පාද යාත්‍රාව හෙවත් මහින්ද ගේ පුනරාගමන සිහිනය!

mahinda padayathra
“අපට ඕන ආණ්ඩුවක්! මහින්ද ගේ ආණ්ඩුවක්!” මේ මහනුවර සිට කොළඹ බලා එන පාද යාත්‍රාවෙහි වඩාත් ම ඇසෙන සටන් පාඨ. බළලා මල්ලෙන් එළියට පැන ඇත. හැංගි හංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට යැයි කතාවක් තිබේ.
මෙම පාද යාත්‍රාවෙහි තේරුම කුමක් ද? ආණ්ඩුවට අභියෝගයක් ද? නැත. ආණ්ඩුවට අභියෝග කරන්නට මහින්ද කල්ලියට හයිය නැත. එහෙත් මෙම අභියෝගය ඊටත් ප්‍රබල බලවේගයකට එරෙහි ව ය. එනම් 2015 ජනවාරි 8 සහ අගෝස්තු 17 ජන වරමට එරෙහි ව ය. මතක නේ ද පැරැදුණු පසු මැදමුලන ගෙදර ජනෙල් කූරු අස්සෙන් එබෙමින් හිටපු ජනපති කී දේ. එදා ඔහු කීවේ තමා ගේ පරාජය ජාතික සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව. ඔහු මෙරට අසිංහල ජනයාට එරෙහි ව ඇඟිල්ල දිගු කරමින් උත්සාහ කෙළේ ද ඔවුන් කුමන්ත්‍රණකරුවන් ලෙස පෙන්වමින්.

හත්වලාමැ යි! ලක්ෂ 62ක කුමන්ත්‍රණයක්! මෙම කෙප්පයට අගොස්තු 17 වැනි දා ජනතාව පිළිතුරු දුන්නේ මහින්ද ගේ නඩයට තවත් ඡන්ද දස ලක්ෂයක් අහිමි කරමින්. 2016 මැයි දිනයේ දී පෙනුණේ මහින්ද බැලූනයේ තවත් හුළං බැස ගොස් බව. ඉදිරියේ එන පළාත්පාලන මැතිවරණයට වෙනම පක්ෂයක් ලෙස තරඟ කරන්නට වහසි බස් දොඩවන මෙම නඩයට තමන් ගේ හැබෑ තරම එහි ප්‍රතිඵලවලින් පෙනේවි. පාද යාත්‍රාව නිවෙන ගිනි සිළුවක අවසන් දැල්ල වගේ.

හිටපු පාලකයාට ඕනෑ කරන්නේ කෙසේ හෝ යළි බලය ගන්න. හොඳින් බැරි නම් නරකින් යැයි වහසි බස් කියන තරමට රාජපක්ෂ සහෝදරයන් එඩිතර රඟපෑමක් කෙළෙත් පසු ගිය දිනෙක. මේ සඳහා ඔහු යොදා ගන්නා උපාය වන්නේ ජනතාව තුළ ජාතිවාදය වපුරා ඔවුන් මෝහාන්ධකාරයෙහි ගිල්වා මෙරට යළි ලේ විලක් හෝ යුදපිටියක් හෝ කර බලය යළි ඩැහැ ගන්නට.
පාද යාත්‍රාවෙහි විවෘත තේමාව හැටියට “ව්‍යවස්ථා මර උගුල පරදවමු!” තොරා ගත්තේ එම නපුරු අරමුණින්. ඇත්තට ම තව ම ව්‍යවස්ථා කෙටුම්පතක් වත් එළි දැක නැහැ. සකසාත් නැහැ.

පාද යාත්‍රාවෙහි ප්‍රධාන කෙරුම්කාරයෝ කවරහු ද? නම් වශයෙන් ගත හොත් බැසිල් රාජපක්ෂල නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, විමල් වීරවංශල කෙහෙලිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල ආදීහු. මොවුන් හැමට ම ඇති පොදු සාධකය කුමක් ද? FCID චෝදනා ඉදිරිපත් ව ඇති බව. නැත්නම් නඩු පවරා ඇති චූදියන් බව. මෙයින් පාද යාත්‍රාවෙහි තවත් යටි අරමුණක් හෙළි වෙයි. එනම් ජන බලය පෙන්වා FCID ය මට්ටුකරන්න ඇති වුවමනාව. මහින්ද බලයට ගෙනැවිත් චෝදනාවලින් ගැලැවෙන්න ඇති වුවමනාව.

මුල සිට මහින්ද සමග නැගිටින්නටත් මහින්ද ඔසොවා ගෙන යන්නටත් පාරට බැස්ස ත්‍රිරෝද සංවිධාන නඩයක් තමා පාද යාත්‍රා ඝෝෂාව වඩාත් උච්ඡ ස්වරයෙන් පළ කෙළේ. ගොනා කණ ඇලුණු කිනිතුල්ලන් ගොනා සමග ම ඉදිරියට යන පරිදි ඔවුන් ගේ යටි අරමුණත් මහින්ද සමග ඉදිරියට යන්න යි. කිනිතුල්ලන් වගේ ම උන්ටත් තනිවම යන්න බැහැ.

Comments are closed.