මානව විමුක්තියේ සිහිනයට පණ දුන් රතු ඔක්තෝබරය!

මානව වංශකථාවේ අනභිභවනීය මෙන්ම නොමැකෙන කාල පරිච්ඡේදයක් නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට වසර  සියයක් පිරීම ලොව පුරා සිටින  සියලු කෘතවේදී නිර්ධන පංති ජනයා  ඉතාමත් හෘදයාංගම ව සමරනු ලබයි.

රතු ඔක්තෝබරය විසින් මානව වර්ගයාට සැලැසූ යහපත කුමක්දැ යි අප මේ මොහොතේ විමසා බැලිය යුතු කරුණකි.

මානව වර්ගයාගේ විකාශනය  අනුව ඔවුන් පසු කරන ලද විවිධ නිෂ්පාදන අවධීන්  ක්‍ර‍මයෙන් වැඩවසම් මෙන්ම ධනවාදී ආර්ථික ක්‍රම‍ය දක්වා මෙන් ම 19 වන සියවස වන විට එය අධිරාජයවාදය  දක්වා වර්ධනය වී තිබිණි. ඒ වන විට ලොව පුරා බලවත් ජාතීන් විසින් අනෙක් ජාතීන් මෙන්ම රටවල්ද ආක්‍ර‍මණය කරමින් ම්ලේච්ඡ  ලෙස  සියලු ධනෝපායන මාර්ග මෙන්ම ධනය ද කොල්ල කමින් සිටියහ. ලොව බලවත් ජාතීන් විසින් ලෝකය කොල්ලකෑමේ පහසුව සඳහා බෙදා වෙන්කරගෙන තිබුණි. එය ද  සිදුවූයේ ඔවුනොවුන්ගේ යුධ ශක්තිය මතය. මෙලෙස අධිරාජ්‍යයන් ලෙස පැවැති අධිරාජ්‍යය කිහිපයක් ම වූ බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යන්නකි.

ඒ අතර ප්‍රධාන අධිරාජ්‍යයක් ව තිබු බ්‍රිතාන්‍යය, අප රට පමණක් නොව සමස්ත භාරතය ද යටත් විජිතයන් බවට පත්කරගෙන සිටි බව අප දනිමු. මෙලෙස ලොව විවිධ ජාතීන් අධිරාජ්‍යවාදීන්ගේ බරපතල සූරාකෑමට ගොදුරුව පැවැති වකවානුවක එනම් 1917 ඔක්තෝබරයේදී සාර් රුසියානු අධිරාජ්‍යය බිද දමා රුසියානු කම්කරු පංතිය විසින් සිදු කළ සමාජ විප්ලවය මානව ශිෂ්ඨාචාරයේ රන් අකුරින් සටහන්ව ඇත. මීට පෙර පැරිසියේ  එනම් 1871 වසරේදී  ලොව පළමුවරට පැරිස් කොමියුනයේ මෙහෙයවීමෙන් ප්‍ර‍ංශ කම්කරු පංතිය බලයට පත්වුවත් එම කම්කරු රජය පවත්වාගෙන යාමට හැකි වූයේ දින 71ක් වැනි කෙටි කාලයක් පමණි. ඔවුන්ගෙන් නැවතත් බලය පැහැරගත් ධනපති පංතිය පැරිස් කොමියුනයේ ක්‍රියාකාරින් සමූල ඝාතනය කළ බව ජාත්‍යන්තර කම්කරු පංති ඉතිහාසයේ රුධිරයෙන් ලියවී තිබේ. එවන් ඉතිහාසයක  පාඩම් මැනවින් ප්‍ර‍ගුණ කළ බෝල්ෂේවික් නායකයා වන ලෙනින්ගේ දූරදර්ශී මඟපෙන්වීම ලද රුසියානු කම්කරු පංතිය සාර් රාජාණ්ඩුව බිද දමා කම්කරු රජ්‍යයක් වූ සෝවියට් දේශය පිහිටුවීමට තරම් සටන්කාමී විය. එම පුවත මුළු ලෝකයේ ම අධිරාජ්‍යයන් බියෙන් වෙවුළුවාලීමට තරම් රණකාමී විය.

රතු ඔක්තෝබරයේ ආශ්වාදය ඉතා වේගයෙන් ලොව පුරා පැතිර ගියේය. සෝවියට් දේශය යථාර්ථයක් බවට පත්වීමට වැඩිකල් නොගිය අතර  පළමුවරට ලෝකය කඳවුරු දෙකක් බවට පත්වීම වැලැක්විය නොහැකි විය. බලය අහිමි වූ රුසියාවේ කුලාකයන් මෙන්ම අහිමි වූ බලය යළි ලබාගැනීමට යුධ වැදුණ රටවල් බොහෝ ප්‍ර‍මාණයක වයිට්ගාඩ්වරුන්ගෙන් ද ළදරු සෝවියට් දේශය බේරාගැනීමට ලොව බිහිවූ ප්‍ර‍ථම කම්කරු පන්ති හමුදාව වූ රතුහමුදාව සමත් විය.

එතැන් සිට පෘථිවිතලය මත සිදුවූ දේශපාලනික සියලු වෙනස්කම්වලට රතු ඔක්තෝබරයේ රශ්මිය දැනුණාට කිසිදු සැකයක් නැත. දෙවන ලෝක යුද්ධයෙන් පැසිස්ට්වාදය පරාජය කළ රතුහමුදාව සමාජවාදි කඳවුරක් බිහිකළ බව නොරහසකි. ලොව පුරා පැතිර පැවැති යටත්විජිත මිහිතලයෙන් පිසදැමීමට තරම් ඔක්තෝබර් විප්ලවයෙන් බිහිකරන ලද ශිෂ්ඨාචාරය සමත්ව ඇත. සැමදා ලෝකය බෙදාගැනීමට යුධ සංහාරයන් සිදු කළ ධනපති රාජ්‍යයන් පවා මේ වන තෙක් ලෝක යුද්ධයක් කරා යන ගමනින් වැළැකීමට තරම් ශිෂ්ඨබවක් නිර්මාණය කිරීමට රතු ඔක්තෝබරයේ පණිවිඩය සමත්ව ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බිහිවූ එකසත් ජාතින්ගේ සංවිධානය මෙන්ම පසුකාලීනව බිහි වූ නොබැදි ජාතින්ගේ සමුළුව දක්වා ශ්‍රේෂ්ඨ ඔක්තෝබර්  විප්ලවයේ රශ්මිය විහිද තිබිණි. ඔක්තෝබරයෙන් බිහිවූ සෝවියට් දේශය තුන්වන ලෝකයේ සංවර්ධනය වන රටවලට දැක්වූ සහාය මෙන්ම ජාතික විමුක්ති ව්‍යාපාරයන්ට සැපයූ අප්‍ර‍මාණ මිත්‍ර‍ශීලී ද්‍ර‍ව්‍යමය හා දෘෂ්ටිමය සහයෝගයන් පිළිබඳව අදටත් එම රටවල් කෘතවේදී වනු ඇත.

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය වෙතින් ලොවට දුන් පණිවුඩය වූ ජාත්‍යන්තර කම්කරු පංති සහයෝගිතාවය පිළිබඳ පණිවිඩය සදාකාලික පණිවුඩයක් බවට වසර සියයක් ගතවෙන මේ මොහොතේ වඩාත් දැනෙමින් තිබේ.

සරත් රත්නායක

 

Comments are closed.