සූරියමල මිලින වෙයි! (ඩොරින් වික්‍රමසිංහගේ කතාවේ සමාප්තිය)

1952 වසරේදී පැවැති මැතිවරණයෙන්  අතිශය වැදගත් වාර්තා කිහිපයක් අප රටේ දේශපාලන ඉතිහාසයට එක් කිරීමට ඩොරින් වික්‍ර‍මසිංහ  සමත් වූ බව අප ඔබ හමුවේ තැබුවෙමු. අපරදිග කාන්තාවක් ලෙස ලංකාවේත්  ආසියානු කලාපයේත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ  පළමු කාන්තාව ලෙස ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබීමට ද ඇය සමත් වූවා ය. එමෙන් ම තම මුළ ජීවිත කාලයම නිර්ධන පංතියේ විමුක්තිය සදහා කැප කළ කාන්තාවන් අතර ද ඇය සිටිනුයේ ඉහළම තැනක ය. ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන්  ඇයකරන ලද සේවාවන් ධනේශ්වර පාලකයින්ගේ ඇගැයීමට පාත්‍ර‍ නොවූ අතර පටු දේශපාලනික කණ්ණාඩිවලින් ලෝකය දෙස බැලූ එකල පාලකයින් ඩොරින් විසින් ළමා පරපුරට පිරිනැමූ අගනා නිර්මාණ පවා අහිමි කරවීමට තරම් සැහැසි වූ බව කිව යුතු ය.

1952-1956  කාල පරාසය ලංකා ඉතිහාසයේ සනිටුහන්ව ඇත්තේ දක්ෂිණාංශික රජයක් පැවැති වකවානුවක් ලෙස ය. බටහිරට ගැති ජනඅප්‍ර‍සාදයට පත් රජයක් පැවැති වකවානුවක අපරදිග කාන්තාවක් වූ ඩොරින් වික්‍ර‍මසිංහ අකුරැස්ස ආසනය නියෝජනය කරමින් කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස ලංකා පාර්ලිමේන්තුවේ අසුන්ගත්තා ය. ඇය වසර 04කට නොඅඩු කාලයක් පාර්ලිමේන්තුව  තුළ අකුරැස්ස  ආසනය නියොජනය කළ අතර එම කාලය පුරා ඇය ලංකාවේ දිළිඳු ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් අධ්‍යාපනික පහසුකම් පිළිබඳව හඬ නැගුවා ය. දිළින්දන්ට අධ්‍යාපන පහසුකම් ලබා නොදීම පිළිබදව ඇය එවකට පැවැති රජය බරපතළ විවෙිචනයට ලක්කළා ය.

සෑම වසරකම අයවැය විවාදයේ දී රටේ පවතින මන්දපෝෂණය හා ළදරු මරණ අනුපාතිකය, අධ්‍යාපන පහසුකම් හිඟය පිළිබඳව දැඩිව රජයේ අවධානය යොමු කරවීමට වගබලා ගත්තා ය. විශේෂයෙන් 1954 වසරේ සිටි සෞඛ්‍ය ඇමැතිවරයා දැඩි විවේචනයට ලක්කරමින් උපත් දහසකට 71ක් ලෙස මියයළදරු මරණ අනුපාතය ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළා ය. අවුරුදු 05 ට අඩු දරු මරණ සංඛ්‍යාව ඉහළයාම පිළිබඳව හා ඔවුන්ගේ පෝෂණ තත්වයන් හා අධ්‍යාපන තත්වයන් පිළිබඳව ඇය දිගින් දිගටම හඬ නැගුවා ය.(1954-1300-4 හැන්සාඩ් වාර්තාවල සවිස්තරව ඇත.)

