මීළඟ බිල්ල ඔබ ද?

මෙරට ජනතාවගේ ජීවිතවල නිබඳව ඇති අනාරක්ෂිතභාවය පිළිබඳව නැවත වතාවක් බරපතල ලෙස සිතීමට අවස්ථාවක් පසුගිය දෙසැම්බර් 18 දා උදෑසන එක් අමන තකතීරු රියදුරකු විසින් අප වෙත උදාකර දුන්නේ ය.

කොළඹ-බදුල්ල මාර්ගයේ ඇල්ලේපොල මංසන්දියේ  එසේ  අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටීමට සුදානම්ව ගිය අහිංසක සිසුවියන් දෙදෙනා පදික මාරුව මතදී ම  යට කරනුයේ  එම බස්රථ රියදුරා විසිනි.

එයින් දින කිහිපයක් ඉකුත් ව ගිය තැන එම මාර්ගයේ ම පතුල්පාන ප්‍රදේශයේ දී බස්රථයක් අඩි 30ක ප්‍රපාතයකට පෙරැළී ගොස් දෙදෙනෙක් මිය ගියේ තනිකර ම බස්රථය පැදවූ රියදුරාගේ වරදින් බව කියැවිණි. එකී රථය ඒ මොහොතේ පදවමින් සිට ඇත්තේ රියදුරු සහායකයා වන අතර ඔහු එක් අතකින් සුක්කානම පාලනය කරමින් බස් රථයේ සවිකර තිබූ රූපවාහිනී යන්ත්‍රය සුසර කරන්නට ගිය ඇසිල්ලේ මේ අනතුර සිදු ව තිබුණි.

පසුගිය කාලය මුළුලුලේ ම මාර්ග නීති පිළිනොගන්නා රියදුරන් විසින් පදිකමාරුව මත මෙන්ම පදික වේදිකාවේ ගමන් කළ පදිකයන් ද සෑහෙන පිරිසක් පරලොව යැවීමට හෝ සදාකාලික ආබාධිතයන් බවට පත්කර දැමීමට මේ අශිෂ්ටත්වය සමත්ව ඇත. මෙම ගැටලුවට වැඩිපුර මුහුණ පාන්නේ මෙරට පොදු ප්‍ර‍වාහන පද්ධතිය ප්‍රයෝජනයට ගන්නන් සහ පයින් ඇවිද යන සාමාන්‍යය ජනතාව බව විශේෂයෙන් සිහිපත් කළ යුතුව තිබේ. පදික මාරුව මත හෝ අතරමග දී හෝ පදික වේදිකාවේ දී හෝ අනතුරට පත්වනවා හැරුණු විට බස්රථයට ගොඩවූ මොහොතේ සිට බසයෙන් බසින මෙහොත දක්වාම මගියාට සිදුවනුයේ බසයේ රියදුරුගේ මෙන්ම කොන්දොස්තරගේ සිතැගි අනුව නිර්වින්දනය වී සිටීමට ය.  බසයේ සවිකරන ලද ශබ්දවාහිනියේ කන් අඩිය පුපුරන තරම් ඝෝෂාව මෙන්ම කොන්දොස්තරවරයාගේ භාෂාවට ද මගියා අවනත විය යුතු ම ය. නොඑසේ නම් ගමන නොයා යුතු ය. මේ නඩුව ඇසීමට විනිසුරුවන් නැතුවා මෙන්ම පැමිණිලි කිරීමට අධිකරණයක්ද නොවීම මගියන්ගේ අවාසනාව ය.

