දේවිගේ තීරුව

dewi 1

ණය ගිරය තද වෙයි
ශ‍්‍රී ලංකාව ණය ගිරයක හිර ව ඇත. එදා මෙදා පාලකයෝ ඒ ගැන උනුනුන්ට දොස් පවරත්. එහෙත් දෙගොල්ලන් ම වරදකරුවන් ය. සුදනන් නැත.

කරන්නට ඇත්තේ ගිරයෙන් ගැලැවෙන හැටියක් හිතා බලා යමක් කැරීම ය. ඒත් ණයෙන් ණයට යනවා විනා පාලකයන් කරන දෙයක් නැත. අඩුම ගණනේ නාස්තිය, දූෂණය, වංචාව නවත්වන්නට වත් කරන දෙයක් නැත. නටන සෙ කකුළුව උණු දිය සැලියේ” කියන ලද්දේ පාලකයන් දෙස බලා විය හැකි ය. රුපියල් බිලියන ගණනින් සැප වාහනවලට මුදල් යට කරන්නේ ඒ නිසා.
දැන් විදේශ ණය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 54.4ක්. ණය වාරික සහ ණය පොළී ගෙවන්න ම අපනයන ඉපැයීම්වලින් සියයට 27ක් වැය වනවා. ඉදිරි මාස කිහිපයේ දී තවත් ඩොලර් බිිලියන 3.6ක් ණය ගන්නට අපේක්ෂිත යි. ඒ දැනට ඇති ඩොලර් බිලියන 55.19ට අමතර ව. එයින් වන්නේ ගිර තලය ජාතියේ සිරුරට වඩ වඩා කා වදින එක ය.
ගිරයට හසු වන පුවකකට ගැලැවුමක් ඇත්තේ ගිර තල දෙබෑ කරමින් පමණ ය. ණය ගිරයට හසු වුනාමත් එහෙම ම යි.
ප‍්‍රධාන වශයෙන් ම මැද පෙරදිග දහදුක් විඳින අපේ ළඳුන් ගේ ශ‍්‍රමයෙන් සහ වතුකරයේ දුක් විඳින මිනිසුන් ගේ ශ‍්‍රමයෙන් උපයන සියල්ල ණය සහ ණය වාරිකවලට ගෙවා අපේ මිනිසුන් ජීවත් කරන්නේ කෙසේ ද? අඩුම ගණනේ වසර පහකට වත් එ්වා ගෙවීම පමා කැරැ ගන්නට කටක් අරින්නට පාලකයන්ට බැරි ද? දිනා ගත් බව කියන ජාත්‍යන්තර හොඳ හිත ඇත්තට ම පරීක්ෂා කැරැ ගන්නට ද එවිට හැකි වේවි.

ගනු දෙනු සම අභිමානයෙන් ඉටු වීමට නම් කොන්දේසි දෙපැත්තෙන් ම ඉදිරිපත් විය යුතු ය එසේ වෙතොත් හිඟාකෑමක් වන්නේ ද නැත.

වැටත් නියරත් ගොයම් කා නම්…

පසු ගිය වසර ජනවාරියේ ජනතාව මහ වෙනසක් සිදු කළා. පවුල්වාදය ඒකාධිපතිත්වය සහ ගජමිතුරු ධනවාදය සංකේතවත් කළ රාජපක්ෂ පාලනය පෙරළා දැම්මා. එයින් ඔවුන්ට ලැබුනේ මහත් අස්වැසිල්ලක් නිදහසක්. සුදු වෑන් කලාව ඉවර වුනා. හමුදා පාලනය ලිහිල් වුනා. යම් යම් තාවකාලික සහන ලැබුනා.

ඒත් දැන් ජනතා අපේක්ෂා බොඳ වෙමින් පවතින්නේ නව පාලකයන් ගේ පොරොන්දු බොහොමයක්ම හමස් පෙට්ටියෙහි දමා ඇති හෙයින්.

වංචාකාරයන්ට හොරුන්ට දඬවම් කළා ද ? නැත. හොරුන් මහතැන්වලට ගත්තා පමණක් නොව උන්ට අලුත් වගකීම් ද පවරලා. දැන් උන් ජනතාවට කොකා පෙන්වමින් මාධ්‍යයට බයිලා කියමින් පාලකයන්ටත් කෝචොක් දමනවා. දූෂිත පැරැණි ආණ්ඩුවේ කෙරුමන් නැවැතත් මේ ආණ්ඩුවේත් මුල් පුටුවලට ඇවිත් පරණ සෙල්ලම් පටන් අරන්.

