“මට එපා වෙලා ඩොක්ටර්!”

Doctor d
වෛද්‍ය සුනිමල් ජයකොඩි ලියයි.෴

දිනය ජුලි 20 බදාදා
අද මම කතාවක් පැවැත්වූවා. රාගම රෝහලේ කාර්ය භාර වෛද්‍යවරයා ලෙස පරිපාලනයමය කටයුවල යෙදීම මගේ රැකියාවයි. ඕ. පී. ඩී. එකේ සේවය කරන අපේ මිතුරියක් – වෛද්‍යවරියක් – අද විශ්‍රාම යනවා. ඇයට සුබ පැතීම අපේ අරමුණයි. වෛද්‍ය විවේක කාමරයේ පොඩි උත්සවයක්. අපේ සම්ප්‍රදායට අනුව මම කතාවක් පැවැත්විය යුතුයි. මම ඒ සඳහා ඉදිරිපත් වුණේ කැමැත්තෙන්මයි. ඩොක්ට් රමණි අගය කල යුතු කෙනෙක්. මගේ කතාවෙන් කොටසක්… “ මම අගය කරනවා ඩොක්ය රමණිව. ඇය අනිවාර්යෙන්ම ප්‍රසන්න පෙනුමැති වෛද්‍යවරියක්. නමුත් ඒක නෙමේ කාරණාව. ඇය කතා කරන වෛද්‍යවරියක්. අද සමාජයේ බොහෝ දෙනා නිශ්ශබ්දයි. විශේෂයෙන් උගතුන් සහ බුද්ධිමතුන් කතා කළ යුතු යුගයක් මේක. ඇත්ත වශයෙන්ම, වෛද්‍යවෘත්තිය සහ දේශපාලනය අතරේ වෙනසක් නෑ. මිනිසාගේ දුක සහ වේදනාව හඳුනාගෙන එයින් මුදවා ගැනීම තමයි ඒ දෙකේම දැක්ම. අපි ඉගෙන ගත්ත විද්‍යාව අනුව රෝග හඳුනාගන්න සහ ප්‍රතිකාර කරන්න අපි දන්නවා. අද සමාජයම අසනීපයි. එහි රෝග මුල සොයා ගෙන එය සුව කිරීම සඳහා අප ඉගෙන ගත් විද්‍යාව යොදා ගත යුතුයි. ඩොක්ට රමණි එවැනි දර්ශනයක් තියෙන කෙනෙක්. අඩු තරමේ අපේ සේවා ස්ථානය හිතකර සහ නිරෝගී ලෙස සකසා ගැනීමට ඇගේ උත්සාහය අපිට ශක්තියක් වුණා.”.

ජුලි 26 අඟහරුවාදා
වැඩ අවසන් කර ගෙදර එන්නට මම රෝහලෙන් පිටවුණා. මගේ බිරිඳත් සේවය කරන්නෙ මා සේවය කරන රාගම රෝහලේ ම යි. ඇය තරමක් අසනීපයෙන් නිසා අද වැඩට පැමිණියේ නැහැ. මම රථය පදවාගෙන රෝහලේ ප්‍රධාන දොරටුවෙන් පිටවුණේ තනියමයි. රෝහල් දොරටුව ඉදිරියේ පාරෙන් එහා පැත්තේ සත්‍යග්‍රහයේ යෙදෙන වෛද්‍ය පීඨ සිසුන් ඉන්නා අට්ටාලය මගේ අැස් ඉදිරියේ දර්ශනය වුණා. එය අට්ටාලයක්ද, කුඩාරමක්ද, නැත්නම් මඩුවක්ද කියා හඳුන්වන්න ද කියන ගැටලුවත් මගේ ඔලුවේ හැමදාම තියෙනවා. එත්, ඊට වඩා ගැටලු මේ ගොඩාක් හිතේ තියෙනවා. ඔවුන් දිහා බලනවාද, නොබලනවාද.. මගෙන්ම අසමින් මම එතන පසු කළා. මාලඹේ සයිටම් ආයතනයට විරුද්ධව අරගලය. අඛණ්ඩ සත්‍යග්‍රහය. මඩුව දිරාපත් වෙලා. බැනර් අව්වට පිච්චිලා. දිනය පමණක් දිනපතා අලුත් වෙනවා. අදට දින 169යි.

