ලාම්පුතෙල් ගඳ

Kerasone
Amrita Pritam විසින් පන්ජාබි බසින් ලියනු ලැබූ, Sardar Khushwant Singh ji
විසින් ඉංග්‍රීසි බසට පිරිවර්තනය කරන ලද නම් Stench of Kerosene නම් කෙටිකථාවේ සිංහල පරිවර්තනයකි.

෴ පරිවර්තනය – ජීවන්ති කෝසලා

නිවෙසින් පිටත නැඟුණු වෙලඹගේ හේෂාරව හඬ ගුලේරි හඳුනාගත්තාය. වෙළඹ ගෙන එන ලදුව තිබුණේ ඇයගේ දෙමාපියන්ගේ ගමෙනි. තම පියාගේ නිවසේ දොර යැයි සිතාගත් ඇය, ඇගේ හිස වෙළඹගේ බෙල්ලට හේත්තු කළාය.

ගුලේරිගේ දෙමාපියන් ජීවත්උනේ චම්බා නම් ග්‍රාමයේ ය. ඇගේ සැමියාගේ නිවසේ සිට සැතපුම් කිහිපයක් එහායින් උස ස්ථානයක් තිබුණි. එතැනින් එපිට වූයේ දළ බෑවුමකි. එකසීරු බැස්මත් සමඟ මාවත වක ගැසී තිබුණි. එතැන් සිට බලන්නෙකුට තමන්ගේ පය පාමුල සිට දිගට පැතිරීගිය චම්බා දැකිය හැකි විය. ගුලේරිට නිවස මතක්වෙන සෑම විටම ඇය ඇගේ සැමියා වන මනක් සමඟින් මෙතැනට නැඟීම කළාය. හිරු එළියේ දීප්තියෙන් බබළන චම්බා නිවාස දකින ඇය ආපසු පැමිණියේ අභිමානයෙන් ඇගේ හදවත උණුසුම් කරගනිමිනි.

අස්වැන්න එකතුකිරීමෙන් පසු වසරකට වරක් ගුලේරිට ඇගේ දෙමාපියන් සමඟ දින කීපයක් ගතකරන්නට අවසර ලැබුණි. නැවත ඇයව චම්බා වෙත රැගෙන ඒමට ඔවුන් ලකර්මන්ඩිය වෙත මිනිසෙකුව යවනු ලැබූහ. චම්බාවෙන් බැහැරට විවාහ වී ගිය ඇගේ යෙහෙළියන් දෙදෙනෙක්ද මේ කාලයේදී ම ඔවුන්ගේ නිවාස වලට පැමිණියහ. කෙල්ලන් තිදෙන මේ වාර්ෂික හමුවීම පුල පුලා බලාසිටියේ ඔවුන්ට එක්ව පැය ගණන් ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ සතුට සහ ඔවුන්ගේ දුක්ඛදෝමනස්සයන් හුවමාරු කරගැනීමටයි. ඔවුන් එක්ව වීදි දිගේ ගමන් කළහ. ඒ සමඟම පැවැත්වුණේ අස්වනු නෙළීමේ උත්සවයයි. කෙල්ලන්ට උත්සවය සඳහාම අලුත් ඇඳුම් ලැබුණි. ඔවුන් ඔවුන්ගේ සළුවලට කැඳ දමා, සායම් කර, දිලිසෙන කුඩුවර්ග ඉස සකසා ගත් අතර, වීදුරු වළලු හා රිදී තෝඩුද මිලට ගත්හ.

