විකසිත පැතුමන් ඔබේ ළයේ….

Jee
විකසිත පැතුමන් ඔබේ ළයේ,
සෙනෙහස මීවිත පිරී..
එනමුදු අදරින් මගේ ලොවේ,
දැල්වුණු පහන ද නිවී..
ම්ම්ම් හා.. හා.. හා..
මා.. මත් වීලා…

නීල නෙතු ඇගෙ පෙර මගේ,
ඒ දෙනෙත් අද අනෙකුගේ..
සිත්තුල සුපිපුණ සෙනෙහස් මල්දම්
මිළිනවී,
වියෝගේ ළං වීලා..

මා නොලද ඒ ආදරේ,
ඔබේ හද තුල මෝදු වේ..
එක්කල අතැඟිලි යළි වෙන් නොවනට
වසඟවී,
පෙම් සිනා නැංවේවා..

ගායනය – මිල්ටන් මල්ලවආරච්චි
පදරචනය – බණ්ඩාර කේ. විජේතුංග
සිනමාපටය – ආශා දෑසින්
රංගනය – ගාමිණී ෆොන්සේකා
සංගීතය – සරත් දසනායක

මෙම ගීතය 1978 අප්‍රේල් මස තිරගත වූ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ ” ආශා දෑසින්” සිනමාපටයේ එන්නකි. ගාමිණී, ශ්‍රියානි ප්‍රධාන චරිත රඟපෑ මෙම සිනමාපටය දින 100 නොකඩවා සිනමා ශාලා 18ක තිරගත විය. මිල්ටන් මල්ලවාරච්චි ගයන මේ ගීය සිනමාපටයේ එන්නේ ශ්‍රියානි සහ ගාමිණී අතර වන අනවබෝධයක ප්‍රතිඵලයක් ලෙස බීමත් ගාමිණී යතුරු පැදියක් පදවාගෙන යමින් සිටියදී ගයන්නක් ලෙසිනි.

බණ්ඩාර කේ. විජේතුංග පද රස ගන්වා ඇති මෙහි කියැවෙන්නේ, සිය පෙම්බරිය අනෙකකු හා බැඳුණැයි පෙම්බරයා ගයන වියෝ වේ හඬයි. ඇගේ හදවත ප්‍රේමයේ පැතුමන් මල්පල ගන්වද්දී ඔහුගේ ළයේ දැල්වුණු එක ම පහන ද නිවුණු බව කියන කථකයා, ඇගේ නීල නයන සිහි කරයි. ඒවා පෙර තමාගේ වුව දැන් වෙනකෙකුගේ යැ යි ද කියයි. ආදරයේ මල්දම් විනාශව වෙන්වීම ළංව ඇති බව වේදනාවෙන් පවසන මුත් අවසන තමා නොලද ආදරය ඔහු වෙනුවෙන් මෝදු වේවා යැ යි ද ඔහු හා එක් වූ අතැඟිලි නොබිඳේවා යැ යි ද කියන්නේ ආලයේ පරිත්‍යාගය විදහමිනි.

සිනමාපටයේ එන කතාවට අනුව මේ දෙදෙනාගේ වියෝගය සිදුවන්නේ වරදවා වටහා ගැනීමක හේතුවෙනි. කතාවට අනුව නම් පෙම්වතා වන ගාමිණීට ඈ සැක කරන්නට හේතු කාරණා තිබේ. ඇය වරදක් නොකළේ වුව තත්වයන් පෙළගැසී තිබෙන්නේ ඔහුගේ ප්‍රේමයේ දෘඪතර හැඟීම්බරකම ඉක්මවා තර්ක බුද්ධිය ඉස්මතු වෙන තැන ය. ඉදින් සියල්ල එසේ පෙළ ගැසෙයි.

පද රචනය එකිනෙක ඉක්මවා නොයන වචනයෙන් හැඩ ගැන්වෙයි. එනමුදු අදරින් මගේ ලොවේ-දැල්වුණු පහන ද නිවී යන යෙදුමෙන් සමස්තය කුළුගන්වන්නට බණ්ඩාර කේ. විජේතුංගයන් සමත් වෙයි. ඔහුගේ ලොවේ ඇති එක ම දැල්වුණ පහන ද නිවී ගොසිනි. එහෙත් ඔහු ඈ විනාශ වේවයි පතන්නේ නොවේ. ඔහු කියන්නේ, එක්කල අතැඟිලි වෙන් නොවේ කියා ය. ඒ 70 දශකයේ ප්‍රේමය ද නැතිනම් සැබෑ ප්‍රේමයේ සර්වකාලීනත්වය ද? සරත් දසනායකගේ සංගීත යෙදුමෙන් සෝ තැවුලක් අඩංගු ගීයකට නොගැලපෙන වේග රිද්මයක් අඩංගු වේ යැ යි යමෙකුට මෙම ගීය වියුක්තව රස විඳිනවිට සිතෙන්නට පුළුවන් වුව ද සිනමාපටයේ පැනෙන අවස්ථාවට එය මනාව ගැලැපේ.

ශෝකී රසයක් ලෙස ගැනෙන විරහවේ සුව රසය හෙවත් විප්‍රලම්භ ශෘංගාරය ජනනය වන මෙම ගීය සිරිලක ගී පොතේ අනගි ගීයකි.

සඳුන් ප්‍රියංකර විතානගේ.

Comments are closed.