ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ගේ ඉතිහාසය මෙන්න! (iv කොටස)

පසු ගිය කොටසින් ලංකාවේ පළමුවරට හෙදියන් පුහුණු කිරිමේ පාසැලක් ආරම්භ කළ ආකාරයත් එහි ප‍්‍රධාන හෙදිය ලෙස බර්ගර් ජාතික කාන්තාවක්ත් කළ ආකාරයත් ඔබ හමුවේ තැබුවෙමු.

1877 වසරේදී ආරම්භ කරන ලද මෙම පාසැලට පළමු හෙදියන් කණ්ඩායම ලෙස පුහුණු කිරීමට උගත් තරුණියන් හයදෙනකූ තෝරා ගන්නා ලදහ. මෙම කාර්යය සඳහා සියලු උපදෙස් සැපයූ දොස්තර ඩබ්. ආර්. කින්සි මහතා මෙම පාසැලට තරුණියන් තෝරා ගැනීමේදි උගත්කම මෙන්ම එකල ලාංකීය සමාජයේ මුල්බැස තිබූ කුල බෙදීම් ගැනද සැලකිලිමත් වන ලෙස උපදෙස් දී තිබුණි. එහි අර්ථය වූයේ ලෙඩුන්ට උවටැන් කිරීමේදී කුල අරුචීන්ද බොහෝ විට බලපාන්නට හැකියාවක් තිබූ බැවිනි.

එහෙත් මේ හෙද පාසැලෙට කාන්තාවන් බඳවා ගැනීමේ දී ඔවුනට මුහුණ දීමට සිදුවූ ප්‍රධාන ම ගැටලුව වූයේ එකල ලාංකේය සමාජයේ හෙද සේවාවට පුහුණු කිරීමට ප්‍රමාණවත් උගත්කම මෙන්ම ඉදිරිපත්වීමක් ඇති තරුණියන් සොයා ගැනීමට නොහැකි වීමය. ගැටලුව නිරාකරණය කරගැනීමට දොස්තර කින්සි මෙන් ම ඉංග්‍රීසි ආණ්ඩුව ද තීරණය කරන ලද්දේ එකල ලංකාවේ සිටි කතෝලික කන්‍යා සොහායුරියන් මේ සඳහා යොදවා ගැනීමට සුදුසු බව යි.  ඒ අනුව මෙම හෙදි පුහුණුව සඳහා හෙදි පාසැලට කතෝලික කන්‍යා සොහොයුරියන් කණ්ඩායම් ලෙස ඇතුළත් කරගන්නා ලදහ. එලෙස ඇතුළත් වූ ප්‍රැන්සිස්කන් මිෂනාරි මෙහෙයට අයත් පළමු හෙදීන් කණ්ඩායම 1886 වසරේ දී පුහුණු හෙදි කණ්ඩායමක් ලෙස රෝහල් සේවයට යොදවා ඇත.

මෙම වකවානුව වන විට මහා බ්‍රිතාන්‍යයේ ඔවුන්ගේ යටත් විජිතයක් වූ අසල්වැසි ඉන්දියාවේ ද කාන්තා වෛද්‍යවරියන්ගේ හා හෙදියන්ගේ අධ්‍යාපනය ඉතා පුළුල් මට්ටමකට පැමිණ තිබිණ. කාන්තවාන් වෛද්‍ය සේවයට යොදවා ගැනීම පිළිබඳව ගෙන ගිය රැඩිකල් ව්‍යාපාරයේ දී දොස්තර ජේම්ස් ලූස් නමැත්තා ද කැපී පෙනෙන මෙහෙයක් කළ අයෙකි. ඉන්දියාවේ හා බ්‍රිතාන්‍යයේ ඇති වන මෙම කාන්තා පිබිදීම පිළිබඳව දේශන මාලාවක් සංවිධානය කරන ලදී. මෙම දේශන මාලාවේ මූලික අරමුණ වූයේ වෛද්‍ය වෘත්තියට මෙන්ම හෙද වෘත්තිය වෙත ද ලංකාවේ උගත් කාන්තාවන් දිනාගැනීමයි. දොස්තර ජේම්ස් ලූස්ගේ මේ දේශන වැඩපිළිවෙල 1880 ගණන්වල මැදභාගයේ සිට මහා බ්‍රිතාන්‍යයේ ඉන්දියාවේ මෙන් ම ලංකාවේ සිදු කරන ලදී. වෛද්‍ය සේවයට කාන්තාවන් ඇතුළත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳව පුවත්පත්වලට ලිපි ලියූ ඔහු ඒ මගින් උගත් සමාජය තුළ මේ පිළිබඳව කතිකාවක් නිර්මාණය කිරීමට තරම් සමත් විය. මෙලෙස වෛද්‍ය සේවයට කාන්තවාන් බඳවා ගැනීමට මහත් සේවයා කළ මෙම වෛද්‍යවරයා පිළිබඳව මෙලෙස හෝ සඳහන් කිරීම යුතුකමකි.

1822 වසරේ උපත ලැබූ ජේම්ස් ලූස් 1843 වසරේ දී වෛද්‍යවරයෙකු ලෙස කල්කටා උපාධිය ලබා ගත්තේ ය. පසු කාලයේ දී ස්කොට්ලන්ත වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඔහු MD සහ MRCP යන පශ්චාත් උපාධි ලබාගත් අයෙක් විය. එමෙන් ම ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා වූයේ ද මෙම වෛද්‍ය ජේම්ස් ලූස් ය. ඉතාමත් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් වූ ඔහු මධ්‍යම පළාත් ශල්‍ය වෛද්‍ය තනතුර ද දරා ඇත.

