කරත්තකරුවන් අරගලයට! (කම්කරුවාගේ කතාව 22 වන කොටස)

 

20 වන සියවස වන විට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවේ දේශපාලන තලයේ මෙන්ම කම්කරු පන්තිය හා ස්වදේශික ජනතාව අතර ගොඩනැගෙමින් තිබූ යටත්විජිත විරෝධය හා අමද්‍යප ව්‍යාපාරය මෙන්ම ලංකා ප්‍ර‍තිසංස්කරණ සංගමය වැනි වැනි දේ පිළිබදව අප පසුගිය කොටසින් ඔබ හමුවේ තැබුවෙමු.

එමෙන්ම 1906 වසරේදී බ්‍රිතාන්‍යය යටත් විජිතවාදින් කම්පනයට පත් කරමින් ලාංකේය කම්කරු පංතියේ අභිමානය නොමැකෙන සේ සනිටුහන් කළ කරත්තකරුවන්ගේ වැඩවර්ජනය පිළිබඳව අධ්‍යනය කිරීමට ඔබට ඇරයුම් කරමු.

මෙම අසහාය කම්කරු අරගලය වන මොහොත වන විට ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව ද පැවැති  දේශපාලන පසුබිම ද මඳක් විමසා බැලිය යුතුව ඇත.

මේ කාලය වන විට අප රට මෙන්ම ඉන්දියානු උප මහද්වීපය ද බ්‍රිතාන්‍යයන්ගේ යටත්විජිතයක්ව තිබූ බව අප කවුරුත් හොඳින් දන්නා කරුණකි. එලෙසම මහාභාරතයේ නිදහස පතා සටන් වැදුණු ඉදියානු නිදහස් අරගලය ද අපට අමතක කළ නොහැකිය. මෙම වකවානුව වන විට ඉන්දියාවේ ජාතික විමුක්තිය සඳහා සටන් වදිනා සටන්කාමින් ඉතාමත් රැඩිකල් නායකත්වයන්ගේ මෙහෙයවීම මත තම අරගලය ඉදිරියට ගෙන යමින් සිටියහ. මෙලෙස වර්ධනය වෙමින් පැවැති ඉන්දියානු නිදහස් අරගලයේ අතිශය උත්කෘෂ්ට පරමාර්ථයන් හි  දෝංකාරය ආසන්නයෙහි පිහිටි ලංකාවට ද දැනෙමින් තිබිණ. ලාංකිකයන් වෙතින දිගු කාලයක් තිස්සේ දිස්වූ ‘ප්‍ර‍ශ්න නොකරනා රාජපාක්ෂික භාවය’  පිළිබඳව බ්‍රිතාන්‍යයන් තබා තිබූ  විශ්වාසනීයත්වය 20 වන සියවසෙහි  මුල් දශකය වන විටම සුණු විසුණු වී ගිය බව පෙනේ. ඒ වන විටත් ලාංකීය යටත්විජිත පාලකයන් ඉන්දියානු නිදහස් අරගලයේ ආශ්වාදය ලංකාවේ කම්කරු පංතිය වෙත යම් සාධනීය බලපෑමක් සිදුකරමින් ඇති බවට සැක පළ කරමින් සිටි කාලයකි.

ඉන්දියානු ජාතික සංගමය බිහිවූයේ 1885 වසරේදීය. එකල එහි නායකත්වය ගෙන එය මෙහෙය වූයේ  මධ්‍යස්ථ මතධාරීන් පිරිසකි. ඔවුන්ගේ ප්‍ර‍තිපත්තිය වූයේ  ව්‍යවස්ථානුකූල ක්‍ර‍ම මගින් යටත්විජිත ආණ්ඩුවේ වඩා විශාල  නියොජනයක් ඉන්දියානුවන් වෙත  දිනාගැනීමේ ක්‍ර‍මවේදයකි. එහෙත් ඉතා කෙටිකාලයක් තුළ ඉන්දියාවේ නිදහස් අරගල භූමියට ඉතා රැඩිකල් මතධාරීන්ගේ පැමිණිම අහඹුවක් නොවීය. 1900 වන විට ඉන්දියානු ජාතික සංගමය තුළ හින්දු ජාතිකවාදී රැල්ලක් නිර්මාණය වෙමින් තිබිණ.

විශේෂයෙන් එකල බ්‍රිතාන්‍යය විරෝධයේ මධ්‍යස්ථානය ලෙස ප්‍ර‍කට බෙංගාලයේ අරවින්ද ගෝස්, බී.ජී. තිලක් වැනි නායකයන්ගෙන්  මධ්‍යස්ථවාදීනට මහත් අභියෝගයක් එල්ල විය. බී.ජී. තිලක් වැනි නායකයන් ඉන්දියානු ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කර නිදහස් අරගලය සඳහා මෙහෙය වූ අතර ඔහු ඉන්දියානු නිදහස් අරගලයේ ප්‍ර‍ථම සටන්කාමී නායකයා ලෙස ඉතිහාසගත වී ඇත.