ගුලේරි නිතිපතාම අස්වැන්න නෙළීමේ කාලයට දින ගැන්නාය. ඒ පමණක් ම නොව, සරත් සමයේ මඳ සුළඟ, මෝසම් වළාකුළුවලින් බරිත අහස නිරවුල් කරද්දී ඇය ඇගේ චම්බාහි නිවස ගැන ඩිංගක් හෝ සිතුවාය. ගවන්ට කෑම දීම, සැමියාගේ දෙමාපියන්ට කෑම පිළියෙල කිරීම වැනි ඇගේ එදිනෙදා ගෙදර දොරේ වැඩ-පලවල යෙදීමෙන් අනතුරුව, පැත්තකට වී තමන් රැගෙන යාමට ඇගේ දෙමාපියන්ගේ ගමෙන් කවුරුන් හෝ පැමිණීමට තව කෙතරම් කාලයක් ගතවේයැයි ගණන් සෑදීමේ යෙදුණාය. නැවතත් ඇගේ දෙමාපියන් දැකබලා ගැනීමේ වාර්ෂික වාරය එළැඹ තිබුණි. වෙළඹව සතුටින් හුරතල් කළ ඇය, ඇගේ පියාගේ මෙහෙකරු වන නාතු හට ආචාර සමාචාර කළ පසු ඊළඟ දිනය වෙනුවෙන් සූදානම් වූවාය.

ගුලේරිගේ මුහුණේ වූ හැඟීම් සියල්ල ඕනෑවටත් වඩා ඇයව පැහැදිලි කරනු ලැබු බැවින් ඇගේ උද්වේගය වචනවලින් විස්තර කිරීමේ අවශ්‍යතාවක් ඇති වූයේ නැත. ඇගේ ස්වාමිපුරුෂයා වන මනක් ඔහුගේ හූකාව (දුම් බීමට භාවිතා කරන්නක්) තල්ලුකොට දමා දෑස් පියාගත්තේය. ඔහු දෑස් පියාගත්තේ දුම්කොළ වලට දැක්වූ අමනාපය නිසාද නැතහොත් හෝ ඔහුගේ බිරිඳට මුහුණ දීමට නොහැකිවීම නිසාදැයි නිශ්චිතවම කිව නොහැකි විය.
ඔයා චම්බාවල සල්පිලට එනවා නේද?”
ඒක එක දවසක් විතරක් උනාට කමක් නැහැ අනේ එන්න,” ඇය බැගෑපත් වූවාය.
මනක් ඔහුගේ චිල්ලුම් පයිපය (දුම් ඉරීමට ගන්නා පයිප්පය) පසෙකින් තැබුවද පිළිවදන් දුන්නේ නැත.
ඇයි ඔයා මට උත්තර නොදෙන්නේ?” ගුලේරි ඇසුවේ තරමක් කේන්තියෙන්.
මම ඔයාට යමක් කියන්නද?”
මම දන්නවා ඔයා කියන්න යන්නේ මොකක්ද කියලා: මම මගේ දෙමාපියන්ගේ ගෙදර යන්නේ අවුරුද්දකට වතාවයි. ඔයා මීට කලින් කිසිදාක නතරකරලා නැහැ මාව “.
එහෙනම් ඇයි ඔයා මේ වතාවේ මාව නතර කරන්න හදන්නේ?” ඇය ප්‍රශ්න කළාය.
මේ වතාවේ විතරක්වත්” මනක් බැගෑපත් විය.
ඔයාගේ අම්මා වචනයක් කිවුවෙ නැහැ. ඇයි ඔයා විතරක් පාර හරස් කරන්නේ?”. ගුලේරි සිටියේ පොඩි දරුවකුගේ හිතුවක්කාර ස්වරූපයෙනි.
මගේ අම්මා…… ” මනක් කියන්නට ආ දෙය නිමා කළේ නැත.

බොහෝ කාලයක සිට පෙරුම්පුරා පැමිණි ඒ උදෑසන, ගුලේරි අරුණෝදයටත් කලින් ම සූදානම් වූවාය. ගුලේරිට දරුවන් නොසිටි බැවින්, ඔවුන් සිය සැමියාගේ දෙමාපියන් වෙත දමා යනවාද නැතහොත් ඇය සමඟ රැගෙන යනවාද යන්න සම්බන්ධයෙන් ඇයට කිසිදු ගැටලුවක් තිබුණේ නැත. ඇය මනක්ගේ දෙමාපියන්ගෙන් සමුගන්නවාත් සමඟම නාතු වෙළඹ මත සැඳෑලය දැම්මේය. ඔවුන් ඇගේ හිත අතගා ඇයට ආශීර්වාද කළහ.

