ආදරණීය(ද?) තෑගි!

gift
ඉංග්‍රීසි බසින් රචනය
නදීරා ඇන්ගෙල්

පරිවර්තනය
රන්දිකා රණවීර ප්‍රනාන්දු

“මේ බලන්න අද මට එයාගෙන් ලැබුණු තෑග්ග. ඒක කොච්චර ලස්සනද නේද?”

මුහුණු පොතේ සැරි සරද්දි ඇතැම් තරුණියන්ගේ ගිණුම් වල නිතර නිතර මේ හා සමාන වැකි දක්නට ලැබේ. බොහෝවිට මිල අධික ජංගම දුරකථනයක, ස්වර්ණාභරණයක හෝ කාන්තාවන් ප්‍රිය කරන වෙනත් මිල අධික යමක පිංතූර මේ සමඟ ඇමිණි ඔබට දිස්වනු ඇත. මතක තබා ගන්න! මේ කියන ‘එයා’ ඇයට මුණ ගැසී ගෙවී ගොස් ඇත්තේ සතියක් පමණි.

තෑගි සිත නළවනසුලුය. විශේෂයෙන් මිල අධික තෑගි ඔබ විශේෂ පුද්ගලයෙකු ය යන හැඟීම ගෙනදි සිත නළවනු ඇත. නමුත් මේ පිටුපස බැරෑරුම් ගැටලුවක් හොල්මන් කරනු ඔබ දුටුවාද?

ඔහුගෙන් එම තෑග්ග ලැබූ ඔබට පහත ආකාර විවිධ දේ සිතෙනු විය හැක.

“මෙච්චර වටින තෑග්ගක් අරං දෙන්න තරම් එයාට මං මොන තරම් වටිනවා ඇතිද!”

“එයා නම් ලොකු සල්ලිකාරයෙක් වගෙයි!”

නමුත් ඒවා අවශ්‍යයෙන්ම සත්‍ය නොවේ. කොටින් ම ඒවා හැබෑවක් වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් සීමිතය. මෙහිදී ඔබ දකින්නට අපොහොසත් වන කරුණක් තිබේ. ඒ නම් මෙතරම් ඉක්මනින් එතරම් මිල අධික තෑග්ගක් ලබා දෙන්නට පෙළඹෙන ඔහුට කාන්තාවන් විෂයයෙහි නොමසුරු වීම ඒ හැටි දෙයක් නොවන බවයි. එසේ කිරීම ඔහුට හොඳින් සිතා බැලිය යුතු දෙයක් නොවන බවයි. (එනයින් ගත් කළ ඔහුට ඔබද එතරම් සිතා බැලිය යුතු කෙනෙක් නොවන බවයි)

ඔබ තැනක වාඩි වී තනිව ම සිනා නගමින් අනභිභවනීය ත්‍යාගයකින් පිදුම් ලැබුවේ යැයි තුටු වත්දී, ඔහු එවන් ත්‍යාග පහක් මිලදී ගෙන ඉතිරි හතර ඔබ වැනි ළාමක හිතැති තවත් තරුණියන් හතර දෙනෙකුට දෙන්නට ඇත්දැයි නිකමටවත් සිතුවාද? අනෙක් අතට මිල අධික ත්‍යාග යනු විසල් බැංකු ගිණුමක් පිළිබඳ කියා පෑමක් විය හැකිසේ ම ණය පොදියක් සමගින් හිඳුණු බැංකු ගිණුමක් පිළිබඳ කියා පෑමක්ද විය හැකිය.

ඉතාමත් මෑතකදි මුණ ගැසුණු ආගන්තුක පුද්ගලයෙකුගෙන් මිල අධික තෑගි ලබන්නට ඔබට උවමනා වන්නේ ඇයි? එය විකාර අදහසක් වශයෙන් ඔබට පෙනෙන්නේ නැතිද? සුළුවෙන්වත්?

