ඡන්දයේ දී කාලෝචිතව තීන්දු ගන්න – SLPA කියයි!

ශ්‍රී ලාංකේය ඡන්දදායක රටවැසියනි,

අප රටේ පළාත් පාලන ආයතන ත්‍රිත්වයට අයත්වන කාර්යයන් හා බලතල නීතිගත වී ඇති මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත හා ප්‍රාදේශීය සභා පනතට අනුව පළාත් පාලන මැතිවරණවලින් බලාපොරොත්තු වන්නේ අදාළ බල ප්‍රදේශයේ වැසියන්ගේ එදිනෙදා ජීවිතයේ විධිමත් බව හා සුවපහසුව සඳහා අත්‍යාවශ්‍ය වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, කසල නල හා වැසි ජලාපවහන පද්ධති ඉදිකිරීම හා නඩත්තුව ආදී මූලික පහසුකම් හා උපයෝගිතාවයන් අදාළ ප්‍රදේශවාසීන්හට නිසි ලෙස ලබාදීම සඳහා මහජන නියෝජිතයින්ගෙන් සමන්විත ආයතන වන පළාත් පාලනසභා ස්ථාපිත කිරීමයි. එම අරමුණ පෙරදැරි කරගෙන පැවැත්වෙන මෙම පළාත් පාලන මැතිවරණයේ දී රටපුරා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව හුවා දක්වමින් මෙම මැවිවරණයේ පිළිගත් අරමුණට පටහැනිව මුළු රටේම පාලනය වෙනස් කිරීමට යම් දේශපාලන පක්ෂයට හැකි වේ යැයි යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ප්‍රචාරය කරන්නේ නම් එය රටේ නීතියටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායටත් දේශපාලන සදාචාරයටත් පටහැනි අප්‍රායෝගික, මනංකල්පිත කිසිසේත් මුදුන් පමුණුවා ගත නොහැකි හා අත්මාර්ථකාමී අරමුණකි. එබඳු ප්‍රචාරවලින් නොමග නොයන ලෙසට අපි ඔබට ආයාචනා කරමු.

පළාත් පාලන ආයතන සඳහා මහජන ඡන්දයෙන් තේරී පත්වීමට නියමිත සභිකයන් සංඛ්‍යාව කලින් පැවති සංඛ්‍යාවට වඩා දෙගුණයකින් පමණ වැඩිවීම නිසා මහජනතාවට දැරීමට සිදුවන වැය බර පිළිබඳ විරෝධය පළ කිරීම සඳහා හෝ වෙනත් ඕනෑම හේතුවක් මුල්කර ගෙන ඡන්දය දීමෙන් වැලකී සිටීමට හෝ ඡන්ද පත්‍රිකාව කටුගා අවලංගු කිරීමට යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඡන්දදායකයන් හට උපදෙස් දෙනු ලබන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවකි. එපමණක් නොව එබඳු ක්‍රියාවන් නිසා වාසි සැලසෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ටය.  අතීතයේ පැවති අන්ත දූෂිත මැතිවරණ රටාවෙන් මිදී නිදහස් හා සාධාරණ ඡන්ද ප්‍රතිඵල තහවුරු වීමේ මෑතකාලීන අත්දැකීම් අාපසු කැරකැවීමේ සියලු කුමන්ත්‍රණවලට ගොදුරු නොවීමට ඡන්දදායකයා බුද්ධිමත්වීම අද අවශ්‍යව ඇත. එනිසා ඡන්ද පත්‍රිකා කටුගා දැමීමේ උපදෙස් තරයේ ප්‍රතික්ෂේප කරන ලෙස අපි ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කුමන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක සිටින යහපත් හා සුදුසු අපේක්ෂකයින් හඳුනාගෙන ඔවුන්ට ඡන්දය ලබා දීම මෙම පළාත් පාලන මැතිවරණයේ දී ගත යුතු වඩාත් නිවැරදි තීරණය යයි මතයක් ද ප්‍රචාරය වෙමින් පවතී. මෙයද මුළුමනින්ම වැරදි හා නොමඟ යවන සුළු අදහසකි. මන්ද, කොතරම් සුදුසු සහ යහපත් ඡන්ද අපේක්ෂකයෙක් හෝ අපේක්ෂිකාවක් වුවත් ඔහු හෝ ඇය අයත්වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පක්ෂයකට හෝ ස්වාධීන දේශපාලන කණ්ඩායමකට නම් එමඟින් එම ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායම ශක්තිමත් වේ. තවද ඔබ මෙවර ඡන්දය දෙනුයේ ඡන්ද ලකුණකට නිසා ඒ මත පළාත් පාලන ආයතනයට පත් කරන මුළු මන්ත්‍රීවරුන්ගේ 40%ක් නම් කිරීමේ අයිතියද ඔබගේ ඡන්දය ලබන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමට ඔබ ලබා දේ. එනිසා පුද්ගලයාගේ සුදුසුකමට වඩා පක්ෂයේ හෝ කණ්ඩායමෙන්  සුදුසුකමට ප්‍රමුඛතාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. ඒ අනුව ඔබ ඡන්දය ලබා දීම වඩාත් සුදුසු වනුයේ ඔබ කැමති පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් ඔබේ කොට්ඨාසයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයාට හෝ අපේක්ෂිකාවට ය. කෙසේ වුවද ඔබ කැමති පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් කොට්ඨාසයට නම් කර අැත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, අශීලාචාර හෝ අවස්ථාවාදී අයෙකු නම් ඔබගේ යුතුකම වනුයේ ඡන්දය කටු ගෑම නොව ඔහු පරාජය කිරීම ය.

