ධර්මසේන පතිරාජයෙනි, ඔබට අපේ ආචාරය!

සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ සිය ජීවන ගමන නිමා කිරීම රටෙහි සංස්කෘතික ධනයෙන් වැඩි කොටසක් අහිමිවීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. උත්තම ගණයේ නිමැවුම් කළ සිනමාවේදියෙක් සේ ම ජාතිවාදයට එරෙහිව දිවිහිමියෙන් කටයුතු කළ සටන්කරුවෙක් ලෙස ද අපට ඔහුව වැදගත් වෙයි.

කෙසේ වෙතත්, ධර්මසේන පතිරාජගේ සමුගැන්ම නියමයන්ට අනුකූල ය. වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ, පතිරාජ කළේ කුමක් ද? යන්න යි.

ශ්‍රී ලංකාවේ සිනමාවේ මහත් පදාසයක් ධර්මසේන පතිරාජගෙන් පිරී තිබේ. වඩා යහපත් ලෝකයක් යන ආධ්‍යාශය ඔහුගේ සිනමා කෘතිවල පාදම යි. මේ අතිදුෂ්කර කාලයේ තම වටිනාකම් සුරැකගැනීමට ඔහු සමත් වූයේ ය. එය ඉතා සුන්දර යමකි. කිසි පාලකයෙක් හට ඔහුව කඩේ යවන්නට නොහැකිවීම ම කොතරම් සුන්දර ද? ඔහුගේ මරණයෙන් පසුව පවා මළගම තොරොම්බල් කරන්නට විවිධ පාර්ශ්වයන්ට ඇති ඉඩ ඔහු විසින් අවුරා තිබුණේ ය.

ජාතිවාදයට එරෙහිව ඔහු අනම්‍ය සටන්කරුවෙක් ව සිටියේ ය. ඒ වෙනුවෙන් නිර්මාණාත්මක භාෂාව ද හැසිරුවේ ය. අප වෙබ් අඩවිය විසින් සංවිධානය කරනු ලැබූ ඔහුගේ මාවතක් සොයනු පිණිස සිනමාපට දර්ශනය ඔහු හා අප එක් ව සිදු කළ අවසන් සමාජ සංස්කෘතික කටයුත්ත යි.

ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමුගැනීම වෙනුවෙන් අපගේ සංවේගය මෙසේ පළ කරමු.

– නිවහල් වෙබ් අඩවිය
ලංකා ජාතික ගුරු සංගමය
ජාතික සහෝදරත්ව සාමූහිකය
කියුබානු-ශ්‍රී ලංකා සහයෝගිතා කමිටුව

(සිතුවම-උදය ගමාච්චි)

Leave a Comment