කෙනෙකුගෙන් අහම්බෙන් ලැබෙනා වටිනා තෑග්ගකට තමන් ඉතා කැමති යැයි කෙනෙකු පවසන්නට පුළුවන. නමුත් සැබෑ ලෝකයේදි නළල රැළි නංවාගෙන කල්පනා කළයුතු යමක් එවන් අහඹු තෑගි මත ගැප්ව තිබෙන බව දත යුතුය.

අපි මෙහෙම හිතමු! ඔබ මාවතක් දිගේ ඇවිද යනවිට ආගන්තුකයෙකු පැමිණ, සිනා සී මල් පොකුරක් දී, “සුභ දවසක්!” යැයි සුභ පැතුවේ නම්, ඔබ තිගැස්සුනත් එයින් එහාට හිතන්න තරම් දෙයක් සමහරවිට නොතිබෙන්නට පුළුවන. නැතහොත් එය ඉතාමත් සිත්ගන්නාසුලු දෙයක් ලෙසින් ඔබට හැ‍ඟෙන්නටද පුළුවන. (ආගන්තුකයා කොපමණ සිත් ඇදගන්නාසුලු පුද්ගලයෙක්ද යන්න මත ඔබේ සිතුවිලි රඳා පවති)

දැන් මෙහෙම හිතමු! පෙර පරිදිම ඔබ මාවත දිගේ ඇවිද යනවිට පෙර කී පුද්ගලයා පැමිණ සිනාසී මල් පොකුර වෙනුවට රුපියල් 50,000ක මුදලක් ඔබ අත මත තබා “සුභ දවසක්!” යැයි සුභ පැතුවේ නම්, ඔහු ලොව සිටින කඩවසම් බවින් වැඩි ම පුද්ගලයා වුවත්, “ මේ මොකක්ද වෙන්නේ? ඇයි මේ මනුස්සයා නන්නාඳුනන මට මෙච්චර ලොකු සල්ලියක් දෙන්නේ?” ආදී ලෙසින් ඔබට සිතෙනු නොඅනුමානය.

මා ඔබට පෙන්නුම් කරන්න උත්සහ දරන කාරණය මෙයයි. සාමාන්‍යයෙන් මිනිසුන් ඉබාගාතේ ඇවිදිමින් දකින දකින අයට වටිනා තෑගි බෙදමින් යන්නේ නැත. ඔබ බලාපොරොත්තු වන්නේ ප්‍රේමනීය සබැඳියාවක් නම් නිසි කල එළඹ, එහි ශක්තිමත්භාවය හදවතට දැනෙන කාලය උදා වන්නට පෙර ලබන මෙවන් ත්‍යාග සැමවිට ම ප්‍රශ්නාර්ථයක් ඇති කරයි. කුමක්වේදැයි අවිනිශ්චිත සම්බන්ධයක් වෙනුවෙන් තමන්ගේ ධනය ඒ ආකාර වියදම් කරමින් ඔහු කරන්නේ කුමක් විය හැකිද? අව්‍යාජ හැසිරීමක් වන්නට තිබෙන ඉඩකඩ සිමිතව ඇති මෙම හැසිරීම තවත් එක් ස්ත්‍රියක් හසු කරගැනීමට වියනා දැලක් වීමට ඇති ඉඩකඩ අසීමිතය.

ලලනාවියනි,

ඔබ ඔවුනට රිසි පරිදි මිලදී ගත හැකි වෙළෙඳ භාණ්ඩ නොවන බව වැටහෙන පරිදි දිවි ගෙවන්න.

එක සාප්පු සවාරියක්, ඔබ සිරුරට ඇතුළුවන්න ක්ෂණික ප්‍රවේශපතක් දිනාගැනීමේ මගක් ලෙස දකින්න ඉඩ නොතබන්න.

එය ඒ ආකාරයට ඉෂ්ට නොවන වග පහදා ගන්න ඉඩ හරින්න.

එය ඒ අකාරයට සිදු නොවිය යුතු වග තේරුම් ගන්න ඉඩ හරින්න.

