ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ගේ ඉතිහාසය මෙන්න! (iii කොටස)

 

බටහිර වෛද්‍යය ක්‍ර‍මය ලංකාවේ මුල් බැසගන්නා ආකාරය පළිබදව සරල විස්තරයක්  පසුගිය ලිපි මගින් අප ඔබ හමුවේ තැබුවෙමු.

ඒ අනුව ලංකාවේ පළමු වෛද්‍ය පාසැල ආරම්භවනුයේ 1870 වසරේදී වන අතර  එවකට කොලඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ නිලලත් මන්ත්‍රී වරයෙකුද වූ දොස්තර ඩබ්. කින්සි මහතාගේ නිර්දේශය මත වෛද්‍ය විද්‍යාලයක් දක්වා උසස් කළ බවද අප ඉහත කලාපයෙන් ඔබ දැනුවත් කර ඇත්තෙමු.

මෙලෙස ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යාල මගින් ප්‍ර‍දානය කරන ලද (එල්.එම්.එස් ) වෛද්‍ය උපාධිය 1887 වසරේදී  බ්‍රිතාන්‍ය තුළ පිළිගන්නා ලදී. මේවන විට ලංකාවේ ශිෂ්‍යයන් සදහා වැඩිදුර ඉගෙනිමටත් උපාධිය සදහා බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි විමටත් අවශ්‍යය ඉඩකඩ සලසා තිබුණි.

කාන්තාවන් වෛද්‍යය සේවාවට –

මෙම වකවානුව වනවිට ලොව පුරා කාන්තාවන්ගේ සමාජශිලිත්වය පිළිබිඹු කෙරෙන විවිධ කාන්තා ව්‍යාපාර බිහිවෙමින් තිබූ අතර වෛද්‍ය වෘත්තියටද කාන්තාවන් ඇතුළත් විය යුතු බවට දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබිණ. එලෙසම කාන්තාවන් සමස්ත සෞඛ්‍ය සේවාවන් කෙරෙහිද දැඩි ලෙස උනන්දු වූ බවක් සනිටුහන්ව ඇත. කාලීනව නිර්මාණය වන ඇතැම් සංසිද්ධීන් විසින් ද වෛද්‍යසේවාවට කාන්තා නියෝජනයක් ඇති කළ යුතු යැ යි ස්වාභාවික බලකිරීම් ද නිර්මාණය වෙමින් තිබුණි.

එයට කදිම නිදසුන මේ. 19වන සියවස මුල් භාගයේ  ලංකාවේ පළමුවරට වසූරිය සඳහා එන්නත ලබාදීම ආරම්භ කොට තිබුණත් 1886 සිට එන්නත දීම අනිවාර්ය කරන ලදී. මෙම හේතුව නිසාවෙන්  නිර්මාණය වූ අලුත් ගැටලුව වූයේ ලංකාවේ මුස්ලිම්වරුන් මුස්ලිම් කාන්තාවන්ට පිරිමින් ලවා එන්නත් ලබාදීමට එරෙහිවිම ය. මෙම අලුත් හේතුව නිසාම ස්ත්‍රී පාර්ශ්වයට එන්නත් ලබාදීමට ස්ත්‍රීන්ම යොදාගත යුතු බව ඉංග්‍රීසි පාලකයන් තීරණය කළහ. ඒ අනුව පළමුවරට කාන්තාවන්ට එන්නත් ලබාදීම සදහා කාන්තා එන්නත්කාරියන්  යොදාගන්නාලදී. 1877 වසරේදී ඇපෝතිකරි වරියන් ලෙස දිවීතීක පංතියට ඇතුලුවීමට කාන්තාවන්ට ඉඩපහසුකම් ලබාදෙන ලදී. මෙලෙස කාන්තාවන් වෛද්‍යසේවයට ඇතුළත්වීමේ ප්‍ර‍තිඵලයක් ලෙස 20 වන සියවස මුල්භාගයේදී ප්‍ර‍ධාන රෝහල්වල සේවයට ඇපෝතිකරිවරියන් තිදෙනකු පත්කිරීමට පාලකයන්ට හැකිවිය. මෙසේ ඉතිහාසගත වූ කාන්තාවන් තිදෙනා වූයේ – මොරෙයිරා,සීබල්,කනගසබේ-යන මෙනවියන්ය.