මෙම තත්වය වඩාත් බැරෑරුම් වූයේ 1977 වසරෙන් පසුව ජේ. ආර්.ජයවර්ධන රජය විසින් එවකට තිබූ  පොදු ප්‍ර‍වාහන පද්ධතිය සුනුවිසුණු කොට පෞද්ගලික අංශයට පොදු ප්‍ර‍වාහන සේවයට ඇතුලුවීමට ඉඩකඩ සලසා දීමෙන් පසුව බව ඉතා පැහැදිලි කරුණකි. ඒ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය නමින් ඉතාමත් සංවිධිතව තිබූ පොදු ප්‍ර‍වාහන ජාලය සම්පූර්ණයෙන්ම බිඳ දමා මෙලෙස පෞද්ගලික අංශයට ව්‍යාපාරික ඉඩ සලසා දුන් නමුත් එය ඇරඹුණු දා සිට මේ වනතෙක් ම කිසිදු මධ්‍යයගතභාවයකින් තොර ඉබාගාතේ යන ඉතාමත් රළු  අසංවිධිත අංශයක් බවට පත්ව ඇත. මුල්කාලයේ මෙම පෞද්ගලික බස් සඳහා අවසර ලද්දේ එක්සත් ජාතික පක්ෂ හිතවතුන් පමණක් වූ අතර බොහෝ විට මාර්ග ධාවන අවසරපත් පවා දේශපාලන සුදුසුකම් මතම තීරණය වූ අතර මේවා නියාමනය කිරීමට නාමිකව ආයතන පිහිටවූවත් ඒවා ද දේශපාලන බලය අනුව ක්‍රියාකරන හෙන්චයියන්ගේ තෝතැනි බවට පත්ව තිබිණු අතර අදට ද එසේ ය. මෙලෙස  අරඹන ලද පෞද්ගලික බස් සේවාව අදටත් කිසිදු විනයක් නැති  අශිෂ්ට සේවක පිරිසකගෙන් සමන්විත ය. මෙවැනි සංයුතියකින් යුත් පෞද්ගලික බස්රථ සේවයට මගියෙක් යනු තවත් එක කෑල්ලක් පමණක් වීම පුදුමයක් ද නොවේ. එසේ නිකම්ම කෑල්ලක් බවට පත්ව අති මගියාට ඔවුගෙන් හිමිවන සැලකිල්ල පිළිබඳව වටහා ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.  මෙම බස්රථවල රියදුරුවන්නේ ඊයේ කොන්දොස්තර ලෙස සිටි පුද්ගලයා වන අතර වැඩිපුරම රිය අනතුරු සිදුකර ඇත්තේ එවැනි නුපුහුණු අවිනීත යන්තම්  රියදුරු වූ අය විසින් බව ඉතා‍ ප්‍රසිද්ධ කරුණකි. ඉතා ආසන්න වශයෙන් මේ කරුණ පතුල්පාන ප්‍රදේශයේ සිදුවූ අනතුරේ දී රියදුරු සහායකයා ඔප්පු කර පෙන්වූයේ ය.

මෙහොතකට 1977ට පෙර තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ කටයුතු කිහිපයක් පමණක් විමසා බලමු. එකල ලංකා ගමනාගමන මණ්ඩලයට බැඳෙන ඕනෑම රියදුරෙකුගේ පළපුරුද්ද කොතරම් වුවත්  ලංගමයේ රියදුරු පුහුණුව අනිවාර්ය වූ අතර ඉන් ලබා දෙන පුහුණුව ඉතාමත් ඉහල ගුණාත්මක තත්වයක පැවැතුණි.

එසේ ම කිසියම් හේතුවක් මත රියදුරකු අතින් රිය අනතුරක් හෝ මගියෙකුට අනතුරක් සිදුවුවහොත් පොලීසියෙන් සිදුකරන පරීක්ෂණයට අමතරව ලංගමය විසින් ද පරීක්ෂණයක් සිදුකළ අතර ඉන් රියදුරු වැරදිකරු වුවහොත් ඒ සදහා ඔහුට හිමිවිය යුතු දඬුවම නිසැකව ම හිමිවිය. ඉතාමත් විනයගරුක සේවක පිරිසක් සිටි මෙම ආයතනයෙහි  සේවකයෙකුට විරුද්ධව මගියෙකු විසින් යම් පැමිණිල්ලක් සිදුකරනු ලැබුවහොත් එම පැමිණිල්ල නොපමාව විභාගකර මගියාට සාධාරණය ඉටුකරදීමට වගබලාගත්බව ලංගම ඉතිහාසයේ සටහන්ව ඇත. ඒ වෙනුවෙන් වෙන ම කාර්ය මණ්ඩලයක් පත් කරනු ලැබ තිබුණි.

ඒ දශක තුනකටත් පෙරය. පෞද්ගලික බස්සේවයෙන් මගීන්ට සිදුවන ගැහැටවලින් මුදාගැනීමට මහජනයාගේ ආරකෂාව වෙනුවෙන් ඇත්තේ කුමන වැඩපිළිවෙලක්ද? පවතින පාලන ක්‍ර‍මයේ ප්‍ර‍ධාන අංගයක් වන ප්‍ර‍වාහනය ඉබාගාතේ යාමෙන් මුදවා මහජනයාගේ ජීවිතවල වගකියන පොදු ප්‍ර‍වාහන සේවයක් සඳහා සංවිධිත අරගලයකට යෑමට දැන් කාලය එළඹ තිබේ. මෙම අරමුණ වෙනුවෙන් වත් එක් ව සටන් කිරීමට ලංකාවේ සියලු බස් මගීන් එක්වන්නේ නම් එය බොහෝ දේ සදහා ආදර්ශයක් සපයනු ඇත.

සරත් රත්නායක

Leave a Comment