නිවහල් – දේශපාලන විශ්ලේෂණය

dewi
පුංචි ඡන්දය කොල්ලකෑමක්

ජාතික දේශපාලන පක්ෂ ලබන අවුරුද්දේ පැවැත්වෙතැ යි අපේක්ෂිත පළාත්පාලන ඡන්දයට දැන් සිට ම පිටපොට ගසනු පෙනේ. ගඟ හත් ගව්වත් දුර වුවත් සූදානම් සරීරේලු.

මෙරට දේශපාලනයේ ඛේදවාචකයක් ව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි සැබෑ අරුත දේශපාලන පක්ෂවලට පවා වටහා ගන්නට අසමත් වීම යි. පළාත්පාලන ආයතන පවතින්නේ එම බල ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නටත් ප්‍රදේශයේ ජනතා සුභ සිද්ධියට අදාල වැඩපිළිවෙල සකසා ක්‍රියාවට නැඟීමටත් ය. එහෙත් හැම පළාත්පාලන මැතිවරණයක දී ම සාකච්ඡා නොකැරෙන්නේ ද ඒ ප්‍රශ්න ම ය. ඒ වෙනුවට ජාතික තලයේ සාකච්ඡා කළ යුතු ප්‍රශ්න ඇදගෙන ප්‍රදේශයේ ප්‍රශ්න යටපත් කැරීම ය සිදු වන්නේ.
රාජපක්ෂ සමයෙහි හැම පළාත්පාලන ඡන්දයකදී ම ප්‍රධාන තේමාව වූයේ මනංකල්පිත විදුලි පුටුවක රාජ්‍ය නායකයා මරා දමන්නට ඇති කුමන්ත්‍රණය. එවැනි තර්ජනයක් ඇත්තට ම තිබුනේ ම නැත. එහෙත් විදුලි පුටුවක් පෙන්නා දේශපාලකයෝ ඡන්දය ගැරූහ. පළාතේ ප්‍රශ්නවලට ඡන්දයෙන් පසු තබා ඡන්ද ව්‍යාපාරයෙහි දී වත් ලැබුණු තැනක් නැත.

දැන් යළිත් වරක් සැරැසෙන්නේ ද ඒ සෙල්ලමට ය. මෙවර තේමාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් රජය පෙරැළීම ය. රට දෙකඩ කැරීම ය. රට බේරා ගැනීම ය. නගර සභාවෙන් ප්‍රාදේශීය සභාවෙන් ඒ කාරිය කරන්නේ කෙසේ ද? පාර්ලිමේන්තුවේ කාරිය ඒවා භාර ගන්න ද? යළිත් වරක් ජනතාව ගොනාට අන්දවන්නටයි සැරසෙන්නේ.

පළාත්පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්නට යෙදුනේ ද මෙම සෙල්ලම නතර කැරීමේ අදහසින්. ඒත් එම අරමුණ ඉටුව ඇත් ද? යළිත් වරක් දේශපාලන පක්ෂ ක්‍රමයට ලැයිස්තු ඉදිරිපත් කැරීමෙන් කොට්ඨාශ පදනමින් පැවැත්වුව ද පක්ෂ අධිකාරය හේතුවෙන් හොරුන්ට ගණන්කාරයන්ට නියෝජනය හිමි වනු ඇත. ප්‍රදේශය දියුණු කැරීමට රිසි තනි පුද්ගලයන්ට ඉදිරිපත් වීමෙහි හැකියාව පක්ෂ හෝ ලැයිස්තු ක්‍රමයෙන් හීන වෙයි. පක්ෂ සාමාජිකයන්ට පක්ෂයෙන් එන ඕනෑම තක්තඩියෙකුට ඡන්දය දෙන්නට සිදු වෙයි. නාම යෝජනා ලැබීමට සුදුසුකම ධනය හා මැර බලය මත තව දුරටත් රැඳෙනු ඇත.

මිලිටරි විසඳුමෙන් ඩෙංගු මර්දනය කළ හැකි ද?

ෆයිසර් මුස්තාෆා ඇමැත්තා මදුරු කීට තවාන් ඇතිකරන්නවුන්ට සිර දඬුවම් යෝජනා කරයි. දඩ ගැසීම මදිලු. එයින් පෙනෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ග අසාර්ථක බව යි. දඬුවම් වැඩි කළ පමණින් ම එය සාර්ථක වෙයි ද?

ඩෙංගු මර්දනය නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. එය හුදු සෞඛ්‍ය ප්‍රශ්නයක්ද නො වේ. වඩා පුළුල්ව සලකා බැලිය යුතු සමාජ ප්‍රශ්නයකි.

එයට සරල විසඳුම් නැත. ඒ සඳහා සියල්ලට ම පළමු අවබෝධය පදනමින් ජනතාව මෙහෙයවිය යුතු ය. මදුරු කීට ගණත්වය මෙරට වසංගත මට්ටම ඉක්මා ඇති බැවින් මනා සැලැසුම්සහගත වැඩපිළිවෙලක් සහ ඊට නොමසුරු ව භෞතික හා මානව සම්පත් සැපැයීම ද අවශ්‍ය ය.

ජන මාධ්‍ය හෙළිකරන ආකාරයට පාසල් රෝහල් රජයේ කාර්යාල සහ සංස්ථා පරිශ්‍රවල මදුරු කීට තවාන් බෙහෙවින් දකින්නට ඇත. එසේ ම වීථී කාණු සහ වෙළෙඳපොලවල ද තත්ත්වය එසේ ම ය.

ආණ්ඩුව තුළ තවමත් රාජපක්ෂ සමයෙහි මිලිටරි චින්තනය හොල්මන් කරනු පෙනේ. විදුහල්පතිවරුන් රෝහල් ප්‍රධානීන් ආදින් සිරගත කළහොත් පරිපාලනයට කුමක් වේ ද? එපමණින් කාර්යාල පාසල් රෝහල් මට්ටමේ ඩෙංගු අවදානම අඩු කළ හැකිද? එම ප්‍රධානීන් ඩෙංගු මර්දනය තම වියදමින් කළ යුතු ද? ප්‍රධානීන් පෞද්ගලික ව ම වග කිව යුතු ද? එසේ නම් රටෙහි වසංගත තත්ත්වයට වග කිව යුතු ජනපති අගමැති ආදීන්ට සිර දඬුවම් ෆයිසර් මුස්තාෆා යෝජනා කරන්නේ ද? පළාත්පාලන විෂය භාර ඇතැත්තා ලෙස ඔහුත් සිර දඬවමට ලක් විය යුතු නේද?

පයිත්තියන් කතා නතර කැරැ දැවැන්ත ව්‍යාපාරයක් ජනතා සහභාගිත්වයෙන් ඇරැඹිය යුතු ය. බඩගෝස්තරය රකින්නට කරන ජනතා සංවිධානය ඩෙංගු වැලැක්වීමට යොදා නොගන්නේ ඒ පැත්ත මේ පැත්ත හැම පැත්තෙම දේශපාලකයන්ට වුවමනාවක් නැති කම නිසා නේ ද?

– දේවි (දේශපාලන විශ්ලේෂක)

Comments are closed.