ඒ මල එසේ ම තිබුණා වේ!

flower
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

මගේ සැමියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. මම ඔහුගේ නොසෙල්වෙන, අචල ස්වභාවයට ආදරය කරමි. ඔහුගේ විසල් උරතලයේ වැතිරී ලබන උණුසුමට මහත් සේ ලොබ වෙමි.

නමුදු වසර තුනක ආදර කතාවක අවසානයේ, විවාහ වී වසර දෙකක් ගෙවුණු තැන මට මෙසේ පවසන්නට සිදුව තිබේ. මම විඩාවට පත් වෙමින් සිටිමි. පෙර මා ආදරය කළ ඔහුගේ සමහර ගතිගුණ දැන් දැන් මා වෙහෙසට පත් කරමින් සිටියි.

මම භාවාතිශය කාන්තාවක වෙමි. ප්‍රේමනීය හැඟුම් සම්බන්ධයෙන් මම අතිශය සංවේදි වෙමි. පුංචි දැරියක පැණිරස ආහාරයකට ගිජු වන්නේ යම් සේද, එසේ මම ප්‍රේමනීය වූ නිමේෂයකට ගිජු වෙමි.

මගේ සැමියා සතුව ඇත්තේ මුළුමනින් ම මෙයට ප්‍රතිවිරුද්ධ අදහස්ය. ගතිගුණය. ඔහු සංවේදී බවින් මිදුනෙකි. ප්‍රේමනීය මොහොතක්, ප්‍රේමනීය වදනක් මා වෙනුවෙන් උපදවන්නට නොහිතන ඔහුගේ එම හැසිරීම ප්‍රේමය පිළිබඳ මගේ විශ්වාසය කැබලි කර දමන්නක් විය. දිනක් මම මගේ තීරණය ඔහුට පවසන්නට සිතා ගතිමි.

‘මට දික්කසාද වන්නට උවමනාය!.’

“ඇයි?” ඔහු කම්පා වී ඇසුවේය.

“මට එපා වෙලා තියෙන්නේ. මට මහන්සියි. මේක මහ මුස්පේන්තු ලෝකයක්. කිසිම දෙයක්, කිසිම වැදගැම්මකට නැහැ!” මම පැවසුවෙමි.

ඔහු මුළු රාත්‍රිය පුරා නිහඬවතින් යුතුව, ගැඹුරු කල්පනාවක ගිලී නිදි වර්ජිත ව හුන්නේය.

එයින් සිදුවූයේ මගේ කළකිරීම තව තවත් වැඩිදියුණු වීමයි. මෙතරම් තීරණාත්මක දෙයක් තම බිරිඳ පැවසූ විටවත් තම පාර්ශ්වය වෙනුවෙන් වචනයක්වත් ගැටගසා ගන්නට නොහැකි වූ පුද්ගලයෙකුගෙන් වෙන අන් කවර දෙයක් බලාපොරොත්තු වන්නද?

අවසානයේ ඔහු මෙසේ ඇසුවේය. “ඔයාගේ හිත වෙනස් කරන්න මං මොනවද කරන්න ඕනෑ?”

‘පුද්ගලයෙකුගේ පෞරුෂත්වය වෙනස් කිරීම ඉතාමත් අසීරු දෙයකි’යි යමෙකු පවසා තිබේ. එම කියමන ඉතාමත් නිවැරදි බව ඒ මොහොතේ මට සිතුණි. ඔහු පිළිබඳ මසිතෙහි වූ විශ්වාසය දියාරු වෙමින් තිබිණි..

ඔහුගේ දෙනෙතට දෙනෙත් යා කළ ‍මම සෙමින් මෙසේ පැවසුවෙමි. “මෙන්න ප්‍රශ්නය, ඔයා මේකට දෙන උත්තරය මට පිළිගන්න පුළුවන් වුනොත්, මම හිත වෙනස් කරගන්නවා.

