ලොවක් වසඟ කළ මොන්රෝ!

monroo

ලියන්නේ ජීවන්ති කෝසලා විසිනි.

නෝමා ජීන් මාටෙන්සන් නොහොත් මැරිලින් මොන්රෝ ඇමරිකානු ඉතිහාසයේ පමණක් නොව මුළු මහත් ලෝකයේ ම අවධානය දිනාගත් අතිශය සරාගී නිළියකි. නිරූපණ ශිල්පිනියකි. මුග්ධ රන්වන් කෙස් ඇත්තියන්ගේ (Dumb Blonde) චරිතයට ජීවය දෙමින් කරළියට පැමිණෙන ඇය, එකල ලිංගිකත්වයට තිබූ සමාජාකල්ප තුට්ටුවකට මායිම් නොකිරීමේ ප්‍රතිඵලය ලෙස 1950 දශකයේ ජනප්‍රියම සන්ථව සංකේතය බවට පත්වන්නී ය. අයකිරීම් ලැයිස්තුවේ ප්‍රථමස්ථානයේ යාන්තම් දශකයක් පමණක් වැජඹීමට වාසනාව ලැබුව ද , 1962 වසරේ දී සිදුවන මොන්රෝගේ හදිසි අභාවය වන විට ඇගේ චිත්‍රපට වලින් ලද සාමාන්‍ය ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 200 ද ඉක්මවා තිබුණි.

ලොස්ඇන්ජලීස් නුවර ඉපදී එහි ම හැදී වැඩුණු මොන්රෝගේ බාලකාලය වැඩිවශයෙන් ම ගෙවී ගියේ අනාථ නිවාසවල හෝ කැපකරු නිවාසවල දී යි. මොන්රෝගේ ප්‍රථම විවාහය සිදුවන විට ඇයට යන්තම් වයස 16 සපිරුණා පමණි. යුද්ධය සඳහා කැපවෙනු වස් 1944 දී කර්මාන්තශාලාවක රැකියාව අරඹන අතර, එහිදී හමුවන කැමරා ශිල්පියෙකුට පින් සිදුවන්නට ඇය සාර්ථක නිරූපණ ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයට පය තබන්නට අවස්ථාව උදාකරගන්නී ය. එය 20th Century Fox සහ Columbia Pictures ආයතනවල නිෂ්පාදනයන්ගේ සුළු චරිත සඳහා ඉල්ලුමක් ඇයට ඇතිකර දුන්නේ ය. අප්‍රධාන චරිත මත එහා මෙහා පාවෙන ඇයට 1951 දී නව කොන්ත්‍රාත්තුවක් ලැබෙන අතර, ඇයගේ සිකුරා ප්‍රහසනයන් මගින් ඇයව ජනප්‍රියත්වය කරා රැගෙන යාම ඇරඹුවේ ඒ සමඟිනි.

දෙවන ලෝක යුද්ධයේ අපරභාගය වූ මෙකල ලිංගිකත්වය සම්බන්ධ ආකල්ප කුටුම්භ තුළින් කලඑළි බැසීම ඇරඹී තිබුණ අතර, නිරුවත හුවාදැක්වීමෙන් මොන්රෝ ක්ෂේත්‍රයට පැමිණි බව හෙළිදරවු වීමෙන් අපකීර්තිය ද ඇය සොයා එයි. එහෙත්, මේ නින්දා ඇගේ වෘත්තීයමය ජීවිතයට පන්දම් අල්ලන අතර ඇයට චිත්‍රපට ගලා ඒමට පටන් ගනියි.

1953 වන විට මොන්රෝ ප්‍රධාන චරිත රඟන චිත්‍රපට 3ක් නිදහස් වෙයි. ඇගේ ලිංගික ආකර්ෂණය උලුප්පනු ලද්දාවූ Noir Niagara චිත්‍රපටය සහ ප්‍රහසනයන් වූ Gentleman Prefer Blonds සහ How to Marry a Millionaire චිත්‍රපට 3 ඇයව මුග්ධ රන්වන් කෙස් ඇත්තියගේ (Dumb Blonde) භූමිකාවට තව දුරටත් තහවුරු කරනු ලබන අතර ම ඇගේ මූල්‍යමය ස්ථාවරත්වය ද වැඩිකරලීමට උදව් විය. ඇගේ වෘත්තීමය දිවියේ ප්‍රතිරූපය නිර්මාණය කිරීමට සේ ම එය පවත්වා ගැනීම උදෙසාත් සැලකියයුතු චරිත ප්‍රමාණයක් නිරූපණය කළ ද, චිත්‍රාගාරය විසින් ඇයට ගෙවනු ලැබූ දුගී වේතනයත්, අවශේෂ චරිත දිගින් දිගටම රඟපෑමෙන් ලත් කලකිරීම නිසාත් 1954 දී චිත්‍රපටයක් ප්‍රතික්ෂේපකිරීම මත ඇයව චිත්‍රාගාරයෙන් නෙරපනු ලබයි. එහෙත් තමා පිළිබද අධිතක්සේරුවකින් කටයුතු කළ මොන්රෝ 1955 දී තම දිවියේ විශාලතම බොක්ස් ඔෆිස් සාර්ථකත්වය ලැබූවාවූ විකට චිත්‍රපටය වන The Seven Year Itch සමඟින් තම ස්ථාවරත්වය නැවත ගොඩ නගා ගන්නට තරම් බලසම්පන්න වන්නී ය.

