තණකොල බිස්ස අඳුරු කර තිබුණි. පොලිසිය පැමිණ අපරාධ ස්ථානයකැයි කහ-කලු පටි ඇදි අතර කන්නම්මා ළෙහි අත් ගසාගෙන විළාප නඟන්නී විටෙක “කඩවුලේ.. කඩවුලේ” යනුවෙන් බිරුසන් දුන්නා ය. ප්‍රියාට ආල-ලීල පෑ යොවුනන් කිහිප දෙනෙක් පොලිසියට කැඳවා ගෝරනාඩු කිරීමෙන් පසුව එම සිදුවීම සැඟව ගියේ ය.

දෙවැනි ජීවිතය ද දෙමළ යනුවෙන් හැඳින්වෙන ජීවිතයක් වූ අතර එය යම් තිගැස්මක් ඇති කරන ලද වුවත් අනෙක මෙන් ම යටව ගියේ ය. ඈ විජයා නම් මැදි වියේ කාන්තාවකි. ජීවයෙන් තොර ඈ සිරුර ද මායං ගඟේ කුඹුක් මුලක පැටලී තිබී වැලි ගොඩ දමන දෙදෙනෙකුට හමු විණ.

තෙවැනි බිල්ල සිංහල එකක් වී තිබුණි. ඈ සරලා අක්කා ය. සරලා අක්කා මායංගමේ කවුරුන් සමඟවත් තරහක්-මරහක් නොතිබූ වයස සතළිසක මෙනවියකි. එක්තරා අති ප්‍රබල ප්‍රේම බන්ධනයක් බිඳී යෑමෙන් පසු ඈ එකලාව දිවි ගෙවන්නට තදින් සිතට ගත්තී ඒ අනුව ක්‍රියාත්මක වුණා ය. ඈ සහ ඇගේ මව ඔවුනගේ මහ ගෙදර විසුවෝ ය. පියදාස නම් සරලාගේ පියා අංශභාගයෙන් ඔත්පලව ඇඳෙහි වාසය කළේ ය. ඈට සිටි එක ම සොයුරා පෙදරේරු රැකියාව පිණිස කොළඹ බලා බස් නැග සිටියේ ය.

සරලා බොහෝ දෙනෙක් ට අක්කා වූයේ ඈ හැම දෙනා වෙත ම තබා ගෙන සිටි පරතරය නිසා විය යුතු ය. ඈ තමා නිමවාගෙන තිබූ අවකාශයට කිසිවෙකුට ඇතුළු වන්නට ඉඩ තබා තිබුණේ නැත. විවාහයන් රහිතව සිටියවුන් සේ ම විවාහයන් සහ දරුවන් ද සහිතව සිටියවුන් පවා මේ අවකාශයට ඇතුළු වන්නට වෑයම් කළ ද ඒවා එකකින් දෙකකින් පසුව කිසිවෙක් ඒ ගැන සිතන්නට නොපෙළඹුණෝ ය.

ඇගේ සිරුර ද පෙර ඒවා මෙන් ම තියුණු කැපුම් සහිත තුවාල පිළිගෙන තිබුණි. මෙතෙක් කිසිදු මිනිස් ඇසකට නිරාවරණය නොවූ කලාප හිරුට පවා පෙන්වාලමින් සරලා අක්කා ගං ඉවුරේ අකුළක වැටී තිබුණි. හුදෙකලා එකක් දෙකක් ඝාතන මෙන් නොව දැන් ගමෙහි සිත් සතන් මත්තෙහි තිගැස්මක් සනිටුහන් කර තිබුණි. රෑ පානේ ගමන් බිමන් හීන වී ගියේ ය. බෝක්කු, බැමි උඩ කංසා, අබිං සැඟවී ගියේ ය. දැන් දැන් විවිධාකාර කතා-ලතා පැතිර යන්නට වූයේ ය. පිල්ලියෙහි බිල්ල මසකට වරක් ගැනෙන බව පතළව ගියේ නැතිවුණ ජීවිත මසකට වරක් ඉදිරීගොස් තිබුණු නිසා ය.

Comments are closed.