ලංකාවට පැමිණි මුල් කාලයේ සිට ම ළමා අධ්‍යාපනය පිළිබඳව බෙහෙවින් කැප වූ ඩොරින්ගේ  පාර්ලිමේන්තු ජීවිතයෙන් ද වැඩිකාලයක් වැයකර ඇත්තේ ලංකාවේ පාසැල් අධ්‍යාපනයේ ගැටලු  පාසැල්වල ඇති ඉඩපහසුකම් පිළිබඳව මැදිහත්ය වන්නට ය. පාසැල් උපකරණ හිඟය මෙන් ම පාසැල් ගොඩනැගිලිවල හිඟය හා ගුරු හිඟය ගැන දිගින් දිගටම ඈ සටන් කළා ය. ඇගේ ආසනය වන අකුරැස්ස ආසනයෙහි ඇති පාසැල්වල තත්වය පාර්ලිමේන්තුවේ දී හෙළි කළාය. එක් පාසැලක ළමුන් 260 දෙනෙක් සඳහා ඉගැන්වීමට ගුරුවරුන් 03 දෙනකු පමණක් යොදවා ඇති ආකාරයත් හෙළි කළා ය. තාවකාලික ගොඩනැගිලි මෙන්ම අබලන් ගොඩනැගිලි තුළ දරුවන් හා ගුරුවරුන් විඳින අපහසුතාවන් ගැන නිරන්තරයෙන්ම ඇය හඬ නැගුවා ය. වැසිකිළි පහසුකම් හා පානීය ජලය නොමැතිව පාසැල් දරුවන් විඳින අපහසුතා පිළිබඳව ඇය පාර්ලිමේන්තුව ට හෙළිදරව් කළා ය. ලෝකයේ වෙනත් රටවල නවීන අධ්‍යාපන ක්‍ර‍ම භාවිතා කරන ආකාරයත් ලංකාවේ ඉතාමත් පසුගාමි අධ්‍යාපන ක්‍ර‍ම භාවිතා කිරීමත් පිළිබඳව ඇය අධ්‍යාපන ඇමැතිවරයා විවේචනයට ලක් කළා ය .1954-1634-7 හැන්සාඩ් වාර්තාවල මේ  විස්තර සටහන්ව ඇත. මීට අමතරව ලංකාවේ ධීවර ජනයාගේ ගැටලු මෙන්ම ඔවුන්ගේ නිවාස ප්‍ර‍ශ්නය පිළිබඳවද ඇය පාර්ලිමෙන්මේන්තුවේ හඬ නැගුවා ය.

1956 වසරේ එලැඹි මහමැතිවරණයට  ඇය තරඟ නොකළ අතර තම ස්වාමි පුරුෂයා වූ දොස්තර වික්‍ර‍මසිංහයන් ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූවා ය. එතැන් සිට ඇය අකුරැස්ස ආසනයේ ජනතාව සමග මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ කාන්තා ව්‍යාපාරයන්ගේ පෙරමුණ ගෙන ක්‍රියා කළ අතර සැමියාගේ පෞද්ගලික රෝහලෙහි පාලන කටයුතුවල ද නිරත විය. 1981 වසරේ ඇයගේ ආදරණීය ස්වාමියා මෙන් ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරයා වූ දොස්තර වික්‍ර‍මසිංහයන්ගේ අභාවය සිදුවිය. එයින් පසුව පවා ඩොරින් වික්‍ර‍මසිංහ නම් වූ වාම ව්‍යාපාරයේ සූරියමල නිරන්තරයෙන් ම වමේ ක්‍රියාකාරින් සමග විවිධ දේශපාලන සහ සමාජ කාර්යයන්හි නිරත වූවා ය.

1930 වසරේ නොවැම්බරයේ දී ලංකාවට පැමිණි නැවකින් කොළඹට සේන්දු වූ ඩොරින් යං මෙනවිය ලංකාවේ ජනතා අරගලයේ අසහාය නායිකාවක් වූවා ය. යටත්විජිතවාදයට විරුද්ධව සටන් වැදුණු ඇය ලංකාවේ නිදහස් අරගලයේ කැපී පෙනෙන චරිතයක් වූවා ය. පසුකාලීනව දොස්තර වික්‍ර‍මසිංහයන්ගේ බිරිඳ ලෙස විශාල වගකීමක් ද දැරූ ඇය 2000 වසරේ මැයි මාසයේ දිනක දිවි ගමනෙන් සමුගත්තා ය. ලංකාවේ නිදහස් අරගලය සමඟ ලංකාවට පැමිණි මෙම අපරදිග කාන්තාව ලංකාවේ දිළිඳු මිනිසුන් වෙනුවෙන් කරන ලද ජනතා මෙහෙය සුවිසල් ය.

නිමි.

(මේ ලිපි පෙළෙහි පදනම් තොරතුරු ආචාර්ය කුමාරි ජයවර්ධනගේ කෘතියකින් ලබා ගැනිණි.)

සරත් රත්නායක

මුල් කොටස්වලට මෙතැනින් යන්න

ඇය සූරිය මලකි (ඩොරින් වික්‍රමසිංහගේ කතාව) 11 කොටස

 

Leave a Comment