ෆෙඩරල් භීතිකාව!

භීතිකාව යනු රෝගී තත්වයකි. ගත වූ දශක කිහිපයක සිට ශ‍්‍රී ලාංකේය දේශපාලන දේහයට හඳුන්වා දී ඇති රෝගී තත්වයක් ලෙස ෆෙඩරල් භීතිකාව හැඳින්විය හැකි ය. විශේෂයෙන් ම යටත් විජිත පාලනයෙන් නිදහස් පාලනයෙන් නිදහස ලැබුවා යැ යි පැවසෙන අවදියේ සිට මෙරට පාලන බලය අත් පත් කරගත් සමාජ පංති නායකත්වය විසින් හදා වඩා පෝෂණය කරන ලද රෝගී තත්වයකි මෙය. ඒ අනුව ෆෙඩරල් යනු මෙරට බහුතර යැ යි කියාගන්නා පිරිසට හානි කරන සුළු ජන කොටස් යැ යි හැඳින්වෙන අයට මහා බලයක් ලබා දෙන ආණ්ඩු ක‍්‍රම වේදයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම හැඳින්වීම ප‍්‍රධාන දේශපාලන පක්ෂවල නායක කාරකාදීන් විසින් ද පැවිදි පක්ෂයේ නායකවරුන් විසින් ද ව්‍යාපාරික හා ධනවත් දේපළ හිමියන් විසින් ද ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. තවදුරටත් එය ජාතියේ එකමුතුභාවයට, ජාතික සංවර්ධනයට, දේශයේ භෞමික අඛණ්ඩතාවයට, රාජ්‍යයේ ස්වෛරීත්වයට බරපතළ වූත් අතිශය වූත් තර්ජනයක් ලෙස පෙන්වා දෙනු ලැබේ.

මෙහි දී සැලකිල්ලට භාජන කළ යුතු කරුණු දෙකක් ඇත. පළමුවන කාරණය සත්‍ය වශයෙන් ම ෆෙඩරල් සංකල්පය රටකට හානිදායක දෙයක් ද යන්න යි. දෙවැන්න එය මහා ව්‍යසනයක් ලෙස හඳුන්වා දෙන හා ඒ වෙනුවෙන් දිවි පිදීමට පවා සූදානම්වන පිරිස කවුරුද සහ ඒ අයගේ සැබෑ අරමුණු කවරේ ද යන්න යි.

ෆෙඩරල් හෙවත් සන්ධීය ආණ්ඩුක‍්‍රම සංකල්පය මතුවන්නේ ශතවර්ෂ ගණනාවක් තුළ පැවති රාජ්‍ය බලය සාධාරණ ලෙස ස්ථානගත කිරීම සම්බන්ධව විශේෂයෙන් ම දියුණු රටවල ජනතාව කරන ලද අරගලවල ප‍්‍රතිඵලයක් ලෙසට ය. වැඩවසම් ක‍්‍රමය ආර්ථික සමාජ දේශපාලන සංස්ථාවක් ලෙස බිඳවැටීමත් සමගම ප‍්‍රාදුර්භූතවන ජාතික රාජ්‍ය වල බලය මෙන් ම සම්පත්වල ද මුළු අයිතිය ජනතාවගේ නාමයෙන් අතළොස්සක් වූ නව වාණිජ හා කාර්මික ධනපති පංතිය සතු කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය බලයේ ස්වෛරීත්වය, ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය යන සංකල්ප උපයෝගී කරගත් දේශපාලනික මතවාදය ගොඩනගනු ලැබේ. ඊට පෙර වැඩවසම් යුගයේ දී මෙම බලය අත්පත් කොට සිටියෝ රජුට අමතරව රදළවරු හා පූජකවරු ය. එවකට ශුද්ධ රෝම අධිරාජ්‍යය යටත් කතෝලික සභාව සතුකොට තිබූ අතිමහත් බලාධිකාරිය කඩා බිඳ දැමීම ඒ සඳහා අවශ්‍ය විය. දේව නිර්මාණයට වඩා මනුෂ්‍ය ක‍්‍රියාකාරිත්වය වැදගත් වන්නේ ය යන අදහස ඔස්සේ යුරෝපීය රටවල ඇති වූ ආගමික ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය මධ්‍යතන යුගයේ පුනරුදය තවදුරටත් ඔපමට්ටම් කරමින් අනාගාමික රාජ්‍යයක් වෙනුවෙන් අරගලයක් ඇරඹුවේ ය. රාජ්‍යය ආගමික බලපෑමෙන් නිදහස් වූ සංස්ථාවක් විය යුතු බව කියා සිටි ආගමික ප‍්‍රතිසංස්කරණවාදී ජර්මානු පූජකයෙකු වූ මාර්ටින් ලූතර් මෙහි පුරෝගාමියා වූයේ නැගී එන වාණිජ කාර්මික ධනපති පංතියේ අභිලාශ නියෝජනය කරමිනි. එය එවකට ජරාජීර්ණ වූ වැඩවසම් ගතානුගතික ම්ලේච්ඡුත්වයට වඩා ප‍්‍රගතිශීලී වූයේ ය. නූතන යුරෝපයේ සමාජ ආර්ථික දේශපාලනික පෙරළියකට මුල පිරූයේ ඒ අයුරිනි. මෙහි ආලෝකය සමකාලීන දේශපාලන මතවාදය තුළ ද ප‍්‍රදර්ශනය වූයේ ය.

