එකම දේ – නමුදු හොඳ ම දේ!

jUDO
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

දස අවුරුදු වයස් වූ ඔහු ජූඩෝ ක්‍රීඩාව ඉගෙන ගැනීමට තීරණය කළේ ඛේදනීය රිය අනතුරකින් සිය වම් අත ද අහිමිව තිබියදීය.

වයස්ගත ජපන් ජාතික ගුරුවරයෙකු යටතේ ඔහු සිය ඉගෙනුම ඇරඹීය. ඉතාමත් හොඳින් කටයුතු කළ ද, ඉමහත් විමතියට හේතු වෙමින් මාස තුනක් සම්පූර්ණ වනවිටත් ගුරුවරයා ඔහුට උගන්වා තිබුණේ එක් චලන විධියක් පමණි.

“ගුරුතුමනි!, මං වෙනත් වෙනත් ක්‍රම කිහිපයකුත් ඉගෙන ගත්තොත් මොකද?” ඔහු ගුරුවරයාගෙන් විමසා සිටියේය.

“දරුවා, මේක තමයි ඔයා දන්න එක ම චලන විධිය, ඒ වගේම මේක තමයි ඔයා දැන ගතයුතු එකම චලන විධිය” ගුරුවරයා පිළිතුරු දුන්නේය.

ගුරුවරයාගේ වදනෙහි අර්ථය මුළුමනින් ම නොවැටහුණ ද, ගුරුවරයා කෙරෙහි වූ අචල විශ්වාසයෙන් ඔහු දිගින් දිගට ම පුහුණුවීමෙහි යෙදුණේය. මාස කිහිපයක් ඇවෑමෙන් ඔහුට සිය ප්‍රථම තරඟාවලියට සහභාගි වන්නට හැකිවිය. පළමු තරඟ දෙකෙන් ඉතාමත් පහසු ජයක් අත්වුවද, තෙවැන්න යම් තරමකට තීරණාත්මක වූ අතර සෑහෙන වේලාවක් ගතව ගියේය. එවිට නොසන්සුන්ව තරඟ වදින්නට වූ ප්‍රතිවාදියා වෙනුවෙන් ඉතාමත් දක්ෂ ලෙස සිය චලන විධිය භාවිතා කළ ඔහු එම තරඟය ද ජයග්‍රහණය කළේය. තමන්ගේ ජයග්‍රහණයෙන් ඉමහත් විමතියට පත් ව සිටි ඔහු ඒ වනවිට අවසන් තරඟයට සුදුසුකම් ලබා සිටියේය.

මෙවර ශරීර ප්‍රමාණයෙන් වඩා විශාල, වඩා ශක්තිමත් මෙන් ම බොහෝ අත්දැකීම් ඇති ප්‍රතිවාදියෙකු ඔහු හමුවේ විය. තරඟයේ මුල් කාල වේලාව තුලදී ඔවුන් දෙපළ කිසිසේත් ම ගැලපෙන තරඟකරුවන් යැයි කිසිවෙකුට නොසිතිණි. තනි අතින් තරඟ කරන මේ දරුවාට අනතුරක් වේදැයි සැක සිතු තරඟ තීරක තෙමේ කෙටි විවේක කාලයක් ලබා දී අනතුරුව මඳ වේලාවකින් තරඟය නතර කරන්නට සූදානම් වූයේය. මෙහිදී වහා ඉදිරිපත් වූ ගුරුවරයා ඔහු වළකාලීය.

“ඔහුට එය කරගෙන යන්න ඉඩ දෙන්න”

එයින් අනතුරුව වැඩි වේලාවක් යන්නට ප්‍රථම තීරණාත්මක මොහොත උදාවිය. ප්‍රතිවාදියා අතින් මොහොතකට සිය ග්‍රහණය ලිහිල් වූ අතර එයින් උපරිම ප්‍රයෝජන ගත් අප තරඟකරු වහා සිය චලන විධිය භාවිතයෙන් ජය ලබා ගත්තේය. තරඟාවලියේ ජයග්‍රහණය ඔහුට හිමිවිය.

තරඟයේදී භාවිතා වූ සියලු ම චලන විධි එකක් නෑර විමසා බලමින් ආපසු එන අතරේ මෙතෙක් වේලා සිය හිතට වද දුන් කාරණය පිළිබඳව ඔහු විමසා සිටියේය.

“ගුරුතුමනි!, මේ එක ම එක චලන විධියක් දන්න මන් අච්චර අර සෑහෙන ප්‍රමාණයක් ක්‍රම දන්න අයව පරදලා දිනුවේ කොහොමද?”

ගුරුතුමා මද සිනාවක් පෑවේය.

“ඔබ දිනුවේ කාරණා දෙකක් නිසයි.”

“එක!, ඔබ දැන් ප්‍රවීණයෙකු වී ඉන්නේ ජූඩෝ ක්‍රීඩාවේ තියෙන ඉතාමත් ම අමාරු චලන විධියක වීමයි.
දෙක!, එයින් ගැලවෙන්නට ප්‍රතිවාදියාට තියෙන එක ම මග ඔබගේ වම් අතින් අල්ලා ගැනීම වීමයි”

ඒ ආකාරයට, දුර්වලකම ලෙසින් හැඟුණු දේ ඔහුගේ විශාලතම ශක්තිය වි තිබිණ.

Comments are closed.