හොඳයි, අපි මෙහෙම කියමු, භයානක කඳු බෑවුමක මං කැමති මලක් පිපිලා තියෙනවා. අපි දෙන්නම දන්නවා ඒ මල කඩන්න යනවා කියන්නේ ඔයාට අනිවාර්යයෙන් ම මැරෙන්න සිද්ධ වෙනවා කියන එක. ඉතිං ඔයා මං වෙනුවෙන් ඒක කරනවද?”

“මම මේකට උත්තරේ හෙට කියන්නම්…” ඔහුගේ එම පිළිතුරෙන් මගේ අවසන් බලාපොරොත්තුවත් තෙරක් නොපෙනෙන මහා සාගරයේ ගිලී ගියා සේ විය.

පසුදා උදැසන මා අවදිවන විට ඔහු පිටත් ව ගොස් තිබුණු අතර ඉදිරි දොර අසල කෑම මේසය මත වීදුරුවක බර දරාගෙන සිටියේ ඔහුගේ කුරුටු අකුරින් යමක් ලියැවුණු කඩදාසි කැබැල්ලකි. එහි මෙසේ ලියා තිබිණි.

මගේ ආදරිය, “මම ඔයා වෙනුවෙන් ඒ මල කඩන්න යන්නේ නැහැ. නමුත් කරුණාකරලා මට කරුණු පැහැදිලි කරන්න ඉඩ දෙන්න…” පළමු පේළිය ම මගේ හදවත බිඳ දමා අවසන්ය. නමුත් මම එය කියැවූයෙමි.

“කොම්පියුටරය පාවිච්චි කරද්දි ඒකේ තියෙන මහා ගොඩක් වැඩසටහන් එකිනෙක පටලවා ගන්න ඔයා මොනිටරය ඉස්සරහට වෙලා අඬනකොට ඒ සේරම එකලාසයක් කරලා දෙන්න මං මගේ ඇඟිලි පරිස්සම් කරගන්න ඕනෑ.

හැම තිස්සේ ම යතුර ගේ ඇතුලේ තියෙද්දි දොර වහගෙන එළියට ඇවිත් ආයේ ඇතුලට යන්න බැරිව මට කෝල් කළාම දුවගෙන එන්න මං මගේ කකුල් දෙක පරිස්සම් කරගන්න ඕනෑ.

ඔයා සංචාරයට කැමතියි, ඒ වුණාට නිතරම මග වරද්දා ගන්නවා. ඒ වෙලාවට ඔයාට නිසි පාර පෙන්වන්න මං මගේ ඇස් දෙක පරිස්සම් කරගන්න ඕනෑ.

මාස්පතා එන ඔයාගේ හිතමිතුරා ඇති කරන බඩේ අමාරු නැති කරන්න, බඩ පිරිමදින්න මං මගේ දෙඅතේ අල්ල පරිස්සම් කරගන්න ඕනෑ.

නිතර ම ගෙදරට ම වෙලා ඉන්න ඔයාගේ පාළුව කාන්සිය නැති වෙන්න විහිළු කතා කියන්න මං මගේ කට පරිස්සම් කරගන්න ඕනෑ.

ඔයා හැම තිස්සේ ම ඉන්නේ කොම්පියුටරයට එබීගෙන. එයින් ඔයාගේ ඇස්වලට වෙන්නේ නපුරක්. ඉතිං වයසට ගියාම ඔයාගේ නියපොතු කපන්න, කරදරකාරී සුදුකෙස් ගලවන්න මං මගේ ඇස් පරිස්සම් කරගන්න ඕනෑ. ඒ වගේ ම ඒ කාලෙදි ඔයාගේ අත අල්ලගෙන මුහුදු වෙරළේ ඇවිදින ගමන්, බැහැගෙන යන ඉරේ ලා එළියත්, මුහුදු‍ වෙරළේ පහසත් විඳින ඔයාට, තරුණ කාලේ ඔයාගේ මුහුණේ තිබුණු පාට ඇතිව සුළඟට වැනෙන මල් වල වගතුග කියන්නත් මට මගේ ඇස් දෙක පරිස්සම් කරගන්නම වෙනවා.