හොබ්ස්, ලොක්, රූසෝ රාජ්‍යය පිළිබඳ ලෞකික වූත් සමාජමය වූත් අර්ථකථනයන් ගොඩනගන්නේ ඒ අනුසාරයෙනි. නැගී ජාතික රාජ්‍යවල (බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ජර්මනිය) රාජ්‍ය බලය අත්පත් කරගත් බලාධිකාරියක රාජ්‍ය පාලනයේ පරම බලය මෙන් ම ස්ථාවරභාවය සහතික කර දීම හොබ්ස්ගේ වගකීම වූයේ ය. මෙම බලය නැගී එන වාණිජ කාර්මික ධනපති පංතියේ නිදහස් ක‍්‍රියාකාරිත්වයට හා ප‍්‍රාග්ධනයේ ප‍්‍රසාරණයට බාධාවක් වෙත් ම අසහාය රාජ්‍ය නායකත්වය වෙනුවට එම බලය සීමා කරන ලද ව්‍යවස්ථාපිත රාජ්‍ය සංස්ථාවක අවශ්‍යතාවය ලොක් ඉදිරිපත් කළේ ය. බි‍්‍රතාන්‍යය තුළ මෙම අදහස තහවුරු කිරීමට අරගල ගණනාවක යෙදීමට එකී ධනපති පංතිය ප‍්‍රමුඛ ජනතාව අරගල මාලාවක යෙදුණහ. ක‍්‍රි.ව. 1215 මැග්නා කාර්ටාව හා 1688 අයිතිවාසිකම් අරගලය නිදර්ශන දෙකකි.

රාජ්‍ය බලය යනු අන් කිසිවක් නොව ජනතාවගේ පොදු කැමැත්තේ බලය යැ යි පැවසූ ශෝන් ජැක් රූසෝ රාජ්‍ය බලය වැඩිදුර පැහැදිලි කිරීමක් මගින් එවකට ප‍්‍රංශයේ අත්තනෝමතික රාජ්‍ය බලය මෙහෙයවනු ලැබූ රාජ්‍යත්වය, රදළ හා පූජක බලයට එරෙහිව ජනතා අරගලයට මුල පිරුවේ ය. නිදහස, සමානත්වය සහ සහෝදරත්වය ඉස්මතු කළ 1789 ප‍්‍රංශ විප්ලවය එහි ප‍්‍රතිඵලයක් වූයේ ය.

මධ්‍යගත අත්තනෝමතික රාජ්‍ය බලය වෙනුවට බලය ජනතාව අතර බෙදීයන සහ තනි බලයකට වඩා බහුතර ආයතන හරහා බලය සංස්ථාපනය වන ක‍්‍රමවේදයක් වෙනුවෙන් ප‍්‍රංශ ජාතික මොන්ටෙස්ක්‍යු බලතල බෙදීමේ දේශපාලන න්‍යාය ඉදිරිපත් කළේ මේ අතරතුර ය. 1779 ඇමරිකානු නිදහස් අරගලය පෝෂණය කළ මෙම මතවාදය ලෝකයේ ප‍්‍රථම ෆෙඩරල් හෙවත් සන්ධීය ආණ්ඩුක‍්‍රමවේදය සංස්ථාපනය කළේ ය.

