සඳ හැර ගියද පායලා කැවුත්තේ…!

house
(බිරිඳ දරුවන්ද සමඟ මගෙන් වෙන්වී දෙවසරක් ගතවීම නිමිත්තෙනි.)

උදැල්ලෙන් වෙඩි තබා ගැඩවිලුන් පනුවන්ට
අත්තිවාරමක් ගොඩ නැගූවෙමු අප හැමට
ඒ නිවස සොහොනක්ව පෙනෙයි නම් ඇස්දෙකට
සෝපාකටත් දැන් සඳළුතල මොකකට ද…?

මකුළු දැල් ඇදගත්ත බිරිඳගේ චීත්තත්
වැහි බිංදු උරාගත් උපත්පාලන පෙතිත්
හය හතර චක්කරේ බිංදුවක්වත් නොදත්
පොඩි උන්ගෙ ජංගි ටික කාවන්ට පෙරහැරක්…

මතක සැමරුම් කොණක හිනාවී විරිත්තන
නුඹද කඳුළක් තමයි කැඩුණු තටු මත වැටුණ
කිරිල්ලක් උනානම් හොටට හොට පටලවන
කටුසරම ඍතුවක් වසන්තය සේ හැඟෙන…

මාව අතහැර
නුඹ ගියේ හරියට
මොනවත් ම බඩේ ඉතුරු නොකරන
ගබ්සාවක් වගෙයි සොඳුරිය…!

අත්ගල මොකට කුස්සියෙ මිරිසුත් නැතිනම්
අත්හල පසුව දුක දැනෙනව නම් මෙතරම්
කොග්ගල මට එපා මාටින් පස් යට නම්
මත්තල මොනරු වාගෙම මම තනි වෙන්නම්

ප්‍රියාවිය සාමුවන් අස රැඳුණු
බග සඳට වුවත් රෑ මුණගැසුණු
නොකියවා ඉවතහළ කවියක්ය
සදාකල් නුඹට මා මගහැරුණු…!

෴ නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් ෴

ආත්මයේ පත්ළෙන් නැගෙන දුක්ඛ දෝමනස්සයන් සේ ම සුඛ සෝමනස්සයන් වදනට පෙරළන නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් හෙවත් මිතුරු සන්ථවයන් ‘බෙනා යනුවෙන් හඳුන්වන කවියාගේ කවි කියවන්නා තිගැස්මකට ලක් කරන කවි වෙයි. යම් බඳු අද්දැකීම් කවියට ගෙනෙද්දී ඔහු පෙන්වන අතිශය අව්‍යාජත්වය සහ ඒවා නොපැකිළ ව කියනාකාරය මතින් එම තිගැස්ම තීව්‍රර කරයි. ඒ කවිය යටින් ඔහු මෙබඳු ප්‍රශ්නයක් අසනවාක් වැන්න.

“මහත්තයො ඔය පෙන්වන ජීවිතයට යටින් ඔයාල මගහැරල යන තව ජීවිතයක් තියනව නේ ද?”

තම ප්‍රකාශනය කරද්දී බෙනඩික් සතු ප්‍රබලම අවිය නම් ව්‍යාජ සංස්කෘතික වහන්තරාවන් සහ සම්මතවාදී කාව්‍ය රීතින්හි වාරණ ඔහු තඹ දොයිතුවකට මායිම් නොකිරීමයි. මෙම කවියෙහි පවා ඔහු කියන්නේ සඳ කැවුත්තේ පායා ඇති බවයි. සංස්කෘතික සම්මතයන්හි හා කව්ලැකියේ වාලෙකු වූ කවියෙකුට කැවුත්ත සහ සඳ එක්කිරීම පහසු නොවන්නකි.

දුහුවිල්ලෙන් ඉපැදුණු කවියෙහි ලාංකේය ලකුණ වූ චන්ද්‍රකුමාර වික්‍රමරත්නගේ නිර්ව්‍යාජ කවියෙහි ලකුණු පෙන්වන බෙනාගේ කවි නූතන ම කාව්‍ය සමාජයේ සාකච්ඡාවට ලක් වන්නේ නැත්තේ දුහුවිල්ලට වී සිටින ඔහු සිය කවිය, කාව්‍ය මණ්ඩපයන්ට ගෙන එන්නට වැර වෑයම් නොකරන නිසා වන.

සටහන – සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.