ගංගාවේ සංගීතය

nice river
කඳු බෑවුමක දං – බෝවිටි පඳුරු ත ලා
පහළට ඇදී පර මල් පෙති ඉවත නො ලා
කලදෝ දියෙන් පොඟවා රන් පුලින තලා
සංගීතවත් වී යමි! ඉදිරියට ග ලා

සැඟවෙමි-එබෙමි-නිසසල වෙමි- සසල වෙමි
ඇඹරෙමි-එහෙත් පසු නො බසිමි – නො නවතිමි
කවදා කොතැනක දි හෝ මහ මුහුදු හිමී
හමුවුණු කෙණෙහි මා සතු බර ඔහුට දෙමි

එන්නේ කොහි සිට ද-කොතැනකට ද යන්නේ?
ඔබ කුමකට ද මා දුටු තැන විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ
කි දැ යි කියා කිසිවකු ඇයි? නොසොයන්නේ

වන දෙව් ලොවේ හැම රසය ම එකට වෙලූ
නො ඇසෙන සිහින් කෙඳිරිල්ලත් ඇසෙන සුලූ
නිසසල රහස් තැනකින් හිරු එළිය බැලූ
සලකුණු කියයි තවමත් මේ වතුර දලූ

විසිරී යන පරිදි රන් සමනලුන් රොද
වන මල් පඳුරු දෙදරවමින් මුලින් ඇද
උඩ පැන නට නටා ඇවිදින් ගිමන් සිඳ‍
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන් මැද

සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සෙන්
කේතකි ගුහා-උක් කොටු-වෙල් එළි ඔස්සෙන්
හේ දඬු-බට පඳුරු-නිල් ඕවිටි අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු පස්සෙන්

මහ හඬ දි දී වස්දඬු තාලයට හඬා
කඳුරැළි වලින් ඇද හැළෙමින් නො විඳ විඩා
වන දෙව් ලියන්ගේ ගම් මානයක කුඩා
කැරැකෙමි සිනාරැළි මතු කොට ඉවුරු කඩා

ඊයම් පැහැය ඩැහැගත් දිය තරඟ යට
විනිවිද ගිහින් රිවි රැස් කෙඳි නටන විට
මිණි මෙන් බැබළි බැබළී ලොව උමතු කොට
පත්ලෙහි සිනාසෙයි ගල් කැට-බොරලු කැට

අහසේ කනක රේඛා දැක අරුණු වෙලේ
සියලුම කුරුල්ලෝ රැස් වී දෙතෙර කැලේ
මී යැසි විරිත් – සරු සැරි සුර ගදඹ කුලේ
උගනිති මගෙන්, එය සාහිතයකට ඇලේ

අඹ මල් පොකුරු වැනි සුදු පෙණ බුබුළු මවා
වන දෙව් ලියෝ එහි නව පෙම් පඬුරු රුවා
පණිවුඩ පිටත් කොට නිල් දිය තරඟ කවා
සැනහෙති මා සමඟ දහවල් දවස ගෙවා

කර දිය උරා බී මුහුදෙහි රැඳිය නොහී
ගන නිල් වලාකුළු දිව එන නමුදු මෙහී
කඳුවල හැපී ඇද හැළෙමින් බිමට ලිහී
කෙළවර මා සමඟ මහ මුහුදටම බහී

මී අඹ-කිරළ-මාදම් ගෙඩි ළදරු වියේ
ඇකයෙහි හෙළා හඬවයි සැඩ සුළඟ රැයේ
සුළු මැද කැරැකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ
සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ

හිරිමල් සිනාරැළි පෙණ පිඬු මිහිරි තම
ගල් පරවල ම හැපි හැපි බිහිකරමි මම
සම තැනිතලාවල හමුවෙයි අලස කම
නිරසයි අතරමඟ අවහිර නුදුටු බිම

මිනිසුන් ඉවුරුවල යන එන අඩි සද්දන්
ළය යට සසල බව මින් මතු නො නැඟෙද්දෙන්
කෙකටිය ඕලු නළියන දිය රැළි මැද්දෙන්
මල් පෙති වියළි කොල එන අතකට එද්දෙන්

රන් තරු පිරිවරා ගත් හඳ මඬල යට
මහ වන බිමක් මැද ගිරි කුළු අතර සිට
නො මියෙන හේලි දහමක පණිවුඩය පිට
කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට

– එච්.ඇම්. කුඩලිගම

මෙම පද්‍ය පන්තිය කොළඹ යුගයේ ජනකාන්ත ම කවියෙක් වූ එච්.එම්. කුඩලිගම කවියාගේ ප්‍රථම කාව්‍ය නිර්මාණ මුද්‍රිතය වූ “ඈ” නම් කවි එකතුවේ එන්නකි. එම කෘතිය පළමුවරට මුද්‍රණයව ඇත්තේ 1948 තරම් ඈතක දී ය. මේ කවියේ කොළඹ යුගයට සේ ම කුඩලිගමට අනන්‍ය වූ රසවත් සෞන්දර්යාත්මක ලක්ෂණ නොඅඩුව දකින්නට ලැබේ. බොහෝ කාලයක් රසිකයන් අතර සම්භාවනාවට ලක් වූ කවියකි මේ.

One Comment

  1. Madu v de silva says:

    Thanx a lot for sharing this with us sandun Ayye