මේ අනුව ෆෙඩරල් ආණ්ඩුක‍්‍රමවේදය හෙවත් සන්ධීය ආණ්ඩු ක‍්‍රමය ජනතා අරගලවල ප‍්‍රතිඵලයක් ලෙසට රාජ්‍ය බලය ජනතාවට වඩාත් සමීප කරවන ජනාත සහභාගිත්වය සහතික කරවන වඩා සංවර්ධනය වූ ආණ්ඩුක‍්‍රම වේදයක් ලෙසට අප අතරට පැමිණ ඇත. අද වන විට ලෝකයේ ප‍්‍රබලතම හා සාර්ථකම රාජ්‍ය සමූහය අතර ෆෙඩරල් ආණ්ඩුක‍්‍රමවේදය අනුගමනය කරන රටවල් ගණනාවක් දක්නට ලැබේ. ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, දකුණු අප‍්‍රිකාව හා ඉන්දියාව ඒ අතර කැපී පෙනෙයි. මෙම රටවල ජාතික සංහිඳියාවට හෝ ජාතික සංවර්ධනයට ෆෙඩරල් ක‍්‍රමවේදය බාධාවක් වී නැති අතර එය නිසා එම රටවල කැඞී බිඳී යාමක් ද දක්නට නොමැත.

ෆෙඩරල් යන්න මහා ව්‍යසනයක් ලෙස හුවාදක්වන ව්‍යාජ දේශපේ‍්‍රමී හා වංක ප‍්‍රගතිශීලී ශ‍්‍රී ලාංකික නායකත්වය මේ බව නොදන්නවා නොවේ. හුදු දේශපාලන බලය උදුරාගැනීම තුළින් ශ‍්‍රී ලංකාවේ ජනතාව සතු සම්පත් කොල්ලකෑම සඳහා එකිනෙකා පරයමින් සටන් වැද සිටින මෙම පිරිස ෆෙඩරල් ක‍්‍රමය බිල්ලෙකු ලෙස දක්වන්නේ ජනතාව නොමග යැවීම සඳහා ය. ඒ වෙනුවෙන් නොයෙකුත් ආකාරයේ මිත්‍යාවන් නිෂ්පාදනය කොට ජනතාව මුළා කිරීමට ඔවුහු කටයුතු කරති. මෙහි දී එක් මිත්‍යාවක් වන්නේ ශ‍්‍රී ලංකාව දුරාතීතයේ සිට ඒකීය රාජ්‍යයක් ලෙස පැවති බවයි. ශ‍්‍රී ලංකාව ජනාවාස වූ මුල් අවධිවල ජනතාව රාජ්‍ය පාලන සංවිධානය ගොඩ නගා ගත්තේ ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය ඒකක තුළ ය. මහා වංශයේ පවසන පරිදි විජයගේ සම්ප‍්‍රාප්තියට පෙරාතුව ද යක්ෂ, නාග, දේව ආදී ගෝත‍්‍රික ජනතාව ශ‍්‍රී ලංකාවේ තන්හි තන්හි ජනාවාස පිහිටුවාගෙන සිටි බවයි. කැලණිය, යාපනය හා මහියංගනය එබඳු ස්ථාන ය. විජයාවතරණයෙන් පසුව වුව ද පණ්ඩුකාභය සමය වන තෙක් ම මධ්‍යගත රාජාණ්ඩුවකට වඩා ප‍්‍රාදේශීය පාලන ඒකක ලෙසින් හෝ ග‍්‍රාමීය ඒකක ලෙසින් පැවතුණු බව මහා වංශයෙන් ම දැනගත හැකි ය. කිසියම් ආකාරයක මධ්‍යගත පාලනයක් පිහිටුවනු ලබන්නේ පණ්ඩුකාභය රජු විසිනි. මහා වංශයට අනුව ම ඔහු සිංහලයෙක් ද බෞද්ධයෙක් ද යන්න සැක සහිත ය. මධ්‍යගත රාජ්‍ය බලයක් පිහිටුවීම සඳහා ඔහුට උපකාර කළ අය අතර විවිධ ගෝත‍්‍රික හා කණ්ඩායම් සිටි බව ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වෙයි. මින්පසුව ශ‍්‍රී ලංකාවේ එක්සත් මධ්‍යගත රාජ්‍යයක් දක්නට ලැබූ අවස්ථා කිහිපයක් වෙයි. දුටුගැමුණු අවධිය, විජයබාහු අවධිය, පරාක‍්‍රමබාහු අවධිය සහ කෝට්ටේ හයවැනි පරාක‍්‍රමබාහු අවධිය ඒවා වෙත්. එතකුදු මේවා ඒකීය රාජ්‍ය ලෙස හඳුන්වා දී නැත. ඒ වෙනුවට යෙදී ඇති වචනය එක්සත් යන්න යි. එක්සත් යන වචනයේ අර්ථය පරිදි ම බෙදී සිටි ප‍්‍රාන්ත එක් කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස ඉතිහාසය අපට පෙන්වා දෙයි.