එලෙසම 19වන සියවසේදී ම වින්නඹුකම වෘත්තියක් ලෙස පිළිගන්නා ලද අතර 1880 වසරේදී, ද සොයිසා ප්‍ර‍සූතිකාගාරය ආරම්භ කිරීමත් සමගම වින්නඹු පුහුණු පාසලක්ද ආරම්භ කෙරිණි. මේ කාලයේදී මෙම වින්නඹු පුහුණු පාසලෙන් පුහුණුව ලැබූ කාන්තාවන්ගේ යම් විශේෂිත ලක්ෂණයක් ප්‍ර‍කට වූ බව පෙනේ. එය මෙම වින්නඹු පුහුණු පාසලට ඇතුළත්වූ බර්ගර් ජාතික කාන්තාවන් හා ස්වදේශික කාන්තාවන් අතර පුහුණුවෙන් පසු සේවය ලබාදීමේදී ප්‍ර‍කට වූ ගති ලක්ෂණයක් විය. බර්ගර් කාන්තාවන්ගේ සේවය ලබාගන්නා ලද්දේ රටේ සම්භාවනීය තළයේ ඉහල පංතියේ නෝනාවරුන් වූ අතර එලෙස සේවයේ යෙදෙන බර්ගර් වින්නඹුවන් එකල හඳුන්වා ඇත්තේ නෝනාවරුන්ගේ මාසික හෙදියන් ලෙසිනි. එලෙසම ඔවුන් ලබාදෙන සේවාව වෙනුවෙන් අයකරන ලද ගාස්තු ද ඉතා ඉහළ අගයක් ගත් අතර සාමාන්‍ය පංතියේ අයෙකුට ඔවුන්ගේ සේවාව කෙසේවත් ලබාගැනීමට අපහසු වූ බව පෙනේ. එහෙත් ස්වදේශික වින්නඹුවන් සාමාන්‍යය ජනතා සේවයට කැපවූ අතර ඔවුන් විසින් ඉංග්‍රීසින් බලාපොරොත්තු වූ ආකාරයටම ලංකාවේ එතෙක් සිටි නුපුහුණු වින්නඹුවන්ගේ ස්ථානය හිමිකරගත් අතර ඉංග්‍රීසින් අපේක්ෂා කළ ආකාරයටම යුරෝපීය වින්නඹු ක්‍ර‍මය ඔවුන් විසින් ඈත ගම්දනව් කරා ගෙනයාමටද උපකාරී වී ඇත.

බටහිර වෛද්‍ය ක්‍ර‍මය විකාශනය වීමේදී ලංකාව තුළ මෙන් ම යුරෝපය තුළද පැතිරගිය කාන්තා පුනරුදය ව්‍යාපාරයන් විශාල පිටුවහලක් සපයා ඇතිබව කරුණු අධ්‍යනයේදී පෙනී යන්නකි. වෛද්‍යවරු මෙන්ම හෙද සේවයක්ද බටහිර වෛද්‍ය ක්‍ර‍මයට අත්‍යාවශ්‍ය සාධකයක්ව පැවතිණ. බටහිර වෛද්‍යක්‍ර‍මය මෙරටට පැමිණි මුල් යුගයේ පුහුණු හෙදියන්ගේ බරපතළ හිඟයක් මෙරට විය. එය ස්වාභාවික කාරණයකි. මෙරට  බුද්ධිමත් උගත් කාන්තාවන් රැකියාවක් ලෙස හෙද වෘත්තිය තෝරාගැනීමට අකමැති වූයේ අඩු වැටුපත් සමාජ තත්වයත් නිසා බව පෙනීයන නිසා ය, ඒ. මෙම කරුණ සැලකිල්ලට ගත් පාලකයන් ‘ පී.වින් ’ නැමැති අධිකාරීවරියෙකු යටතේ ජෝන් හෝල්ඩර් නැමැති එංගලන්තයේ සිට පැමිණි හෙදියකද සමඟ 1877 වසරේ දී කොළඹ මහ රොහලෙහි හෙදියන් පුහුණු කිරිමේ පාසැලක් අාරම්භ කරන ලදී. 1881වසරේදී ‘මොතෝ ’නම් බර්ගර් ජාතික කාන්තාව ලංකාවේ පළමු ප්‍ර‍ධාන හෙදිය ලෙස ඒ හරහා පත්වීම ලද්දා ය.

ඉතිරිය ඉදිරියට

සරත් රත්නායක

මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ “ඇලිස් ද බුවර් සහ පුරෝගාමී බර්ගර් වෛද්‍යවරියෝ” නම් කෘතිය ඇසුරෙනි.

ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ගේ ඉතිහාසය මෙන්න! (ii කොටස)

 

 

 

 

 

 

 

 

 

 

Leave a Comment