“ගොවිපළේ පෙරළිය” සහ “මගේ පාරාදීසය”

ජෝර්ජ් ඕවල් නම් ලේඛකයා ලියූ “ගොවිපළේ පෙරළිය” නම් කෘතිය එහි ඇති කලාත්මක බව නිසා පමණක් නොව දේශපාලන වශයෙන් ද මහත් ආන්දෝලනයකට ලක් විය. කොමියුනිස්ට්වාදී පරමාදර්ශ ක්‍රියාත්මක කරන්නට භාරගන්නන් අත කොතරම් අපහරණයට ලක් වන්නේ දැ යි එහි කියැවෙයි. යම් දර්ශනයක් ක්‍රියාත්මක කරන්නට වෙහෙසෙන අනුගාමිකයන් එකී දර්ශනය විසින් දරන්නා වූ සාරයට සපුරා වෙනස් ක්‍රියාකාරිත්වයක් දැරීම ලෝකයට අමුත්තක් නොවේ. මාක්ස්වාදය රුසියාවේ ස්ටාලින් අත ඇඹරී ගිය අයුරු කවුරුත් දන්නා කාරණයකි. චීනය මාක්ස්වාදය නමින් ගෙන යන රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය ද එවැන්නකි. “ගොවිපළේ පෙරළිය” හෙවත් Animal Farm කෘතිය මගින් රුසියාවේ සමාජවාදය මත්තේ සිදු වූ නිලධාරිවාදය ඉතා නිර්මාණශීලීව පෙන්වාලූ කෘතියකි. ගොවිපළක පාලන බලය පැහැර ගන්නා සත්වයන්ට නායකත්වය දීමට භාරගන්නා ඌරන් එහි පාලනය ගෙන යන අයුරු එහි එයි.

(කොයි හැටි නමුත්, යම් කිසි දර්ශනයක වලංගුතාව එහි අනුගාමිකයන්ගෙන් හෝ එය ක්‍රියාත්මක කරන්නට දැරූ වෑයම් අනුව සොයන්නට යාම ඥානසාරලාගෙන් බුදුන් ගැන සෙවීම වැන්නක් බැව් ද නොකියා ම බැරි ය.)

මෙකී දීර්ඝ පදනම් සටහන යොදනු ලැබුවේ යොක් කාං නම් උතුරු කොරියානු ජාතිකයා සිය ජීවන අත්දැකීම් ලියා තිබූ කෘතියේ සිංහල පරිවර්තනය වන මේ “මගේ පාරාදීසයයි” නම් කෘතිය ගැන සඳහන් කරන්නට ය. උතුරු කොරියාව දිගින් දිගටම කාලයක් තිස්සේ පවත්වාගෙන යන්නේ ආවෘත රාජ්‍යයකි. බාහිර ලෝකය සමගින් එරට වැසියන්ට කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත. සමාජවාදය කියාගන්නා උතුරු කොරියාව සිය අමනෝඥ පාලනය පවත්වා ගන්නේ කුරිරු සතුරන් රැසක් මවා පාමිනි. සියලු ධනේශ්වර රටවල් සිය රට ආක්‍රමණය කරන්නට එන්නේ යැ යි කියමින් සතුරු බිය වඩවා සිය පවුල් ආඥාදායකත්වය පවත්වාගෙන යයි.

පක්ෂ නායකයන් සහ සාමාජිකයන් එහි ප්‍රධාන පංතියේ පුරවැසියෝ ය. උත්තුංග වන්නේ ඔවුන් ය. සියල්ල සැකසී ඇත්තේ ඔවුන් පෙරමුණේ තබා ය. උතුරු කොරියාවේ මහතට සිටින්නේ කිම් පවුලේ අය පමණකැ යි කියන හිනා නොයන විහිලුව ඇතුළේ බොහෝ දේ කියැවේ.

පාසල්වල උගන්වන්නේ කිම් ඉල් සුංගේ සහ කිම් ජොං ඉල්ගේ වීරත්වයයි. ඔවුන් පෑ පෙළහර ගැන යි. ඔවුන් වෙනුවෙන් දිවි පිදීම ගැන යි.

“මට දැන් වැටහෙනවා පාසල කියන්නෙ අපි අනුගාමිකයන් බවට පත් කරන චර්යා රටාවන් ප්‍රගුණ කරවන, ඒවා සහජ ගති බවට පත් කරවන තැනක් බව.”
79-පිටුව
මේ මගේ පාරාදීසයයි

උතුරු කොරියාවේ අඳුරෙන් පළා විත් නිදහස් ලෝකය වෙත එක් වූ පසු ලියූ කෘතිය කියවන්නෙකුට ගොවිපොළේ පෙරළිය සිහිවීම වැළැක්විය නොහැකි ය.

උතුරු කොරියාව මුහුණ දෙන සාගත හෝ වෙනත් ස්වභාවික විපත් හෝ කිසිවක් බාහිර ලෝකයට දැනගන්නට ලැබෙන්නේ නැත. මේ සාගත කාලයක එහි ජනයා ආහාර සොයාගත් ආකාරය කෘතියේ එන කොටසකි. මිනී මස් අනුභවයට පවා සමහරුන් එකල පෙළඹී සිටි බව කෘතියේ එයි.

“ඊටත් පස්සෙ මිනිස්සු ආර්ටෙම්සියා, ඩැන්ඩලියන් වාගේ වල් පැළෑටි ආහාරයට ගන්න පටන් ගත්තා. සමහර වෙලාවට මිනිස්සු බඩ ඉරිඟු පිටිවලින් සුප් හැදුවා. ඒ හුඟක් කලාතුරකින්. ඒත් ඒවා දරා ගන්න බැරි තරම් මිල අධික වුණා. ඊට් පස්සේ අපි අන්තිමට අපත්‍ය ආහාර හොයන්න ගියා. ඕනෑම ජාතියක වල් පැළෑටියක් තම්බල සුප් එකක් හදලා ගිලලා දැම්මා. මේ කෑමට ගන්න බැරි පැළෑටි හොයා ගත්තෙ කුඹුරු වලිනුයි, ගං ඉවුරු වලිනුයි. මේ සුප් කොයිතරම් තිත්තද කියනවා නම් කටට ගත්ත ගමන්ම ආපසු දානවා. ආයෙමත් අමාරුවෙන් ගිලිනවා.” 
88 පිටුව

මේ අත්තනෝමතික පාලනයට වචනයකින් හෝ විරුද්ධ වන පිරිස් දේශපාලන දණ්ඩන කඳවුරුවලට ගාල් කෙරෙති. ඒවායෙ ක්‍රියාකාරිතවයන් ශිෂ්ට ලෝකය පුදුම කරවනු ඇත.

උතුරු කොරියාව යනු මේ මොහොතේ සමස්ත ලෝකයට ම තර්ජනයක්ව තිබෙන රටක් බව මෑත කාලීන සිදුවීම් පැහැදිලි කරයි. එකී රාජ්‍ය සිය ජනතාව විෂයෙහි ක්‍රියාත්මක වන ආකාරය ගැන (පොතේ අලංකාරික යැ යි හැඟෙන කොටස් අත්හැර දමා බැලුව ද) චිත්‍රයක් මවා ගත හැක.

Comments are closed.