මජර දේශපාලනයේ කැඩපත – පළාත් පාලන මැතිවරණය

1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් ප්‍රාදේශීය සභා ක්‍රමයත් විධායක ජනාධිපති ක්‍රමයක් සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයත් මෙරට ස්ථාපිත කළේ ජනතාවගේ කිසිම ඉල්ලීමකින් තොරව ය.

ජේ. ආර්. ජයවර්ධන විසින් යෝජනා කරන ලද සමානුපාතික ඡන්ද ක්‍රමය එක්සත් ජාතික පක්ෂයට සැමදා බලයේ සිටිය හැකි ක්‍රමවේදයක් යැ යි එකල දේශපාලන විශ්ලේෂකයන් විග්‍රහ කළෝ ය.

එහෙත් විධායකයේ සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයේ ඵලවිපාකයක් ලෙස රට තුළ ගොඩනැගුණු මර්ධනකාරී යාන්ත්‍රණයට එදිරිව කැරලි කෝලාහලවලින් රටට නැති වූ තරුණ ජීවිත ප්‍රමාණය හා භෞතික සම්පත් ප්‍රමාණය මෙතෙකැ යි කියා නිවැරදිව ගිණිය නොහැකි විය. එතැන් සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දස අතේ දිවුරුම් දී බලයට පැමිණි අය කිසිවෙක් මේ වන තෙක් මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සැබෑ වුවමනාවකින් කටයුතු කර නැති අතර මෙරට ජනතාව රැවටීම සඳහා යොදා ගන්නා සටන් පාඨයකට පමණක් සීමා වී ඇති බව යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපෙන් ද මනාව පෙනී යයි.

කරුණු මෙසේ තිබිය දී යහපාලන යටතේ පළාත් පාලන මැතිවරණය දිගු කල්මැරීමකින් පසුව පැමිණ ඇත. පළාත් පාලන මැතිවරණය ඉල්ලා දිවි තොර කර ගැනීමට පවා පෙරට පැමිණි ඒකාබද්ධ විපක්ෂය මෙන් ම ඔවුන් වටා රංචු ගැසෙමින් සිටි අනෙකුත් දේශපාලන කණ්ඩායම් මැතිවරණය ප්‍රකාශ කළ දා සිටම දිනෙන් දින අර්බුදයට ලක් ව ඇති බවක් පෙනෙන්නට ඇත. ජනවාරි 08 වනදා ජනාධිපතිවරණයේ දී කිසිදු ශ්‍රී ලංකාකාරයෙකු මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය නුදුන් බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත් වසර තුනක් ගත වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති ලෙස එතරම් විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට ද මෙම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කරන මොහොත වන තෙක් ම නොහැකිව ඇත. තම පක්ෂයේ සිටම පොහොට්ටුවට කඩේ යන අයට එදිරිව කිසිදු විනය පියවරක් ගැනීමට තරම් හයියක් තිබූ බවක් ද පෙනෙන්නට නැත.

එහෙත් පොහොට්ටුව වටේ සිටි කුඩා කල්ලි කණ්ඩායම්වලින් යම් පිරිසක් ප්‍රදර්ශනාත්මකව ජනාධිපතිවරයා වෙත පිටත් කර යැවීමට පොහොට්ටුව අධිපතිත්වය ගෙන ක්‍රියා කරන බැසිල් ඇතුළු නඩයට හැකියාවක් ලැබී ඇති බව නම් මේ දිනවලට විද්‍යුත් මාධ්‍ය හරහා මහජනතාවට දැක ගන්නට තිබේ.

මෙම පළාත් පාලන මැතිවරණය ද දේශපාලන රැවටීම්වලින් සහ ගේම්වලින් පිරී ඉතිරී ඇති බව ද ප්‍රධාන කරුණකි. කල් යල් බලා ජනාධිපතිවරයා බැඳුම්කර පන්දුව ඔසවා තබන ලද අතර සියලු ම දේශපාලන කණ්ඩායම් මෙම පන්දුවෙන් ගොඩයාමට උත්සාහ ගන්නා ආකාරය ජනතාවට ඇති කරන්නේ මහත් අප්‍රසන්න බවකි.

