දුර ගමන් පීඩාව

මෙරට ප‍්‍රවාහන කටයුතු හා සම්බන්ධ ජන පීඩාවන් ගැන කතා කරන්නේ නම් ඒ ගැන කෘති කිහිපයක් වුව ද පළ කළ හැකි තරම් කරුණු තිබේ. ප‍්‍රවාහන කටයුතු ද මෙරට අනෙක් සෑම සියලු අංශයක මෙන් ම ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිකම නිසාවෙන් පැන නැංගා වූ ගැටලු මහත් රාශියකින් පීඩා විඳිනු ලබයි. ශ‍්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමෙන් සහ එහි දුම්රිය මාර්ග ප‍්‍රමාණය වැඩි කිරීමෙන් මේ බොහෝ ගැටලුවලින් භාගයක් පමණ විසඳිය හැකි බව කීම මුසාවක් නොවේ. එය කොයි හැටි වෙතත් ඉංග‍්‍රීසි පාලන සමයේ මෙරට ඇති කර තිබූ දුම්රිය මාර්ග පවා හැකිළවීම හැරෙන්නට මෙරට මෙතෙක් පත් වූ ධනපති ආණ්ඩු දුම්රිය සේවාව වෙනුවෙන් කළ කෙංගෙඩියක් නැත.

දුම්රිය මාර්ග රහිත දුරගමන් සඳහා ජනතාවට ඇති එක ම විකල්පය බස්රථ යි. සුඛෝපභෝගී යැ යි කියා කොටසක් ද අර්ධ සුඛෝපභෝගී කියා කොටසක් ද සාමාන්‍ය කියා තවත් කොටසක් ද වශයෙන් බස් රථ යොදවා තිබුණ ද ඒවා අතර වෙනස ඇත්තේ සුඛෝපභෝගී බව මත නොව ටිකට් පතෙහි වන මිලෙන් පමණි. මේ බස්රථ සම්බන්ධයෙන් වන උප සංස්කෘතිය ඉතා අමුතු එකකි. එය සෑම විටම මගියා මූලිකව නොව මුදලාලියා මූලිකව යන්නකි. පෞද්ගලික බස් රථ ගැන නම් ගන්නට ම දෙයක් නැත. රාත‍්‍රී ගමනේ දී ඒවායේ ඇතුළත වෙසක් සමයේ ඉදි කරන හොල්මන් ගුහාවක සිරිය ගනී. එපමණක් නොවේ, කන් බිහිරි කරවන තරම් ශබ්වාහිනී පද්ධති සවිකර තිබේ. එක්තරා දුර ගමන් සේවා බස් රථයක සතර අත පෙනෙන පරිදි කැමරා පද්ධතියක් ද සවි කර තිබුණි. ශබ්දවාහිනියන්ට අමතරව විශාල රූපවාහිිනී තිරයක් සවි කර තිබේ. ඒවායේ විකාශය කෙරෙන්නේ අන්ත අමනෝඥ ලෙස නිර්මාණය කළ පහත් පෙළේ ගීත රූප රචනා ය. කැමති වුව ද නැති වුව ද මොන ප‍්‍රශ්නයක් හිතේ දරාගෙන ගිය ද ඒවා අසමින් බලමින් ගමන් කළ යුතු ය. එපමණක් නොවේ, කිසිදු චාරයක් නැති රියදුරන් සහ කොන්දොස්තරුන්ගේ ගර්ජනයන්ට යටත් වෙමින් යටත් පහත් ලෙස ගමන් කළ යුතු ය. වචනයක් හෝ එදිරිව කතා කරන්නේ නම් බස්රථයෙන් බැස යන්නැ යි තර්ජනය කෙරෙයි.

අනෙක් ප‍්‍රධාන ම කරුණ නම්, මේ බස් රථ මගීනට ආහාර සහ තේ පානය පිණිස නවතන ආපනශාලාවන්හි තත්වය යි. ඒවා තෝරාගැනෙන්නේ බස් රියදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ අභිමතය පරිදි ය. එකී ආපනශාලාවන්හි රියදුරුට සහ කොන්දොස්තරට ආහාර ගැනීම පිණිස වෙනම කාමරයක් සූදානම් කර තිබේ. ඒ ආහාරවේලට සියලු රස මසවුළු අන්තර්ගත ය. අතුරුපස පමණක් නොව අහර කිස අවසානයේ ප‍්‍රයෝජනයට ගැනීමට දුම්වැටි කිහිපයක් පවා තබා ඇත. මේ ස්ථානවල බස්රථ නැවැත්වීම වෙනුවෙන් සමහර ආපනශාලා හිමියන් විසින් බස් රියදුරන්ට වෙනම ගෙවීමක් පවා කරන බව ද කියැවෙයි. ඔවුනට තත්වය එසේ වුව ද මගීන් වෙනුවෙන් ඇති පහසුකම් අන්ත නින්දනීය තත්වයක පවතියි. කැසිකිළි-වැසිකිළි ආදිය සිහිගන්වන්නේ සතර අපාය යි. ආහාර කිසිදු පිරිසිදුකමක් නැති අතර, පාරිභෝගිකයන් තඹ දොයිතුවකට මායිම් කෙරෙන්නේ නැත. එපමණක් ම නොවේ. ඒවායේ ඇති ආහාරවල මිළ ගණන් සාමාන්‍ය මිල ගණන්වලට වඩා බෙහෙවින් වැඩි ය. බස්රථය වෙනත් ස්ථානවල නවත්වන්නේ නැති බැවින් මේ ජරාව මගියන් කෙසේ හෝ ගිල දැමිය යුතු ය.

ආහාරපානවල මිළ ගණන් මෙලෙස අත්තනෝමතිකව ඉහළ දමා අලෙවිය සම්බන්ධයෙන් විමසීමට අප සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඇමතුවෙමු. ඔවුන් ප‍්‍රකාශ කළේ කිසිදු බේකරි ආහාරයක මිල පාලනයක් නැති බව යි. එසේ නම් වරින් වර මිල වැඩි කරන්නේ කෙසේදැ යි අප ඇසූ පැනයට  පිළිතුරු දුන්නේ පවත්නා මිලට එම වැඩි කිරීම එකතුවන බව යි. අඳෝමැ යි! ඒ අනුව ඕනෑ ම මිලකට අලෙවි කෙරෙන බේකරි නිෂ්පාදන ඒ මිලට නව මිල වැඩිවීම එකතු කෙරෙයි.

ලංකාවේ බොහෝ දේවලට මෙන් ම මේ සම්බන්ධයෙන් ද ජාතික ප‍්‍රතිපත්තියක් නැතිවීම නිසා මේ ජන පීඩාව සිදු වෙයි. මගීහු ද නෑසූ කන් ඇති ව මේ පීඩාව විඳ දරා ගනිමින් ගමන් කරන්නේ විකල්පයක් නැති නිසා ය. මේවා ගැන වගකිව යුතු අංශ අවධානය යොමු වන පාටක් ද නැති නමුත්, එසේ අවධානය යොමු නොකෙරෙන තාක් මේ රට ශිෂ්ඨසම්පන්න රටක් බවට පත්වෙන්නේ නැත.

සඳුන් ප‍්‍රියංකර විතානගේ

Leave a Comment