කොළඹ කසළ ප්‍රශ්නයට මාස 10න් විසඳුමක්?

ශ්‍රී ලංකාවේ පාලකයන් සියලු ම අවස්ථාවල පාහේ ඉස්තාලය වසා දමන්නේ අශ්වයා පැන ගිය පසුව ය. යම් බඳු ගැටලු විසඳීමේලා ඔවුන් උත්සුක වන්නේ අතිශය විනාශයන් සිදු වී එයට විසඳුමක් නොගෙන බැරි තත්වයක් උදා වූ පසුව ය. ජන ජීවිත ගණනාවක් බිල්ලට ගිය පසුව ස්ථිර සැලැස්මක් ඇති කළ යුතු යැ යි හතර වටින් ම බලපෑම් ආ කසළ ප්‍රශ්නය ඉන් එකකි.

මෙගා පොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ දැන් කසළ ප්‍රශ්නයට යම් බඳු විසඳුමක් ගෙනෙන සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතී. එනම් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින කසළ රැඳවුමයි. අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසන පරිදි මේ ප්‍රශ්නයේ දී නම් විසඳුමකට පැමිණීමට අපහසුව තිබුණේ මහජන විරෝධතා ආදිය නිසාවෙනි. 1997 දී එවක රජය මීපේ ප්‍රදේශයේ අරඹන්නට සූදානම් කර තිබූ මෙවැනි ම කසළ රැඳවුමක සැලැස්ම ඉවත් කරගත්තේ මෙකී විරෝධතා මත බව ඔහු කියයි. කෙසේ වෙතත් 2007 සහ 2015 පෙර රජය සමයේ දී ද මෙවන් උත්සාහයන් කිහිපයක් දැරුණු බවත් බිලියන 14ක මුදලක් පවා වෙන් කරන ලද බවත් ඔහු වැඩිදුර පවසයි.

කෙසේ වෙතත් දැනගන්නට ලැබෙන පරිදි අරුවක්කාලු ව්‍යාපෘතිය ක්‍රියාවට නැගෙමින් තිබේ. දුම්රිය මාර්ගය භාවිතා කරමින් කොළඹ කසළ මෙට්‍රික් ටොන් 1300ක් පමණ පුත්තලම උක්ත කසළ පිරවුම වෙත ගෙන යනු ඇත. මුද්‍රා තබන ලද කසල කන්ටේනර් ඒ සඳහා යෙදවෙනු ඇත. කැළණිය දුම්රිය ස්ථානය ආරම්භක ස්ථානයයි. මේ සැලසුමට පවා ප්‍රදේශ දෙකෙහි ම ජන විරෝධතා ඇතිව තිබුණ ද දැනුවත් කිරීම් ගණනාවක් රජය පාර්ශ්වයෙන් සිදු කර තිබේ.

මේ ව්‍යාපෘතිය අගය කළ යුතු එකක් බව අපේ වැටහීම යි. වෙනත් බොහෝ රටවල් සපුරා නැතත් යම් පමණකට හෝ කසළ ප්‍රශ්නය විසඳාගෙන තිබේ. රටක් වශයෙන් අප එය කෙරෙහි නැමුණු සිත් නැතිව ඉබාගාතේ කටයුතු කිරීම වෙනුවෙන් ජීවිත ගණනාවකින් වන්දි ගෙවන්නට සිදු විය. ලබන දෙසැම්බරයේ අරඹන්නට සූදානම් කෙරී ඇති උක්ත ව්‍යාපෘතිය මාස 10කින් වැඩ අවසන් කරන්නට සැලසුම් කෙරෙන බව දැනගන්නට තිබේ. කසළ ප්‍රශ්නය විසඳීමට අමතරව බලශක්ති ජනනය කෙරෙහි ද ඇස යොමා තිබීම පැසසිය යුත්තකි.

Leave a Comment