මම ඔයා එක්ක මගක් දුරට එන්නම්“, මනක් පැවසුවේය.

ගමනාරම්භයේ සිටම ගුලේරි සිටියේ මහත් සතුටකිනි. ඇය මනක්ගේ බටනලාව ඇගේ සළුව අස්සේ සඟවා ගත්තාය.
කජියාර් ග්‍රාමයට පසු මාර්ග බැස්ම ප්‍රපාතවූයේ චම්බාව වෙතය. එහිදී ගුලේරි ඇගේ සළුව යටින් ගත් බටනලාව මනක්ට දුන්නාය. ඇය මනක්ගේ අතගෙන, “එන්න, ඔයාගේ බටනලාව වාදනය කරන්න!” යි ඉල්ලා සිටියාය. නමුත් මනක්, ඔහුගේ සිතුවිලි තුල නිමග්නව හුන් බැවින් අවධානයක් නොමැතිව සිටියේය. “ඇයි ඔයාගේ බටනලාව වාදනය නොකරන්නේ?” ඇය ඉච්චාවෙන් ඇසුවා. මනක් ඇය දෙස ශෝකයෙන් බලා, ඔහුගේ දෙතොල් මත බට නලාව තබා, ඉතාමත් අමුතු සංවේගී විලාපාමාත්මක හඬක් වැයීය.
ගුලේරි, යන්න එපා“, ඔහු බැගෑපත් විය. “මම ආයෙත් ඔයාගෙන් අහනවා, මේ වතාවේ විතරක් යන්න එපා“. කතාකරගැන්මට නොහැකිවූ ඔහු බට නලාව නැවත ඇගේ අත මත තැබීය.
ඒත් ඇයි?” ඇය ඇසුවාය. “ඔයා එන්න සල්පිළ දවසට. අපි දෙන්නම ආපසු එමු එකට.
“මම ඔයාට පොරොන්දු වෙනවා, මම නැවතෙන්නේ නැහැ කියලා”.

මනක් ඉන් පසු කිසිවක් ඇසුවේ නැත.

ඔවුන් අතරමග නැවතුණහ. නාතු, යුවළට තනිවීමට ඉඩක් දෙමින් වෙලඹ සමඟ පියවර කිහිපයක් ඉදිරියට පියමැන්නේය. මනක්ගේ මතකටය නැඟුණේ, වසර හතකට ප, වසරේ මෙවැනි ම කාලයක ඔහු, ඔහුගේ මිතුරන් සමඟින් චම්බා අස්වනු මංගල්‍යයකට සහභාගී වීම සඳහා මේ මාර්ගයේම ගිය අයුරුය. එකලද, මේ සල්පිළේදී ම ප්‍රථම වතාවට ගුලේරිව දකින මනක් ඔවුන්ගේ හදවත් එකිනෙකාට හුවමාරුකරගෙන තිබුණි. පසුව, තනිව මුණගැසීමට ඉඩ හසර පාදාගත් දිනෙක, ඇගේ අත ගෙන, “ඔයා හරියට ළපටි බඩ ඉරිඟු කරලක් වගෙයි, කිරි වලින් පුරෝදාල” යැයි පවසනු ඔහුගේ මතකයට නැඟුණි.

හරක් යන්නේම ළපටි බඩ ඉරිඟු කරල් හොයාන“, එවිට ගුලේරි තම අත ගසාදමමින් පවසා තිබුණි. “මිනිස්සු වැඩිය කැමති ඒක පුච්චල කන්න. ඔයාට මාව ඕනෙනම්, ගිහින් මගේ තාත්තාගෙන් මාව ඉල්ලන්න“.