මෙම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ වීමත් සමග බරපතළ අපහසුතාවකට පත්ව ඇත්තේ වමේ දේශපාලන කණ්ඩායම් හා නමට පමණක් ඇති වමේ පක්ෂයන් ය. ඉතිහාසයේ යම් කීර්තිමත් ජනතා මෙහෙවරයන් විශාල ප්‍රමාණයක් සිදු කර ඇති ඒ කාලයේ යම් දේශපාලන දැක්මකින් ද සන්නද්ධව ක්‍රියා කළ මෙම දේශපාලන පක්ෂ ජනතා අභිලාෂයන්ගෙන් වියෝවී ධනපති දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීමෙන් තම පක්ෂ සතුව තිබූ ජනතා විශ්වාසය අහිමිකර ගෙන බෝඩ් ලෑලිවලට පමණක් සීමා වී ඇත. මොවුන්ගේ මෙම අදූරදර්ශී ක්‍රියාවලිය නිසා එම පක්ෂ සමග සිටි බොහෝ පිරිස් ධනපති පක්ෂ සමග එක් ව ඇත. තව බොහෝ දෙනෙක් කලකිරීම නිසා දේශපාලනයෙන් සමුගෙන ඇත. මෙම පක්ෂ ධනපති පක්ෂ සමග සන්ධානගතව ඒවාට කොතරම් බොඳවූවාද කියතොත් තාවකාලික ඇමැති පට්ටම්වලට ලෝභයෙන් ජනතා පරමාධිපත්‍යයට ද එදිරිව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පවා අත ඔසවා අවසන්වරට තම වාම අනන්‍යතාවද අහිමි කරගත්තෝ ය.

එකී පාපය නිසා ම ඒකාබද්ධයේ එල්ලී සිට පොහොට්ටුවට ගිය ඔවුනට තම සංවිධානයේ ඉතිරිව සිටි සුලු පිරිස ද නන්නත්තාර කරවීමට සිදුව ඇත. උදාහරණයක් ලෙස ගතහොත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කරන කණ්ඩායම් තරග කරනුයේ ඡන්ද ලකුණු කිහිපයක් යටතේ ය. කාලයක් රාජපක්ෂ රෙජීමයට පන්දම් අල්ලා ලබාගත් කටුවල රසය දන්නා පිරිස පොහොට්ටුව යටතේ තරගකරන අතර මෛත්‍රී සරණ ගිය කණ්ඩායම බුලත් කොළයෙන් හා දැන්වත් තනිව කොමියුනිස්ට් පක්ෂය ලෙස තනිව ජනතාව අතරට යා යුතු යැ යි විශ්වාස කරන ප්‍රගතිශීලී පිරිස තරුව ලකුණින් ද ප්‍රසිද්ධියේ තරග බිමට පැමිණ ඇත.

ලංකා සමසමාජ පක්ෂය ද එම අර්බුදයේ ම ගිලී සාම්ප්‍රදායික කතා කියමින් සිටින අතර ජනවාරි 8 වැනි දා වෙනසක් සිදු කිරීමට හා යහපාලනයක අපේක්ෂාවනේ පක්ෂය හැරදමා පැමිණි බොහෝ පිරිස් එකී යහපාලනය සිදු නොවෙන ආකාරය දෙස බලමින් අනාථ වී සිටිති.

ජනතා විමුක්ති පෙරමුණේ අතිශය විචිත්‍ර නායකත්වයක් දරමින් සිට එයින් ඉවත් පසුකාලයේ පිහිටුවාගත් ජාතිවාදී පෙරමුණ සපුරා හෝදාගෙන ගොස් තිබේ.

මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුව ද එයින් ජනතාවට වන සෙතක් නැති බව සක්සුදක් සේ පැහැදිලි ය.

සරත් රත්නායක

 

Comments are closed.