1907 වනවිටත්ඉන්දියානු ජාතික සංගමයේ බලයේ සිටි මධ්‍යස්ථ මතධාරීන් හා රැඩිකල් නිදහස් මතධාරින් අතර තියුණු අරගලකාරී ස්වරූපයක් දක්නට ලැබිණ. කරුණු එසේ වුවත් බ්‍රිතාන්‍ය වෙළෙඳ භාණ්ඩ වර්ජනය කිරීම දීපව්‍යාප්ත ව්‍යාපාරයක් ලෙස ගෙන යාමටත් ප්‍ර‍ධාන සටන්පාඨය ‘ස්වරාජ්‍යය’ ලෙස පිළිගැනීමටත් ඉන්දියානු ජාතික සංගමයට සිදුවිය. මෙය රැඩිකල්වාදීන් ලැබූ සාධනීය ජයග්‍ර‍ණයක් විය.

ලාංකේය පුවත්පත් තුළින් ඉන්දියාවේ සිදුවන නිදහස් අරගලයේ සටන්කාමිත්වය මෙරට බුද්ධිමතුන්ට, මධ්‍යම පංතිකයනට මෙන්ම කම්කරු පංතියටද ගෙන ආවේ යම් ආශ්වාදයකි. එ‍මෙන් ම ලංකාවේ සිට ඉන්දියාවටත් ඉන්දියාවේ සිට ලංකාවටත් ගමනේ යෙදෙන පරමවිඥානාර්ථවාදින් විසින්ද මෙරට බෞද්ධයන් මෙන් ම පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ ප්‍ර‍ධානින්ද ඉන්දියානු නිදහස් අරගලයේ තොරතුරු වලින් සන්නද්ධ කිරීමට වග බලාගත්හ. එමෙන්ම එවකට ලංකාවේ බෞද්ධ නායකයෙකු වූ අනගාරික ධර්මපාලතුමාද වසර ගණනාවක් ම ඉන්දියාවේ කල්කටාවේ ජීවත් වූ බැවින් යටත්විජිතවාදයට විරුද්ධව ගෙන යන නිදහස් අරගලයේ ජීව ගුණය පිළිබඳව ලාංකිකයන් දැනුවත් කිරීමට ප්‍ර‍මාණවත් ලෙස දැනුවත්ව සිටියහ. එකල බෙංගාලය ඉන්දියානු නිදහස් අරගලයේ හදවත ලෙස හැඳින්වූ අතර රබින්ද්‍ර‍නාත් තාගෝර්තුමා විසින් මෙහෙයවන ලද ඉන්දියානු සංස්කෘතික පුනර්ජීවන වැඩසටහන ද ඉන්දියානු නිදහස් අරගලයේ තේමා ගීතය බවට පත්ව තිබුණි.

මේ වන විට බ්‍රිතාන්‍ය වෙලඳ භාණ්ඩ වර්ජනය මෙන්ම ස්වදේශීය භාණ්ඩ පමණක් යන සංකල්පය මත ඉන්දියව ‘ස්වරාජ්‍යය’ දිනාගැනීමේ බලඇණිය ඉදිරියට මෙහෙයෙවමින් සිටියහ. මෙලෙස ගිනියම් වූ අසල්වැසි ඉන්දියාවේ පහස ලංකාවේ කම්කරු පංතියට දැනෙමින් තිබූ පසුබිමක් තුළ ලංකාවේ යටත්විජිතවාදීන්ට එරෙහිව එතෙක් කරන ලද වර්ජන අතර පළමු ජයග්‍රාහී වැඩවර්ජනය දියත් කිරීමට ලංකාවේ කරත්තකරුවන්ට හැකිවිය. එමෙන්ම මෙම වකවානුව වන විට බ්‍රිතාන්‍යය කම්කරු ව්‍යාපාර ද යටත්විජිතවාදයට එරෙහිව තම රට තුළ ද අරගල කරමින් තිබූ අතර එම ආභාෂය ද ලාංකේය කම්කරු පංතිය වෙත ගෙන ඒමට මෙරට විදෙස් අධ්‍යාපනය ලද මධ්‍යම පාතිකයන් මෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයේ පුරෝගාමින් ද කටයුතු කර ඇත. මෙවැනි ජාතික මෙන්ම ජාත්‍යන්තර සන්දර්භයක ලංකාවේ එවකට ප්‍ර‍ධාන  ප්‍ර‍වාහන මාධ්‍ය වූ ගොන් බැඳි කරත්තකරුවන්ගේ  වර්ජනය 1906 වසරේ  අගෝස්තු 13 වන දින ආරම්භ විය.

 

෴ සරත් රත්නායක ලියයි.

කුමාරි ජයවර්ධනගේ “ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම” කෘතිය ඇසුරෙනි.

පෙර කොටසට පිවිසෙන්න..

 

 

Leave a Comment