මනක්ගේ නෑදෑ චාරිත්‍රයන්ට අනුව මනාලයාගේ දෑවැද්ද විවාහ උත්සවයට ප්‍රථම ලබාදිය යුතුවෙයි. මනක් තරමක ව්‍යාකූල වූ අතර ගුලේරිගේ පියා ඔහුගෙන් කොතරම් ගණනක් ඉල්ලාවි ද යන්න ඔහුට නිශ්චය කරගැනීමට නොහැකිවිය. නමුත්, ගුලේරිගේ පියා ධනවත් පුද්ගලයෙක් වූ අතර, වෙනත් නගරවලද වාසය කොට තිබූ අයෙක් විය. ඔහු දිවුරා තිබුණේ ඔහුගේ දියණියගේ විවාහයෙන් මුදල් නොගන්නා මුත්, ඇයව හොඳ පවුලක ධනවත් තරුණ පුරුෂයෙකුට විවාහ කරදෙන බවය. මනක් තම මාමාගේ අවශ්‍යතා සපුරා ලූ විගසම ඔවුන් විවාහ වූහ. මතකයන් අතරේ ගිලී සිටි මනක් ඉන් මිදුනේ ගුලේරිගේ අත ඔහුගේ උරහිස වටා එතෙනු දැනුණු විටදීය.

මොනව ගැනද ඔයා හීන මවන්නේ?” ඇය ඔහුට ඔච්චම් කළාය.
මනක් මුනිවත රැක්කේය. වෙලඹ නොඉවසිලිමත්ව ශබ්ධ නගන්නට වූ කල, ගුලේරි තමන්ට යාමට ඇති ගමන ගැන කල්පනා වී නික්ම යාමට නැගී සිටියාය. ” ඔයා දන්නවද මෙතනින් හැතැක්ම කීපයක් එහායින් තියෙන බ්ලූබෙල් මල් කැලෑව ගැන“? ඇය ඇසීය, ” ඒක මැදින් ගිය කෙනෙක් බිහිරි වෙනවා කියලා කතාවක් තියෙනවා“.
ඔවු“.
මට පේන හැටියට ඔයාත් බ්ලූබෙල් මල් කැලෑ මැදින් ගිහින් වගෙයි; ඔයාට මම කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ“.
ඔයා හරි, ගුලේරි. මට ඔයා කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ” මනක් දිගු සුසුමක් සමඟ පිළිතුරු දුන්නේය.
දෙදෙනාම ඔවුන්ගේ මුහුණු දෙස බැලීය. අනෙකාගේ සිතුවිලි කිසිවක් අවබෝධ කරගැනීමට දෙදෙනාටම නොහැකි විය.
මම දැන් යන්නම්. ඔයත් ගෙදර ගියොත් හොඳයි. ඔයා හුඟාක් දුර ඇවිල්ලා“, ගුලේරි අවංකවම පැවසීය.
ඔයා මේ දුරම පයින් ආවේ. වෙළඹගේ පිට නැග්ගනම් හොඳයි“, මනක් පිළිවදන් දිනි.
ආ, ඔයාගේ බට නලාව ගන්න
ඒක ඔයා අරගෙන යන්න
ඔයා සල්පිල දවසට ඇවිල්ලා මේක වාදනය කරනවාද?” ගුලේරි සිනාවකින්ම ඇසුවා. හිරු ඇගේ දෑස්වලින් දිලිසෙන්නට ගත් බැවින් මනක් ඉවත බලාගත්තේය. ඉන් ව්‍යාකූලව ගිය ගුලේරි උරිස් ගසා දමා චම්බා බලා පිටත්ව ගියාය. මනක් ඔහුගේ නිවස වෙත ඇදුණි.

නිවෙසට ඇතුලුවී ඔහුගේ චාපෝය (ඉන්දියානු මිටි ඇඳකි.) වෙත ඇද වැටුණේ උදාසීන ලෙසිනි.
උඹ හුඟ වෙලාවක ඉඳන් නැහැ“, ඔහුගේ මව කෑගෑවාය. “උඹ චම්බා වලටම ගියාද?”
දිගටම ගියේ නැහැ; කන්ද උඩට එනකම් විතරයි ගියේ“. මනක්ගේ හඬ රළු විය.
මොකද උඹ නාකි ගෑණියෙක් වගේ කරවු කරන්නේ“, ඔහුගේ මව සැරෙන් ඇසීය.
මිනිහෙක් වෙයන්“.
අම්මත් ගෑණියෙක්නේ; වෙනසකටත් එක්ක ටිකක් අඬන්නේ නැත්තේ ඇයි!” මනක්ගේ යටි සිත එය කෑ ගසා ඇසූවද ඔහු තවදුරටත් නිහඬවම සිටියේය.

