මායා ගංගා – 01 කොටස

maya 01
නිවහල් වෙබ් අඩවිය සතිපතා කොටස් වශයෙන් පළකරන නවකතාවකි.
ලියන්නේ – තීක්ෂණ කිරිඇල්ල

හල්කඳඑළිය ගමට උදා ව තිබුණේ එක්තරා භීම සමයකි. දසත සුන්දරත්වය කැටිකොට සිනහසෙමින් සිටි පරිසරය පවා දැන් දැන් උදේ රෑ දිවා නැතිව ගෙන එන්නේ පාණ්ඩු පාට මූසල පෙනුමකි. වැර වෑයමෙන් භයංකරබව ගොඩනඟන බියකරු ත්‍රාස සිනමාපටයක පරිසරයකට එය සමානව තිබේ.

මෙවන් භීම සමයක් පිළිබඳව එක් පෙනෙන නොපෙනෙන මතකයක් ජයරත්නගේ සිතෙහි ඇත. තමා පැටි සන්දියේ දී දුටු ජේ.වී.පී කලබල කාලය ලෙස හැඳින්වූ සමයයි ඒ. අහස අඳුරුව තිබුණි. පුළුටු ගඳ නැහැ අග තැවරී ඇත. සිදුවන සිදුවීම් නිසාවෙන් තමාට පරිසරය එසේ පෙනෙනවා විය නොහැකි දැ යි ජයරත්න මොහොතකට සිතුවේ ය.

එකින් එක බිලි බවට පත්වන ගමෙහි කාන්තාවන් අතරෙන් ඊළඟ බිල්ල විය හැක්කේ කවුරුන් ද?

තම තරුණ සොහොයුරිය, මැදිවිය ඉක්ම වූ තම මව..

එලෙස සිතද්දී ජයරත්නගේ කකුල් දෙක පණ නැතිවෙන්නට යයි. ඔවුන් රැකගෙන ගෙදරට වී ඉන්නට හැකියාවක් තමන්ට නැතිකම ගැන නිරන්තරයෙන් ඔහු තැවුණේ ය. කරු හවුළට විමල් මුදලාලිගේ පතළට යන ඔහුට සති අග ලැබෙන සුමාන කාසිය ලොකු සහනයකි. ළඟකදී සිට නැඟණිය සුමිත්‍රා ද නගරයේ කඩයක රැකියාවකට යෑම මඳ අස්වැසිල්ලකි. ඒ අස්වැසිල්ල නැතිව යන්නේ, නැඟණිය නැති දවල් දවසේ මව පමණක් නිවසේ තනිවන බව සිහිවන විට ය.

පස් කූඩ හුවමාරු කරද්දීත්, කැකිල්ල කපද්දීත්, ඉල්ලම් කඩද්දීත්, වට්ටිය කරකවද්දීත් ඔහුගේ සිතෙහි රැජයූවේ තම ගමට සිදුව ඇති මේ නස්පැත්තියයි. මොන තරම් අගහිඟකම් තිබුණ ද ඔවුන්ගේ දිවිය මායං ගඟ මෙන් නිසොල්මනේ ගලා ගියේ ය.

මේ ව්‍යසනය පටන් ගෙන දැනට හුඟ දවසක් ඉකුත්ව ගොස් තිබියේ නැති වී නමුදු එය අතිභයංකර විය. සිදුව තිබුණේ ඝාතන කිහිපයක් වුව ද ඒ ගැන පැතිර තිබූ විවිධ කතා ගොන්න නිසා ගම්මුන් ජීවත් වූයේ සෙවනැල්ලකට පවා බිය වන අන්දමේ මානසික තත්වයකිනි. කාන්තා ඝාතන සිදුවෙන ආකාරය සොයා ගැනීමට මේ දක්වා පොලිසිය අසමත් වීම නිසාත් ඒවා කිහිපයක් දිගින් දිගට සිදුවුණ නිසාත් ඒ වටා අමුතු මිථ්‍යා කතා ගොඩනැගෙමින් ආවේ ය.

මෑතක දී ජනයා අතර ප්‍රකට ව ගිය කතාව නම්, යකැදුරෙකු විසින් අවදි කළ පිල්ලියක් ගමෙහි සැරිසරමින් ජීවිත බිලිගන්නා බවයි. එම කතාව විවිධ අන්දමින් සංස්කරණය වී හොඳ තත්වයකට ගොඩනැගෙන්නට වැඩි දවසක් නොගියේ ය. එම යකැදුරා මාතර අතිප්‍රබල කට්ටඬියෙකු බවත්, කිසියම් සතුරෙක්ගෙන් පලිගැනීම උදෙසා එම පිල්ලිය අවදි කරන ලද බවත් යම් හේතුවකින් පිල්ලිය අවදි කළ පසු යකැදුරා මිය ගිය බවත් කියැවුණු එම කතාවේ අවසානයේ දී කියැවුණේ පාලනයෙන් තොර ව ඇති එම පිල්ලිය හල්කඳඑළිය ගමට වැහී කාන්තාවන් ඝාතනය කරන බවයි.

පලිප්පු දා ගොඩනැගෙන මේ කතාව අසන එගම මිනිසුන් සන්ත්‍රාසයෙන් ඇවිල යන්නේ, රැයෙහි දොට්ට පිළට යන්නට පවා බිය ගනිති. ජයරත්න නම් මෙවැනි කතා එතරම් විශ්වාස කළේ නැත. ඔහු සිතුවේ මේ පසුපස වෙනත් කරුණු කාරණා තිබිය හැකි බවයි.

දෙවැනි කොටස ලබන සතියට..

Comments are closed.