නමුදු අවාසනාවකට මෙන් බොහෝ කාන්තාවෝ එම ප්‍රවේශපත දිනාගන්නට ඉඩ හරිති. ඔහු අරං දුන් නවතම මාදිලියේ සපත්තු ජෝඩුවකට, මනරම් පෙදෙස් හරහා යෙදුණු විනෝද සවාරියකට, රන් කරාබු ජෝඩුවකට, ‘මේ මනුස්සයා කවදාහරි මගේ මනුස්සයා වුණොත් කොහොමදැයි’ සළකා බැලීම අමතක කරවා ඔබ සතුටින් මුසපත් කරවීමේ මායා බලයක් තිබෙන්නට පුළුවන. ඒ මායාවෙන් මුසපත් ව මසක් ගෙවෙනු ඇත. දෙමසක් ගෙවෙනු ඇත. සමහරවිට ‍ඊටත් වඩා කාලයක්!. මී ලඟ සිත්ඇදගත් කත වෙත ඔහු එළඹෙද්දී, බිඳුණු හදින්, කඳුළු පිරුණු දෙනෙතින් හා මුහුණුපොතේ විරහ වේදනාවෙන් ලියැවුණු සටහන් ගොන්නක් සමගින් තනිවන ඔබේ ආත්මය සනසන්න ඒ මිල අධික ත්‍යාග වලට කිසිදා හැකි නොවනු ඇත.

ඔබ හොඳින් ‍ධාරණය කර ගතයුතු යමක් ඇත. ස්ථිරසාර, කල්පවතින සබඳතාවක් ගොඩනගා ගතයුතු නම් ඔබ කිසිසේත්ම පහසුවෙන් නැමෙනසුලු කෙනෙකු නොවිය යුතුය. තෑගි හුවමාරුව කවදා නම් කරගත නොහැකිද? ඔබ සිත්ගත් තැනැත්තාට මිලදී ගත හැක්කේ කවරේදැයි දැනගැනීමට පෙර ඔහු කවරෙක්දැයි සොයා බලා, නිවැරදි ව හඳුනා ගැනීමට සිත යොමුකරන්න.

තවදුරටත් පවසනවා නම් ස්ථිරසාර සම්බන්ධතාවක් පිළිබඳ කල්පනා කරන පිරිමියෙකු අනෙකුත් සියල්ල පසෙක තබා මිල අධික තෑගි වරුසාවක් ඔබ මත හෙළන්නට සිතන්නේ නැත. ඔහු රෑ කෑමකට ඔබ කැඳවාගෙන යනු ඇති. ඔබට රෝස මලක් ගෙනෙනු ඇති. හුරුබුහුටි යතුරු රඳවනයක් ගෙනෙනු ඇති. ඒ හැර ඔබ ඔහුගේ ප්‍රේමයට වටිනාකමක් දෙන කෙනෙක්දැයි නිවැරදි ව වටහා ගන්නාතුරු මුදල් වියදම් කරමින් ඔබට මිල අධික තෑගි ගෙනෙන්නට නොසිතනු ඇති.

නිවැරදි ව කටයුතු කරන පිරිමියෙකුට කිසිදා වැරදි කාන්තාවකට ආයෝජනය කරන්න උවමනාවක් නැත. ඔහු කෙමෙන් කෙමෙන් ඔබ ව වටහාගනු ඇති. ඔබද එසේ ම ඔහුව වටහා ගතයුතුය.

මහ ධනවතකු වුවත් ඔහුට අවශ්‍ය ස්ථිරසාර සම්බන්ධතාවක් නම් ඔබ ඇදී එන්නේ ‍ඔහුගේ ‍ධනය වෙත නොවන වග ස්ථිරව වටහාගනු පිණිස, තමන්ගේ ධනය නිකරුණේ ඔබ වෙනුවෙන් වියදම් නොකරනු ඇති. එබැවින් මොන පැත්තෙන් ගත්තද සම්බන්ධතාවක ළදරු අවධියේදි කෙරෙන මහ වියදම් යනු පැහැදිලි අනතුරු ඇඟවීමකි.

හදවත දැදුරු වී, විසල් ශෝක ගංගාවක ගිලී යාමෙන් වැළකෙන්න – ක්ෂණික ව පහළ වන මුදල් නෝට්ටුවකට රැවටීමෙන් වළකින්න.

Comments are closed.