පියස්සක් නැති පරෙවියෙක් සමුගති!

මා ප්‍රියය, ඉතින් මා මියැදුණු පසුව… 

මා මියැදුණු පසුව, මා ප්‍රියය
දුක් ගීත නොගයන්න මා සිහිකර
රෝපණය නොකරන්න රෝස ගස් මා හිස අස
සෙවණ දෙන සයිප්‍රස් ගස් හෝ
හරියටම මා ඉහළින් ..

හරිත තණ පලස වන්න ඔබ
වැසි දියෙන් සහ පිණි බිඳුවෙන් තෙමුණු
ඉතින් රිසි නම් ඔබට, මතකයේ තබාගන්න මම, ඇවැසිනම්,
අමතක කරන්න.

ඉතින් මා
සෙවණැලි නොදැකිය යුතුය,
වර්ෂාව මට නොදැනිය යුතුය
වේදනාවෙන් මෙන් ගැයෙන,
රෑ කොවුල් ගී නාද
නොඇසිය යුතුය …

උදා නොවන සහ බැස නොයන
සහන් එළියේ සිහින දකිමින්
විටෙක
මා සිහිකරනු මැන
විටෙක
මා අමතක කරනු මැන…

Christina Rossetti
(1830 – 1894)

මේ ඉන්දික ගුණවර්ධන තරුණ කලාකරුවා සයිබර් අවකාශයේ පළ කළ සිය අවසන් පරිවර්තනය යි. එහි ද සමුගැනීමක අරුත් සැඟව තිබීම වේදනා දෙවන්නකි. ජීවිත කවියේ හමාර තිත තබත් දී ඉන්දික සිය දිවියේ දශක සතරවත් සපුරා තිබුණේ නැත.

ඔහු සයිබර් කවියෙහි ප්‍රකට පූර්වගාමියා ය. “හිතේ කෙටූ ටැටූ” නමින් මුද්‍රණගත වූයේ එකී අග්‍රේසර මැදිහත්වීමයි. “දකුණු මායිමේ”, “පීඩිතයෝ”, “නිදිකුමරියන්ගේ නිවහන”, “නිර්නාමික ඝාතකයා” යන නම්වලින් ඔහු පරිවර්තන කෘති සතරක් පළ කැර තිබුණි. “අවන්හල් බළල්ලු”, “සිසිරයේ දිගු රැයක” යනු මෑතක ම ඔහු පළ කළ කාව්‍ය නිර්මාණ එකතූන් දෙකයි. ගිය වසරේ ඔහු අතිශය විචිත්‍රවත් නවකතාවක් පළ කළේ ය. “සුළි මැද පිපි තඹර” නමිනි. වීඩියෝ රූප රචනා, තිරපිටපත්, වෙළෙඳ දැන්වීම්, ගී රචනා අතිවිශාල ප්‍රමාණයකි.

එසේ වුවත් ඉන්දික ගුණවර්ධන සතුව තිබූ නිර්මාණ සහ චින්තන ධාරිතාවෙන් අඩක්වත් මෙරට ලබා නොගත් බව දත යුතු ය. ඔහු කලාතුරෙකින් පහළ වෙන පන්නයේ වෙනස් චින්තකයෙකි. නිර්මාණශීලියෙකි. මෙවන් කාළකණ්ණි ඩිස්නිලන්තයකට ඔහු වැන්නන් තරම් නොවන බව නැවත මේ සිදුවීම වෙතින් ඔප්පු කැර තිබේ. ඒ අරුතෙන් ඔහුගේ ශක්‍යතාව සපුරා විකසිත නොවී ඔහු සමුගත්තේ ය.

ඉන්දික වැඩවසම් ගෝත්‍රවාදයට එරෙහිව නිබඳව, නිර්භයව පෙනී සිටියේ ය. තමා දරන දෘෂ්ටිවාදය වෙනුවෙන් අකුටිල පෙනී සිටියා මිස රජගෙවල බිතක්කනවලින් වරදාන ලබා ගත්තේ නැත. එසේ ම ඔහු අචල, අනම්‍ය ලෙස ජාතිවාදයට එරෙහි ව පෙනී සිටියේ ය. ප්‍රදර්ශනය පිණිස නොව විශ්වාසයෙන් හෘදයංගම ව ඒ වෙනුවෙන් වදන් හැසුරුවේ ය.

අප සමඟ ඔහු එක් ව කළ කටයුතු බොහෝ ය. නිවහල් වෙබ් අඩවියේ ලෝගෝව නිර්මාණය කිරීමේ සිට විවිධ කටයුතු කෙරෙහි ඔහුගේ සෙවණැල්ල වැටී තිබුණි. ජාතිවාදයට එරෙහි ව අප විසින් සංවිධානය කළ කටයුතු සියල්ලේ ම පාහේ ඔහු බරක් දැරුවේ ය. “ශ්‍රී ලංකා කියුබා සහයෝගිතා ජාතික කමිටුවේ” ඔහු ක්‍රියාකාරීව සිටියේ ය.

හෙතෙම අහිමි වීම ඉසිලිය නොහැකි තරම් ශෝකයක් ජනිත කරන්නකි. එසේ ම කිසිදු ලෙසකින් පිරැවිය නොහැකි තරම් වන හිස්තැනකි. පාඩුවකි. ඔහු ඉකුත් ව ගොස් සතියක් ඉක්ම වුණු තැන පවා තවමත් අපට සිහිඑළවාගත නොහැකි ව තිබේ.

එනමුත් ඉන්දික ගුණවර්ධන තරුණ කලාකරුවාගේ මරණය සොබාදහමට අනුකූල ය. උපන් සියල්ලෝ මියෙන්නෝ වෙති. ශෝක පරිදේව කිසිත් වෙනසක් කරන්නේ නොවෙයි. සිය නිර්මාණ පුෂ්පය විකසිත නොවීම මියැදීම සියල්ලට ම පමණක් දුකට කරුණු වෙයි.

කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ නික්මයෑම සටහන් වූ කල පී. මලල්ගොඩ කවියා එක්තරා කවක් පබැඳූයේ ය. එකව සයිබර් අවකාශ කවියේ අග්‍රේසරයා වූ ඉන්දික වෙනුවෙන් මෙසේ නැවත පළ කරමි.

මිතුර ඉන්දික නුඹට සුබ රැයක්!

“ඔබෙන් හිස් වුණු නිසා සත් රඟ
මඬල මින් පසු නැතිව විළි පිළි
ඉතින් කාටත් බැලිය හැකි වෙයි
මහ දවල් බකමුහුණු නළු කෙළි”

– නිවහල් වෙබ් අඩවිය

Comments are closed.