අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානය පිණිසය

සාමාන්‍යයෙන් ඕනෑම වසරක සීතල දෙසැම්බරය උණුසුම් වී යන හේතුවක් වන්නේ ජනප‍්‍රිය පාසල්වලට සිසු දරුවන් ඇතුළත් කර ගැනීමේ පටිපාටිය ක‍්‍රියාත්මක වන කාලය නිසාවෙනි. එන්න එන්නම සංකීර්ණ වෙමින් පවතින මෙම තරගය වෙනුවෙන් විසඳුම් සෙවීම බලධාරීන්ගේ වගකීමක් වූවත් තත්ත්වය තිබෙන ප‍්‍රමාණයෙනුත් අවුලෙන් අවුලට ගෙනියන්නේ අර්බුද අතරින් වාසි ලබා ගැනීම වඩා පහසු නිසාදැයි යන්න සැකයකි.

2018 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා මාර්ගෝපදේශ වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබුණේ 2017/05/30 දිනැති 22/2017 අංක දරණ චක‍්‍රලේඛයයි. එහි අයදුම් පත් බාර ගන්නා අවසන් දිනය ලෙස දැක්වූයේ 2017/06/30 දිනයයි. කෙසේ නමුත් තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ වර්ජනය නිසා එය 2017/07/10 දින තෙක් දීර්ඝ කෙරිණි.
මෙම 22/2017 දරණ චක‍්‍රලේඛණයෙහි 7.1.3 උප වගන්තියෙහි මෙසේ සඳහන් වෙයි. ” මෙම ඝණ සඳහා ලකුණු ක‍්‍රමයකට අනුව ලකුණු ලබා දෙන හෙයින් ලකුණු දීමේ පටිපාටියෙහි එක් කොටසකට ලකුණු ලබා නොගත්ත ද, ලකුණු හිමිවන අනිකුත් කොටස් සඳහා ලකුණු ලබා දිය යුතු අතර, එවැනි අවස්ථාවල එම ඝණය සඳහා සම්පූර්ණයෙන්ම ලකුණු ලබා දීම ප‍්‍රතික්ෂේප නොකළ යුතුය.”
2018 වර්ෂය සඳහා පාසල්වලට ළමුන් ඇතුළත් කළ යුතු දෙමවුපියන් අදාළ පෝරමයන් හරහා තොරතුරු ඉදිරිපත් කරනු ලැබූයේ මෙම චක‍්‍රලේඛනය අනුව ය. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් 2017/07/31 දිනැතිව 22/2017 (1* චක‍්‍රලේඛය නිකුත් වන්නේ මේ අතරතුර දී ය. එමගින් ”පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳව 2017.05.30 දිනැති අංක 22/2017 චක‍්‍රලේඛයේ පහත සඳහන් සංශෝධනය කරනු ලැබේ. ඉහත චක‍්‍රලේඛයේ 7.1.3 උප වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබේ” යන්න සඳහන් විය.

අර්බුදය ඇරඹෙන්නේ මෙතැනිනි. මෙම සංශෝධනයෙන් අගතියට පත් වූවන්ට කිසිදු විකල්පයක් ඉතිරි නොකලා සේම, මෙමගින් පිළිගත යුති ලේඛන මොනවා ද? පිළිනොගත යුතු ලේඛන මොනවා ද? විදුහල්පතිවරුන් ක‍්‍රියා කළ යුත්තේ කේසේ ද යන කරුණු පිළිබඳව කිසිදු නිර්වචනයක් නොකෙරුණි.

බොහෝ ජනප‍්‍රිය පාසල්වල සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින් උක්ත අපැහැදිලිතාවය දඩමීමා කරගෙන වඳුරාට දැළි පිහිය අහු වූවාක් මෙන් අධ්‍යාපන ලේකම්වරයා ද ඉක්මවා යමින් විවිධ වූ පෞද්ගලික නිර්වචන ඉදිරිපත් කරමින් දඩබ්බර වූ ප‍්‍රතිපත්තියක සිට ක‍්‍රියා කෙරුණි. ඇතැමුන් සම්මුඛ පරීක්ෂණයට ද නොකැඳවිණි. තවත් සමහරුන් සම්මුඛ පරීක්ෂණයට කැඳවා විවිධ වූ හේතු දක්වමින් හරවා යැවුනි. ඇතැමුන් සම්මුඛ පරීක්ෂණයට කැඳවා කිසිදු ලකුණක් ලබා නොදෙමින් අයදුම් පත‍්‍රය ද මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කෙරුණ අවස්ථා ද ඇත.
සමහරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට නොගැලපෙන සේ හැසිරෙමින් සියළු සුදුසුකම් සපුරා තිබියදීත්, (පෝශිත ප‍්‍රදේශය තුළ පදිංචි වී සිටියදීත්, සහෝදරයා අදාළ පාසලේ ඉගෙනුම ලබද්දීත්, දෙමවුපියන් අධ්‍යාපන සේවයට ඍජුවම බලපාන තැන්වල සේවයේ යෙදී සිටියදීත්, ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ පදිංචිය අනුව වෙනත් පාසලක් නොපවතිද්දීත්* අදාළ දෙමවුපියන්, දරුවන් මහත් අපහසුතාවයට පත් කරමින් මානව හිමිකම් උල්ලංඝනය කෙරුණු අවස්ථා ගණනාවකි.