මනක් සහ ගුලේරි විවාහ වී සත්වසක් පිරුණද, ඇය ඔහුට දාව දරුවකු බිහිකරන්නට සමත් නොවීම නිසා මනක්ගේ මව රහස් අධිෂ්ඨානයකට පැමිණියාය: “මම ඕකනම් අටවෙනි අවුරුද්දෙන් එහා ගෙනියන්න දෙන්නේ නැහැ“. මේ වසරේදී, ඇගේ තීරණය සනාථ කරමින්, ඔහුට දෙවන බිරිඳක් ගෙන ඒම පිණිස ඇය රුපියල් 500ක් ගෙවා තිබුණාය. මනක් මේ පිළිබඳව දැනසිටි බැවින්, නව බිරිඳ නිවසට ගෙන ඒමට ඇය ඇඟිලි ගන්මින් සිටියේ ගුලේරි ඇගේ දෙමාපියන් වෙත යනතෙක්ය.

චාරිත්‍රානුකූලව විය යුත්තක් බැවිනුත් ඔහුගේ මවට කීකරුවීමට සිදුව ඇති බැවිනුත් මනක්ගේ ශරීරකූඩුව නව ගැහැණියට ප්‍රතිචාර දැක්වීය. එහෙත් ඔහුගේ හදවත ඔහුතුල ම මියගොස් තිබුණි.

එක් දිනක උදය කාලයේ මනක් ඔහුගේ චිලුමෙන් (දුම් බොන උපකරණයකි) දුම් බොමින් සිටියදී පැරණි මිතුරෙක් ඔහු පසුකර යමින් සිටියේය. “ආහ් භවානි, කොහේද මේ යන්නේ උදේ පාන්දර?”
භවානි නතර විය. ඔහුගේ උරයේ පුංචි පොදියක්ද විය. “විශේෂ ගමනක් කියලා නැහැ“, ඔහු කපටි ලෙස පිළිවදන් දිනි.
උඹ කොහේහරි යන ගමන් තමා“, මනක් කෑ ගැසීය “මොකද කියන්නේ, දුමක් උරනවාද?”
භවානි උක්කුටියෙන් වාඩිවී මනක්ගේ අතින් චිලුමය ගත්තේය. “මම යනවා චම්බා සල්පිලට“, අවසානයේ ඔහු කියාදැම්මේය.
භවානිගේ වචන, ඉදිකටුවෙන් විදින්නාක් මෙන් මනක්ගේ හදවත සිදුරු කළේය.
අදද සල්පිළ?”
හැම අවුරුද්දෙම එකම දවසෙනේ“, භවානි කර්කෂ ලෙස පිලිතුරු දුන්නේය. “මතක නැද්ද, අපි එකම කාණ්ඩෙ‍නෙ උන්නේ අවුරුදු හතකට කලින්?”. භවානි ඉන් එහාට වචනයකුදු නොදෙඩුවද මනක් අනෙකාගේ තරවටුව සම්බන්ධයෙන් සවිඥානික වූ බැවින් ඔහු නොසන්සුන් විය. භවානි චිලුම තබා ඔහුගේ පොදිය ගෙන නැඟී සිටියේය. ඔහුගේ බටනලාව පොදියෙන් පිටතට පැන තිබුණි. මනක්ගෙන් වෙන්වයාමට ආචාරකොට, ඔහු යන්නට ගියේය. භවානි නොපෙනීයන තෙක්ම මනක්ගේ ඇස රැඳී තිබුනේ පොදියෙන් පිටතට පැන තිබූ බට නලාව වෙත පමණි.