අල්ලස, දූෂණය, ඥාති සංග්‍රහය, පවුල්වාදය, නාස්තිය, බියවැද්දීම, අයුතු බලපෑම් හා හිංසනය රටපුරා ආයතනගතව පැවැති අතීතයක් අප රටේ පැවති අතර පළාත් පාලන ආයතන ද ඒ ඔස්සේ අන්තයටම පිරිහී තිබුණි. මෙයට හේතු වූයේ ඡන්ද දායකයින් විසින් නුසුදුසු පුද්ගලයින් පළාත් පාලන ආයතන සඳහා සඳහා සභිකයින් වශයෙන් තෝරාපත් කර එවීම පමණක් නොවේ. තෝරා පත් කර එවනු ලබන සභිකයින් අයත් වූ දේශපාලන පක්ෂයේ දේශපාලන සංස්කෘතිය පළාත්පාලන ආයතනවල පරිහානියට ඍජුව හා තීරණාත්මකව බලපා තිබීමයි. ඒ කෙසේ ද යත්, පළාත් පාලන ආයතනවල වගකිවයුත්තන් දූෂණයට හා අල්ලස් සඳහා දිරිගන්වන තත්ත්වයක් ඔවුන් අයත්වන දේශපාලන පක්ෂ තුළත් එම පක්ෂවල නායකයින් හොබවන බල අධිකාරයන් තුළත් ඉහළ මට්ටමින් පැවතී තිබීම යි. එම අශීලාචාර දේශපාලන සංස්කෘතිය පළාත් පාලන ආයතනවලට ද බලපෑවේ ය. එම නිසා ඔබේ ඡන්දය ඉල්ලා සිටින අපේක්ෂකයින් අයත්වන දේශපාලන පක්ෂය ද ස්වාධීන කණ්ඩායම පිටුපස සිටින දේශපාලන පක්ෂය ද පිළිබඳව විමසිලිමත් වනු මැනවි.

මියැදෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදයේ අභිලාශයන් වන නීතියේ අාධිපත්‍යය, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමය තව තවත් තහවුරුව, බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමේ අයිතිය, උචිතම පරිදි ව්‍යවස්ථාව සැකීම, මාධ්‍ය නිදහස, රාජ්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය, රාජ්‍ය වගකීම, ජනවාර්ගික හා අාගමික සමගිය හා සංහිඳියාව ප්‍රවර්ධනය, අල්ලසද, දූෂණයද, ඥාති හා මිත්‍ර සංග්‍රහයද, රාජ්‍ය අකාර්යක්ෂමතාවද, භීෂණය හා නාස්තිය පිටු දැකීම, ලෝක ප්‍රජාවගේ පිළිගැනීම හා ගෞරවය දිනාගැනීම, දේශපාලන පළිගැනීම් ද, දේශපාලන ඝාතන ද, හා අතුරුදහන් කිරීම්වලට ද තිත තැබීම වැනි මහඟු ප්‍රාර්ථනයන් ඉදිරියට ගෙන යෑමට බාධාකාරී වන දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට මෙම පළාත් පාලන මැතිවරණයේ දී වැඩි ජන ප්‍රසාදයක් ලැබුණහොත් එය ජනතාවගේ පරාජයක් ම වන්නේ ය. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරනු මැනවි.

මෙම පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදයේත්, සමාජ සාධාරණත්වයේත්, යහපත් ආණ්ඩුකරනයේ සියලු ප්‍රතිපත්තිමය මූල ධර්මයන්ගේත් නාමයෙන් නිවැරදි හා කාලෝචිත තීන්දුවකට එළඹීම සඳහා අවශ්‍ය ධෛර්යය, අධිෂ්ඨානය හා සත්‍යාවබෝධය ලබා ගන්නා ලෙස අපි අවසාන වශයෙන් එබට ආයාචනා කරමු.

ශ්‍රී ලාංකික විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය

සභාපති-ජයන්ත දොළවත්ත

ලේකම්-ජී.ඩී දහනායක

Leave a Comment