පොලීසියේ සමහරුන්ටත් දැන් ආයෙත් මර්දනය හුරු වෙලා වගෙයි. ජනතා උද්ඝෝෂණවලට එරෙහි ව උසාවි නියෝගත් ගන්න පුරුද්දක් සමග අලි හොරුන් ඉදිරිියේ නීතියත් වෙව්ලනවා.

කළ යුත්තේ කුමක් ද? උනුත් හොරු මුනුත් හොරු කියමින් පසු බැසීම ද? නැතහොත් ජනවාරි 8 න්‍යාය පත‍්‍රය ඉටු කරවා ගැනීමට සටන් වැදීම ද? පැහැදිලි ව ම පළමුවැන්න හානිකර ය. දෙවැන්න හොඳ සූදානමකින් කළ යුතු ය. අමාරු වුවත් කළ යුත්තේ එය ය.

එය බීරි අලින්ට වීනා ගායනාවක් වේ ද? එසේ නොවීම සඳහා උන් මුන් දෙගොල්ලන්ගෙන් ම වෙන් වූ තුන් වැනි බලවේගයක් තැනීමට, වාම බලවේගයක් තැනීමට කටයුතු කළ යුතු බව දැන් දැන් පැහැදිලි ය.
අවාසනාවට මෙරට වම තරම් බිඳුනු විසිරුනු වෙනත් බලවේගයක් නැති තරම්. එහෙයින් වත්මන් අසරණ තත්ත්වයට වම ද සිය වගකීම භාරගත යුතු යි.

ඒකාබද්ධ කල්ලියට ව්‍යවස්ථා අජීර්ණය

තොරතුරු දැනගැනීමෙහි පනත පිළිබඳ අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුනෙහි නායක විමල් වීරවංශ එය හැඳින්වූයේ රට දෙකඩ කරන්නට කොටි ඩයස්පෝරාවෙහි සහ බටහිර බලවතුන් ගේ ඇති වුවමනාව ව්‍යවස්ථා සම්පාදනය තුළින් ඉටු කැරැ දීමෙහි තවත් පියවරක් ලෙස.
ඊට පෙර සාලාව පිපිරුම අවස්ථාවෙහිත් ඒකාබද්ධ කල්ලිය කීවේ එයත් රට දෙකඩ කරන ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කුමන්ත‍්‍රණයෙහි ම පියවරක් බව. සාලව පිපිරුම දඩමීමා කැරැ උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්න යන බවක් ද ඔවුහු කීහ.
තොරතුරු දැනගැනීමෙහි පනතේ අඩුපාඩු ඇතත් කොටි උපායක් සේ සලකා එය බැහැර කළ යුතු ද? බැහැර කළ හැකි ද? මෙම නඩය දශක දෙකක් ම එම පනත ගෙන ඒම වැලැක්වූ බව සිහිපත් කරන විට ඔවුන් ගේ හැබෑ චේතනාව කුමක් දැ යි හිතා ගත හැකි ය.

බලය බෙදීමට කවදත් එරෙහි මෙම කල්ලිය හැකි තරම් එය පමා කරන්නට දඟලන්නේ ද 2020 මැතිවරණය් සඳහා කඩිමුඩියේ මැතිවරණ නීති වෙනස් කරන්නට පිටපොට ගසා ඇත්තේ ද යළි හිටපු නායකයා ගෙන එන්නට කරන සැලැසුමක් ලෙස. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාට ඔවුන් විරුද්ධ වන්නේත් මෙම ව්‍යවස්ථා අජීර්ණයෙන් මැ යි.

ව්‍යවස්ථාව අලුතෙන් හදන්නේ නැතිව කෑලි වශයෙන් වෙසනස් කළ විට බලයට ආ දවසක යළි 18 වැනි සංශෝධනය බලාත්මක කරන්නට එක් සංශෝධනයක් පමණක් ප‍්‍රමාණවත්. ඔවුන් වලිකන්නේ එයට යි. ගොනා හැරෙන විට ඌ එසේ කරන්නේ කුමකට දැ යි කිව හැකි.

Comments are closed.