රැඩිකල් අදහස් දැරූ අයෙක් වූ ඔහු මහනුවර හා කොළඹ නගර සභා මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව ඉතිහාසයේ සටහන්ව ඇත. එමෙන් ම ඔහු සේවයේ යෙදී සිටිය දී කටයුතු කළ ආකාරයට විශ්‍රාම ගත් පසුව ද වෛද්‍ය ක්ෂේත්‍රයට කාන්තාවන් බඳවා ගැනීම පිළිබඳ වැඩසටහන්වලට නිරතුරු සහාය දුන් බව සටහන් ව ඇත. ලෝකය පිළිබඳව පුළුල් අවබෝධයකින් කටයුතු කළ ජේම්ස් ලූස් 1883 වැනි ඈත කාලයක කාන්තාවන් පරායත්තභාවයෙන් (අනුන්ගෙන් යැපීම) යන කාරණයෙන් වහා මිදිය යුතු බවත් ඔවුන් ස්වාධීනව රැකියාවක නිරත විය යුතු බවත් යන අදහසේ සිට නිරන්තරයෙන් ම හඬ නැගූ බව ඉතිහාසයේ සටහන්ව තිබේ. නිතර නිතර ඉන්දියාවට හා බ්‍රිතාන්‍යයට යාම් ඊම් සිදු කළ මෙම වෛද්‍යවරයා ෆ්ලෝරන්ස් නයිටින්ගේල් ඉන්දීය කාන්තවාන් වෙනුවෙන් කරන ලද සේවාව පිළිබඳ ඉතාමත් ප්‍රශංසාත්මක දේශන පැවැත්වීම මෙන් ම පුවත්පත් සඟරාවලට නොකඩවා ලිපි ලියන ලදී.

එමෙන් ම බ්‍රිතාන්‍යය කාන්තා ියිතීන් වෙනුවෙන් සටන් කළ කාන්තා ක්‍රියාකාරිනියන් පිලිබඳව හොඳින් දැන සිටි මෙම ලිබරල් මතධාරියා ලංකාවේ දී ඔහුගේ මුළු කාලයම කැප කර ඇත්තේ වෛද්‍ය සේවයට මෙන්ම හෙදි සේවාවට කාන්තාවන් දිනාගැනීම සඳහා ය. ප්‍රායෝගිකව ගත් කළ එකල ලාංකේය සමාජයනේ මෙම සේවාවන් සඳහා කාන්තාවන් යොමු කරවා ගැනීම අභියෝගයක් ම විය. මෙම අභියෝගය ජය ගැනීම සඳහා ඔහුට විවිධ උපායන් මෙන් ම විධික්‍රම ද යොදා ගැනීමට ඔහුට සිදු විය. ඒවා බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බව 1887 වසරේ දී මහනුවර නගරයේ තරුණයින් පිරිසක් අමතා කරන ලද දේශනයක දී සඳහන් කර ඇති බව එකල පුවත්පත්වල සඳහන් ව තිබේ. එමෙන් ම ඔහු විසින් කළ උත්සාහයන් සමහර ඒවා අසාර්ථක වූ බව සඳහන් ව තිබේ. එක් අවස්ථාවක ගාල්ල ප්‍රදේශයේ දී අනාත නිවාසයක සිටි බාලිකාවන් පිරිසක් හෙදියන් ලෙස පුහුණු කිරීමට ගත් උත්සාහ අසාර්ථක වූ ආකාරය පිළිබඳව විස්තර කර ඇත. එමෙන් ම හෙදියන් පුහුණු කර සේවයට යෙදවීම කල් නොදැමිය යුතු හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බව ඔහු පාලකයන්ට අවධාරණය කර තිබේ. එකල ඔහු දැරූ තවත් වැදගත් මතයක් වූයේ ලංකාවේ හෙදි සේවයේ ප්‍රධානියා ද අනිවාර්යෙන් ම ලාංකික කාන්තාවක් විය යුතු බව ය. ඇය මෙරට ජනතාවගේ භාෂාව හොඳින් දැන සිටි යුතු බව ද ඔහු කියා සිටියේ ය. හෙද සේවාවට කාන්තාවන් බඳවා ගැනීමේ දී ඔහු විසින් ඉදිරිපත් කළ නිර්ණායකයන් වූයේ උගත්කම, කඩිසරකම, ශක්තිසම්පන්නකම , අනුන්ගෙන් යැපී ජීවත් නොවීමට තරම් ආත්මශක්තියෙන් පිරුණු අයෙකු වීම ආදියයි. දැනුම සහ නිපුණතාවය නිසාවෙන් අනාගත හෙද සේවය ගෞරවණීය එකක් වනු ඇති බවට ඔහු එකල විශ්වාසය පළ කළේ ය.

ඉතිරිය ඉදිරියට

සරත් රත්නායක

මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ “ඇලිස් ද බුවර් සහ පුරෝගාමී බර්ගර් වෛද්‍යවරියෝ” නම් කෘතිය ඇසුරෙනි.

පෙර කොටස

ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ගේ ඉතිහාසය මෙන්න! (iii කොටස)

 

Leave a Comment