ත්‍රීමා විතාරණ අපේ බැචෙක්. ත්‍රීමා මරා දැමූ පසු ත්‍රීමාගේ දේහය කොළඹ වෛද්‍ය පීඨයට ලබා ගැනීමට අපිට අරගලයක් කරන්න සිදු වුණා. ඒ වෙනුවෙන් අපි, කොළඹ මහා රෝහලේ බණ්ඩාරනායක බිල්ඩිමේ උඩ තට්ටුවේ උපවාසයක් කළා. එවක වෛද්‍ය සිසුවියක් වූ මගේ බිරිඳත් ඒ උපවාසයේ හිටියා.

මේ සත්‍යග්‍රහය පටන් ගත්ත මුල් දවස්වල මමයි මගේ බිරිඳයි වැඩට එන අතරතුර දවසක ඇය කියූ දෙයක් මට දැනුත් මතක් වුණා. “අපි එදා කළෙත් මේ සටනම යි. එදා අපිත් පිකට් කළා. කෑ ගැහුවා. කඳුළු ගෑස් කෑවා. ගුටි කෑවා. අද.. අවුරුදු 30 කට පස්සේ.. . දැන් අපේ ළමයි.. ඒ සටනමයි. ඒ පොස්ටර්මයි. ඒ පාරවල්වලම කෑ ගහනවා. පිකට් කරනවා. අනේ මන්දා.. මොකක්ද මේකෙ තේරුම..?”

අගෝස්තු 4 බෘහස්පතින්දා
හවස ඩිස්පැන්සරියේ. බේත් ගැනීමට රෝගීන් කිහිප දෙනෙක් පැමිණියා. මේ දවස් වල කොහොමත් ලෙඩ්ඩු අඩුයි. ඒ නිසා ඉඩ ලැබෙන ලෙසට මම රෝගීන් සමඟ කතාවේ යෙදෙනවා. රෝගයට අවශ්‍ය නොවන දේත් මම කතා කරන්න කැමතියි. ප්‍රතිකාර ගන්න යුවළක් පැමිණියා. බිරිඳ වයස 38ක් විතර. සැමියා රොහාන්. මම මේ දෙන්නව පෞද්ගලිකවත් දන්නවා. රෝගියා කාන්තාව. “මොකක්ද අසනීපෙ?” මම ඇහුවා. “කොන්ද රිදෙනවා ඩොක්ට. මේ පැත්තෙන් පටන් අරගෙන කකුල දෙගේ පහලටම කැක්කුම එනවා. හරි අමාරුයි. රෝගය පිලිබඳ හරස් ප්‍රශ්න දෙක – තුනක් අහන ගමන් මම ඔවුන් දෙදෙනා දිහාම බැලුවා. “ හැමදාම රිදෙනවා රිදෙනවා කියනවා ඩොක්ට, මට එපා වෙලා තියෙන්නෙ”- රොහාන් එහෙම කිවුවේ තරමක් හිනාවෙවී වුනාට ඒ ප්‍රකාශය තුල මට දැනුණේ වෙන කාරණාවක්. මෙය මට අලුත් කාරණාවක් නෙමේ. අවුරුදු 10ක් 15ක් එකට ජීවත් වන අඹුසැමි යුවලකට දෙන්නට දෙන්නා එපා නොවී ජීවත් වෙන්න තරම් අද සමාජ වටපිටාව ඔවුන්ට හිතවාදී නැති බව මම දන්නවා.

රොහාන්ගේ කතාව තවම ඉවර නෑ. ඔහු අන්තිමට කීවේ “ මේක ඕෆ් සීසන් එක වුනාට 50% ක විතර බිස්නස් තියෙනවා ඉස්සර. දැන්, සීසන් එකටත් ඇද ගන්නේ අමාරුවෙන්. කරන්න වැඩ නෑ ඩොක්ට. VAT එක 15% ක් ගහන කොට තොග වෙළෙන්දා රෙදි ගේන් නෑ. …….” බිස්නස් ලෝකේ හෙම්බත් වෙලා ඉන්න රොහාන්ට එපා වුණේ නෝනාගේ අඳෝනාවද? රටේ අඳෝනාවද? මම මගෙන්ම ඇහුවා.

Comments are closed.