විශේෂයෙන් ම ඒකීය යන වචනය දේශපාලනික වශයෙන් ඓතිහාසික නිර්මාණයක් නොවන අතර එය නූතන ඉතිහාසයට අයිති වචනයකි. ජාතික රාජ්‍යය පහළ වීම සමග මෙය දේශපාලනයට එක් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ඒකීය පදය ව්‍යවස්ථාවකට ඇතුළත් වන්නේ 1972 දී ය. 1833 දී කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ යටතේ නූතන ශ‍්‍රී ලංකාව එක්සත් කරනු ලැබේ. එහි දී ද ඒකීය යන වචනය භාවිත වී නොමැත. ඊට පෙරාතුව දිගින් දිගට ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාන්ත රාජ්‍ය තිබූ අයුරු පැහැදිලි වෙයි. 1505 පෘතුගීසින් ලංකාවට පැමිණෙන විට ද ශ‍්‍රී ලංකාව රාජ්‍ය තුනකට බෙදී තිබුණි. යාපනය, කෝට්ටේ සහ මහනුවර යනුවෙනි. මේ අනුව ඒකීය යන සංකල්පය කිසිසේත් ශ‍්‍රී ලංකාවට අදාළ වන්නා වූ හෝ දේශීය වන්නා වූ හෝ සංකල්පයක් නොවේ.

නිදහස ලබන අවදියේ දී සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් යුරෝපීය ජාතික ජනතාව සියල්ලෝ ම නිදහස වෙනුවෙන් එක්සත් ව සටන් කළහ. පොන්නම්බලම් රාමනාදන්, ටී.බී. ජායා මෙන් ම බුලජන්ස් වැනි විවිධ ජාතික නායකයන් ඒ සටනේ දී සිංහල නායකයන් සමග අත්වැල් බැඳගෙන සිටිය හ. එහෙත් නිදහස ලැබීමත් සමගම නායකත්වයට පත් සිංහල නායකයන්ගේ අ¥රදර්ශී ක‍්‍රියාකලාපය විසින් මෙම අනිකුත් ජන කොටස් අතර විරසකයක් ඇති කරන ලද්දේ රාජ්‍ය බලය සාධාරණ ලෙස ජනතා කොටස් අතර බෙදා හදා ගැනීම නොසිදු වූ නිසා ය.

තිස් වසරක් පුරා පැවතුණු ජන ඝාතක යුද්ධය එහි ප‍්‍රතිඵලයක් වූයේ ය. මේ විරසකය තුළ බෙදුම්වාදය සඳහා ඉතා සුදුසු තෝතැන්නක් සකස් කරනු ලැබීය. අද වන විට මෙම තත්වයෙන් මිදී එක්සත් වූ ශ‍්‍රී ලංකාවක් තුළ සාමය සහ සංහිඳියාව රජයන එක්සත් ජාතික සංවර්ධන ප‍්‍රයත්නයක් සඳහා සියලු බලය ශක්තිය සම්පත් යොදවාගැනීම උදෙසා විසඳුම රැුඳී පවතින්නේ සංධීය ආණ්ඩුක‍්‍රමයක් හෙවත් ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් තුළ ය.

ගුණසේන ඩයස් දහනායක

(මෙම ලිපිය “ඇත්ත” පුවත්පතේ පළ වූ එකකි.)

Leave a Comment