පසුදා සැන්දෑවේ කුඹුරේ වැඩකරමින් සිටි මනක් භාවානි නැවත පැමිනෙමින් සිටිනබව දැක හිතාමතාම වෙනතක් බලාගත්තේය. ඔහුට භවානි සමග කථාකිරීමට හෝ සල්පිළ සම්බන්ධයෙන් කිසිදු දෙයක් ඇසීමට අවශ්‍ය නොවිණි. එහෙත් භවානි අනෙක් පසෙන් පැමිණ මනක් ඉදිරිපිට වාඩිගත්තේය. ඔහුගේ මුහුණ දුකෙන් පිරී තිබුණු අතර අළු මෙන් ආලෝකයෙන් තොර විණි.
ගුලේරි මැරිලා“, භවානි නීරස හඩකින් පැවසීය.
මොකක්?”
ඇය උඹේ දෙවැනි කසාදෙ ගැන දැනගත්තාම, ඇඳුම්වලට භූමිතෙල් හලාගෙන ගිනිතියාගෙන“.
මනක්, වේදනාවෙන් ගොළුවී ගියේය, දෑස නොසෙල්වා බලා සිටි ඔහුට දැනුනේ ඔහුගේ දිවියම ගිනිගත් බවකි.
දින සති ගෙවී ගියේය. මනක් ඔහුගේ කුඹුරේ වැඩකටයුතු නැවත පටන් ගත් අතර, ඔහුගේ ආහාර ඔවුන් දුන්විට ගිල දැමුවේය. එහෙත්, ඔහු මළ මිනිසෙකුට සමාන විය, ඔහුගේ මුහුණ හිස් වූ අතර, දෑස් බොල් විය.
මම එයාගේ බිරිඳ නෙවෙයි“, “මම නිකම්ම නිකම් එයාට විවාහ වෙන්න සිද්ධ වෙච්ච කෙනෙක් විතරයි“. මනක්ගේ දෙවැනි බිරිය චෝදනා කළාය.

නමුත් ටික කලක් ගතවීමට ප්‍රථම ඇය ගැබ්ගත් අතර මනක්ගේ මව ඇගේ නව ලේලිය පිළිබඳව අතිශය සතුටට පත්වූවාය. ඇය මනක්ගේ බිරියගේ තත්වය ඔහුට පැහැදිලි කළද, ඔහුගෙන් දක්නට ලැබුනේ කිසිදු දෙයක අර්ථය පැහැදිලි නොවූවෙකුගේ මුහුණකි. ඔහුගේ දෑස තවදුරටත් හිස්බවේම ගිලීගොස් තිබිණි.

තම සැමියාගේ විධිය තව ටික දිනක් ඉවසන මෙන්, ඔහුගේ මව ඇගේ ලේලියව උනන්දු කළාය. “දරුවා ඉපදිලා තාත්තගේ උකුළෙන් තිබ්බාම ඔව්වා හරියාවි” ඇය පැවසුවාය.

නිසිකල පැමිණීමෙන් මනක්ගේ බිරිඳ පිරිමි දරුවෙක් පුසූත කළාය; සතුටින් උද්දාමයට පත්වූ මනක්ගේ මව දරුවා නහවා, සුසිනිඳු ඇඳුම් අන්දවා මනක්ගේ උකුල මත තැබීය. මනක් තම උකුලේ ඉන්නා දරුවා දෙස ඇස් අයා බලා සිටියේය. ඔහු බොහෝ වේලාවක් දරුවා දෙස බලා සිටියද, ඔහුගේ හැඟීම් අවබෝධයෙන් තොරවූ අතර, ඔහුගේ මුහුණ වෙනදා මෙන්ම කිසිදු හැඟීමක් පළ නොකලේය. එක්වරම මනක්ගේ හිස්වූ දෙනෙක් භීතියෙන් පිරී‍ගොස්, ඔහු කෑ මොර දෙන්නට පටන්ගත්තේය.

මේකව අරගෙන යනවා!”
ඔහු පිස්සුවෙන් කෑමොර ගැසුවේය.
මේකව අරගෙන යනවා! මේකා භූමිතෙල් ගඳයි“.

Comments are closed.