ඉතිං මගේ ආදරිය, මට වඩා ඔයාට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියන එක ස්ථිරව ම දැනගත්තොත් මිස ඒ මල කඩන්න ගිහින් මට මැරෙන්න බැහැ” මගේ දෙනෙතින් ගලා ආ කඳුළු කැට ලිපිය මතට වැටී ඔහුගේ අත් අකුරු බොඳ කරද්දී මම මෙසේ කියවාගෙන යමින් සිටියෙමි.

“දැන්, ඔයා මගේ පිළිතුර කියවා අවසන්. ඒකෙන් ඔයා සෑහීමකට පත්වුණා නම්, කරුණාකරලා මේ දොර අරින්න, ඔයා කැමති ම කෑමත් නැවුම් කිරිත් අතින් අරං මං මෙතන හිටගෙන ඉන්නවා…”

මම විගස දිවගොස් දොර විවෘත කළෙමි. ඒ කිව් සියල්ල දෑතින් බදාගෙන, විසල් දෙනෙතින් කුමක් වේදෝයි චකිතයෙන් බලා ඉන්නා ඔහු දොර පඩිය මත සිටගෙන උන්නේය. ඔහු තරම් මට ආදරය කරන කිසිවෙකු මෙලොව නොමැති බව මම දැන් දනිමි. ඉතිං ඒ මලට කඳු බෑවුම මතට වී ඉන්න දෙන්නට තීරණය කළෙමි.

එයයි ජීවිතය!. එයයි ආදරය!

කෙනෙකු ආදරයෙන් පිරුණු පරිසරයක ගිලී ඉන්නාවිට උද්යෝගය කෙමෙන් කෙමෙන් දියවී යන්නට වෙයි. සාමකාමීභාවයත් උදාසීන භාවයත් අතර යම් තැනක ඇති සැබෑ ආදරය හඳුනාගත නොහැකිව නොසළකා හැරෙන්නේ එහිදීය.

ආදරය විවිධ ස්වරූප වලින් පෙනී සිටියි. ඉතාමත් කුඩා දෙයකින්, අවිනීතකමකින් සේ ම උදාසීන, නීරස ස්වරූපයකින් ආදරය එබිකම් කරන්නට ඉඩ තිබෙයි. මල් පොකුරු, තිළිණ, ප්‍රේමනීය නිමේෂයන් සබැඳියාවක මතුපිට රැඳුණු දේවල් පමණි. ඒ සියල්ලට ම පහළින් සැබෑ ආදරයේ බල කණු නැගී සිටින බව සිහි තබාගත යුතුව තිබේ. එයයි ජීවයේ පදනම!.

ප්‍රේමනීය සබැඳියාවක ඇති වන මත ගැටුමක දී වදන් කිසිදා දින්නේ නැත… දිනන යමක් වේ නම් ආදරයයි.

7 Comments

  1. Luna says:

    මේකට කොහොම දෙයක් ලියන්නද… තෑන්ක්ස් ‍රංදි

    සමහර වෙලාවට ජීවිතේ අපිට නොදැනිම දියවෙලා යන ආදරය,සැලකිල්ල,උද්‍යෝගය ආයෙම වෙනම විදිහකින් මතක් කරල දුන්නට තෑන්ක්ස්

  2. Chalani says:

    Hemadamath wage wishishtai…☺

  3. Akashi says:

    In fact, the real story of my life I suffered…

  4. Ishani says:

    Majority of people may not feel LOVE as wish, think or expected. or sometimes they couldn’t feel it or believe it. That’s the life. If not there’s won’t divorces like now.

  5. Prabhash says:

    To be honest this is real story that all engineers experience in their life
    Hats off