තවදුරටත් චිත්‍රාගාරයේ කුඩම්මාගේ සැලකිලි දරා නොසිටින මොන්රෝ 1954 දී තමාගේම චිත්‍රපට නිෂ්පාදන ආයතනක් Marilyn Monroe Productions (MMP) නමින් ස්ථාපිත කරන්නීය. 1955 වසරේ දී තම නිෂ්පාදනාගාරය දියුණු කිරීමට කැපවන අතර ම Actors Studio හිදී රංගකලාව සම්බන්ධයෙන් හැදෑරීමක් ද කරනු ලබයි. ඉන් පල නෙළාගන්නා fox ආයතනය වසර අවසන ඇයට වැඩි වැටුපක් සමගින් නව කොන්ත්‍රාත්තුවක් ලබාදෙයි. 1957 දී MMP හි ප්‍රථම නිෂ්පාදනය වන The Prince & the Showgirl සිනමාපටයෙන් පසුව Some Like it Hot චිත්‍රපටය සඳහා Golden Globe for Best Actress සම්මානය දිනාගන්නට මොන්රො සමත්වන්නේ 1959 දීය. ඇගේ අවසන් පූර්ණ චිත්‍රපටය වන්නේ The Misfits පමණි.

මොන්රෝගේ කරදරකාරී පුද්ගලික ජීවිතයට ලැබුණේ ඉමහත් අවධානයකි. එය එකල සිට මෙකල දක්වා ම එකසේ ඉහළ අවධානයකින් යුතු වූවකි. මොන්රෝ විෂාදිය, කාන්සාව, ඇබ්බැහිය සමග නොනවතින අරගලයක් කළාවූ ගැහැණියක් වූවාය. ඇගේ දිවියේ ඉතා ජනප්‍රිය විවාහයන් දෙකක් වූ අතර ඒ දෙකෙහි ම අවසානය වූයේ දික්කසාදයයි. ඉන් එක් අයෙක් බේස්බෝල් ක්‍රීඩක ජෝ ඩිමාජියෝ (Joe Dimaggio) වූ අතර අනෙකා නාට්‍ය රචක ආතර් මිලර් (Arthur Miller) විය. ඊට අමතරව බොහෝ ක්ෂේත්‍රවල ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් තම නම හා ඈඳාගත් මොන්රෝ, කෙනඩි සහෝදරයන්ට එහි දී ප්‍රධාන තැනක් හිමිකර දුන්නා ය.

මිය යන විට 36 වියේ පසුවූ මොන්රෝ 1962 අගෝස්තු මස 5 දින ලොස් ඇන්ජලීස් හි පිහිටි ඇගේ නිවසේ දී, පමණ ඉක්මවා නිදිපෙති ගැනීමෙන් මිය ගිය බවට පවසන ලදී. මරණය සියදිවි නසාගැනීමක් ලෙස ප්‍රධාන කතිකාව තුළ හැඳින්වුව ද එය එසේ නොව කුමන්ත්‍රණකාරී ඝාතනයකැ යි කියවෙන මත ගණනාවක් ද මොන්රෝගේ මරණයත් සමඟින් බැ‍ඳෙමින් අදටත් ඇදී එයි.

කෙටි කලක් තුල සුවහසක් හදවත් තුළ ලාලසාව සේ ම කාන්සාව ජනිත කළාවූ රන්කෙස් ඇත්තිය මොන්රෝ, දහසක් දිවි පැතුම් පසෙකින් තබාගෙන ඇත්තෙන් ම සිය දිවි තොර කරගත්තා ද?

Comments are closed.