70 වසරක් වයසැති නිදහස කාගේ ද?

මේ දිනවල දිවයිනේ සියලු ජනමාධ්‍ය පාහේ සිය ප්‍රධාන මාතෘකාව පළාත් පාලන ඡන්දය බවට පත් කරගෙන සිටියත් එය පැවැත්වෙන පෙබරවාරි 10ට පෙර පෙබරවාරි 04 දා පැමිණීම නිසා එය මදක් වෙනස් වී තිබේ. පුංචි ඡන්දය මතට 70 වැනි නිදහස් සමරුව වැටී තිබේ.

මෙකී නිදහස් සමරුව මේ දිනවල කොළඹ රැකියා සඳහා පැමිණෙන ජනයාට මෙන් ම විවිධ අවශ්‍යතා සඳහා කොළඹට ඇදී එන දහස් ගණන් ජනතාවට නම් බොහෝ අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇත. නිදහස දිනා වසර 70ක් ගතවුවද නිදහසේ තම රැකියාවට කලට වේලාවට යාමටවත් නිදහසක් නැත. වසර 70ක ඊනියා පුරාජේරුව සැමරීමට වියදම් කරන මුදල ද කොපමණදැ යි තවමත් අපට දැනගැනීමට නොහැකිව ඇත.

සැබැවින් ම රටක් යටත්විජිතයක් ව දිගුකාලයක් පීඩාවට පත් ව සිට දිගු අරගලයකින් දිනාගන්නා නිදහස මහත් ඉහළින් සමරනුයේ එරට සියලු ම වැසියන්ගේ දේශාභිමානී සුබපැතුම් සමග ය. එමෙන් ම එවැනි නිදහස් උළෙලවල් සංවිධානය කෙරෙන්නේ එරට වැසියන්ට කිසිසේත් පීඩාවක් ඇති නොවන ආකාරයට ය.

එහෙත් වසර 70වක් ම වසරක් පාසා පවත්වනු ලබන මෙම උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතුවත් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට ජාතියක් ලෙස අප අසමත්ව තිබේ.

මෙකී කරුණුවලින් ම ඊනියා නිදහස ලබාගත් කාලය මුළුල්ලේ අප දිනාගත්තේ කුමක් ද යන්න පිළිබඳව අදහසක් නිර්මාණය කරගත හැකි ය. ජයග්‍රහණයේ වපසරිය කොපමණ දැ යි තීන්දුවකට පැමිණීමට ද ප්‍රමාණවත් වනු ඇත.

සියවසකට අධික කාලයක් විදේශිකයන්ගේ වුවමනා එපාකම් අනුව පාලනය වූ මෙරට ස්වාධීනත්වය, නිදහස පතා ඈත ඉතිහාසයේ සිට මෑත ඉතිහාසය දක්වා ම විවිධ අවස්ථාවල සිය ජීවිතය පූජා කළ දේශප්‍රේමින්ගේ ගණන විශාල ප්‍රමාණයකි. එනමුත් ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ සටන් කළ නායකයන්ගේ නම් පමණි.

නිදහස් සටන් ව්‍යාපාරයේ ඉතිහාසය දිගු වුවත් මෑත ඉතිහාසයේ 30 දශකය සහ 40 දශකය ඉතා තීරණාත්මක කාල පරාසයක් වූ බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යන කරුණකි. ආසියාවේ තවත් විශාල රටක් මෙන් ම අප අසල්වැසියා ද වූ ඉන්දියාව කළ නිදහස් සටන අප රටේ නිදහස් අරගලයට ප්‍රබල උත්තේජනයක් ලබා දුන් බව රහසක් නොවේ. අප සේ ම ඉන්දියානුවන් ද යටත්විජිත පාලනයෙන් නිදහස ලබාගත්තේ 40 දශකයේ ය.

ඉන්දියාවේ ජනවාර්ගික විවිධත්වය අප රටෙහි මෙන් නොව ඉතාමත් සංකීර්ණ වූවකි. ජාතින් විශාල ප්‍රමාණයක් හා භාෂාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන විශාල ජනගහණයක් ඇති රටක් බව අප සියලු දෙනා දන්නා කරුණකි. එහෙත් නිදහස දිනාගත් ඉන්දියාවේ සියලුම ජනවර්ග ඉන්දීය ජාතියක් ලෙස එක් ධජයක් යටතට ගොඩ නගා ගැනීමට ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ නියමුවන් සමත් වූහ. (ප්‍රශ්න කිහිපයක් ඇති වුවත් ඒවා පවා මනෝඥ ලෙස සමහන් කරගන්නට ඔවුන් සමත් වූ බව දකිත හැකිය.)

එහෙත් ලංකාවේ නිදහස දිනාගත් නායකයන් සියලු දෙනා අප රටේ සහෝදර ජනවර්ග ඇතුළත් ව ශ්‍රී ලාංකීක අනන්‍යතාව ගොඩ නගා ගැනීමට මේ වන තෙක් සමත් ව නැත. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් නායකයන්ට නිදහසෙන් පසු රට ගොඩනැගීම ගැන දැක්මක් තිබූ අතර ඔවුන් තම ඉලක්කය කරා ජාතිය මෙහෙයවීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව නිදහස දිනාගත් දා සිට ම මහජාතියේ ඡන්දය දිනාගැනීම සඳහා ම ගෙන ගිය අවස්ථාවාදී නින්දාසහගත ක්‍රියාදාමය හමුවේ රටේ දිවි ගෙවූ සිංහල බෞද්ධ නොවන ජනකොට්ඨාසයන් අතර වසර 30ක් පුරා ඇදී ගිය ජනඝාතක යුද්ධයක් නිර්මාණය කර රට ආගාධයට ගෙන යන ලදී.

නිදහස දිනා වසර 70ක් සමරණ මේ මොහොතේ ලාංකිකයන් ලෙස අප භුක්ති විඳින නිදහසක් ඇත් ද? නිදහස් ශ්‍රී ලංකාවේ ස්ත්‍රියකට එක් නීතියකුත් පුරුෂයාට එක් නීතියකුත් ඇති බව කියමින් නීතිය හමුවේ විභාගයක් පැවැත්වෙමින් තිබේ. පොදු ප්‍රවාහන පද්ධතියේ ගමන් ගන්නා මගීන්ට නිදහසේ තම ගමනාන්තය කරා යාමට නිදහසක් ඇත් ද? දෙමාපියන්ට තම දරුවා කැමැති පාසලකට ඇතුළු කිරීමට නිදහසක් තිබේ ද? විභාගයෙන් සමත්වන උසස්පෙළ සිසුවාට සරසවි වරම් ලැබීමේ නිදහසක් ඇත් ද? විදුහල්පතිනියකට හෝ ගුරුවරියකට නිදහසේ තම පාසලේ කටයුතු කිරීමට නිදහසක් ඇත් ද? 70 වසරක් සමරණ නිදහස මෙය ද?

අප රටේ නිදහස දිනාගෙන ඇත්තේ රටේ පාලනය ගෙනයන දේශපාලකයන් පමණි. ඔවුනට හා ඔවුන්ගේ පරපුරට රටේ සියලු සම්පත් කොල්ලකෑමට මහබැංකුව බිඳගෙන යෑමට නිදහස දිනාගෙන ඇත. එනිසා ඔවුන් සාමාන්‍ය ජනයා අපහසුතාවට පත් කරමින් ජනතාවගේ මුදලින් මහ ඉහළින් ඔවුන්ගේ නිදහස සමරති.

– සරත් රත්නායක

Leave a Comment