පවත්නා වියවුල් තත්ත්වය බොහෝ පිරිස් විසින් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් පෞද්ගලික මත පවා දක්වමින්, අයාලේ ගිය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයන්ට 2017/09/19 දිනැති ලිපියකින්, ක‍්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පැහැදිලිව දක්වමින් සියළුම පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කෙරුණි

එම ලිපියට අනුව, ”මෙම සංශෝධනය අනුව, චක‍්‍රලේඛයේ 7.1.3 උප වගන්තිය ඉවත් කර ඇතත්, එක් එක් ඝණයන් යටතේ නිර්ණායකයන්ට හිමි වන ලකුණු සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප නොකළ යුතුය යන්න එමගින් ගම්‍ය නොවේ” තව ද ”නියමිත මූලික සුදුසුකම් සපුරා ඇත්නම්, ලකුණු පටිපාටියේ එක් කොටසක් තහවුරු නොකිරීම මත සම්පූර්ණයෙන්ම ලකුණු ලබා දීම ප‍්‍රතික්ෂේප නොකල යුතුය” යන්න ද සඳහන් ය.

එම ලිපියෙහි වැඩි දුරටත් මෙසේ ද සඳහන්ය. ”විශේෂයෙන්ම පාසලට ආසන්න පදිංචි කරුවන්ගේ ඝණය යටතේ මූලික සුදුසුකම වනුයේ පෝෂක ප‍්‍රදේශය තුළ පදිංචි ව සිටීමය. පදිංචිය තහවුරු කරන ලේඛන යටතේ වන පදිංචි ස්ථානයේ හිමිකම යන්න ලකුණු පටිපාටියේ අන්තර්ගත එක් නිර්ණායකයක් පමණක් වන අතර් එම චක‍්‍රලේඛයේ 9.3.3. උප වගන්තිය සම්බන්ධයෙන් යොමු කරා තවදුරටත් පදිංචිය තහවුරු කර ගත හැකිය.”
තත්ත්වය මෙසේ තිබියදීත් ඇතැම් පාසල්වල සම්මුඛ පරික්ෂණ මණ්ඩලවලින් දැක්වෙන ප‍්‍රතිචාර අතිශයින් ගුප්ත ය, ශෝචිනීය ය. මුලින් අසාධාරණයට ලක් වූ දෙමවුපියන් අභියාචනා මණ්ඩලවලට ඉදිරිපත් වීමේ දී සිදු වී ඇත්තේ අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් ද නොතකමින්, එයට ද විවිධ වූ අර්ථකතන දක්වමින්, එතුමාව ද ඉක්මවා යමින්, පෙර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ තීරණය ශක්තිමත් කිරීම ය. අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් අනුව යමින් ක‍්‍රියා කළ පැසසිය යුතු විදුහල්පතිවරුන් අතලොස්සක්ද සිටිනවා වූව ද බොහෝ ජනප‍්‍රිය පාසල්වල සිදු වී ඇත්තේ වැටත් නියරත් ගොයම් කෑමය.

ජනප‍්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම යනු තවදුරටත් අහිංසක ව්‍යාපෘතියක් නොවන බව කිසිසේත්ම රහසක් නොවේ. එය රුපියල් මිලියන ගණන් අත යටින් ගනුදෙණු වන අප‍්‍රසන්න කළුකඩ ජාවාරමකි. නිසි සුදුසුකම් සහිත දරුවෙකු ප‍්‍රතික්ෂේප වීම යනු අදාළ බලධාරීන්ට සුදුසුකම් නැති දරුවෙකු වෙනුවෙන් රුපියල් මිලියන ගණනකට විකිණිය හැකි අවස්ථාවකි. එවැනි ප‍්‍රශ්නයකට අදාළ ව තීරණාත්මක මොහොතක මෙවැනි ජාවාරම්වලට ඉඩ හසර ලැබෙන සේ වගකිව යුත්තන්ගේ හැසිරීම ප‍්‍රහේළිකාවකි
මෙම සිදුවීම් මාලාව දෙස අවධානය යොමු කර අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ලබා දී දරුවන් මෙන්ම දෙමවුපියන් ද මානසික හිංසනයට ලක්වීමෙන් මුදවා ගැනීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ සිට සියළුම බලධාරීන්ට අත් නොහැරිය හැකි වගකීමකි.

-රවිශ තිලකවර්ධන

Comments are closed.