අමද්‍යප ව්‍යාපාරයේ යටි අරුත කුමක් ද? (කම්කරුවාගේ කතාව 21 වන කොටස)

යටත්විජිත  පාලනයට නතුව තිබූ ලංකාවේ 19 වන සියවස තුළ කම්කරු පංති සටන්හි  විකාශනය  සිදුවූ අයුරු මෙම ලිපියේ පසුගිය කොටස් 21ක් මගින්  ඔබ හමුවේ තබා ඇත්තෙමු. එමෙන්ම එම ක්‍රියාවලියේ  තිබු වඩාත්ම සටන්කාමී කම්කරු නැගිටීම ලෙස සැලකිය හැකි රෙදි අපුල්ලන්ගේ වැඩවර්ජනය පිළිබදව අප පසුගිය කොටසින් විමසා බැලුවෙමු. ධනපති ක්‍ර‍මය තුළ පංතියක් ලෙස සංවිධානය වී පීඩනයට එදිරිව සටන් කිරීම ඉගෙනීමට අප රටේ කම්කරු පංතිය ගත් කාලය වැඩිදැයි විටෙක සිතීමට අයෙකුට හැකි වුවත් 19වැනි සියවස පුරාම  සිදුකල සටන් තුළින් සමූහයක් ලෙස සංවිධානය වීමේ වැදගත්කම පිළිබද පාඩම ලංකාවේ කම්කරු පංතිය විසින් මොනවට පැහැදිලි කරදී ඇත. 19වන සියවසේ අවසන්භාගයේ එනම් 1896 වසරේ සිදුකෙරුණු රෙදි අපුල්ලන්නන්ගේ අරගලය එම සියවසෙහි මෙරට  වඩාත්ම සංවිධානාත්මක අරගලය බවට ඉතිහාස ගතව ඇත.

එමෙන්ම 20වන සියවසට එලඹීමට පෙර 19වන සියවසෙහි කම්කරු පංතිය දිනාගත් දේ පිළිබදව සැකෙවින් මතකයට නගා ගැනිම වැදගත්වනු ඇත. ඉතාමත් අසංවිධතව යටත්විජිත පීඩනයෙන් හෙම්බත්ව සිටි කම්කරුවන් වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීම, පාලකයන්ට එදිරිව වර්ජනය කිරීම, පරාජයට පත්වුවත් තම බෙලහීනත්වයෙන් මිදී තමඉල්ලීම් දිනාගැනීමට සටන් කිරීම සදහා සංවිධානය වීම මෙන්ම තම සටන්කාමිත්වය ප්‍ර‍ර්ශනය කර පාලකයන්ගේ පුහු මානය බිද දැමීම හා තම ඉල්ලීම් දිනාගැනීම සදහා ඇති එකම අවිය යැදීම නොව අරගලය බව අවබෝධකරගැනීම යන කාරණාවන්ගෙන් මෙකල වන විට ලංකාවේ කම්කරු පංතිය යම් පමණක වර්ධනීය ලක්ෂණ අත්කරගෙන අැතිබව පෙනී යයි.

මෙවන් පරිචයක් ඇතිව 20වන සියවසට කම්කරු පංතිය පා තබන විට ලංකාවේ පොදු යටත්විජිත දේශපාලන දේහය තුළද යම් සාධනීය ලක්ෂණ විද්‍යාමාන වෙමින් තිබිණ. සියවසක යටත් විජිත පාලනය විසින් නිර්මාණය කරන ලද ජනතා අසහනය මෙන්ම යටත්විජිත පාලනයේ අමිහිරි අත්දැකීම් ලැබූ විවිධ පංතීන්ගේ කලකිරීම් තුළින් ගොඩනැගුණු අප්‍ර‍සාදයක් මුළු යටත්විජිත දේහය පුරාම ඔඩු දුවමින් තිබිණි. මෙම පසුබිමෙහි ජාත්‍යන්තරව හමා යන නිදහස් අදහස් පෙරටු කරගත් විවිධ ව්‍යාපාරයන් ලොව පුරාපැතිර ගියේ ය. මිෂනාරී අධ්‍යාපනයට එදිරිව පරම විඥානාර්ථ අධ්‍යාපන ක්‍ර‍මවේදයක් ලොව පුරාම පැතිර ගියේ ය. එමෙන්ම ලංකාවේ යටත්විජිත පාලකයන් ලාංකීය මධ්‍යම පතිය නොසලකා හරිමින් ගෙන යනු ලැබූ පාලනය නිසාවෙන් ඒ වන විට යුරෝපයේ අධයාපනය ලබා මෙහි පැමිණ සිටි තරුණ බුද්ධිමතුන් පවා පැවැති පාලනය පිළිබදව ඔවුනගේ අප්‍ර‍සාදය  ප්‍රසිද්ධියේ ‍පළකරන තරමට වටපිටාව සකස් වී තිබුණි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිවිවේචනයට භාජනය වුවත් ලාංකිකයිනට තම විවේචනයන් ඉදිරිපත් කිරිමට හැකි සංවිධානයක් එවකට බිහිවී නොතිබීම ප්‍ර‍ධාන ප්‍ර‍ශ්නයක් විය.

ඔවුන් තම අදහස් හා විවේචනයන් ඉදිරිපත් කිරීමට පුවත්පත්, සඟරා, ප්‍ර‍සිද්ධ රැස්වීම්, සුභසාධක සංගම්, අමද්‍යප ව්‍යාපාරය හා සාහිත්‍යය සමිතිද යොදාගත්හ. එමෙන්ම එය ජාතික නිදහස පිළිබද සංකල්පය ලාංකික බුද්ධිමතුන් අතර සෙමින් සෙමින් වර්ධනය වෙමින් තිබු කලක් ද විය.  යටත්විජිතවාදයට එදිරිව විවිධ හැඩතලයෙන් හා ස්වරූපයෙන් විවිධ සංවිධාන සමජගත වෙමින් තිබිණ. බෞද්ධාගමික ප්‍රබෝධයක් ලෙසින් මෙන්ම අමද්‍යප ව්‍යාපාර ලෙසින් හා පරම විඥානාර්ථ අධ්‍යාපනය ලෙසින් ද ඉහත කී මධ්‍යම පාන්තික බුද්ධිමතුන් කරළියට පිවිසෙමින් සිටියහ. මෙලෙස කරළියට පිවිසි පිරිස 1905 වසරේදී ලංකා සමාජ ප්‍රතිසංස්කරණ සංගමය නමින් සංගමයක් පිහිටුවා ගත්හ.

මෙම සංගමයේ ප්‍ර‍ථම සභාපතිවරයා වූයේ ලන්ඩනයේ දී විද්‍යාව හදාරා ලංකාවට පැමිණ ටික කලක් ආණ්ඩුවේ ඛණිජ විද්‍යාඥයා ලෙස සේවයකල ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාය. මොහු විද්‍යාඥකු මෙන්ම පාරම්පරික කලා නිර්මාණ පිළිබඳ ගැඹුරු දැනුමක් ඇත්තකු විය. එසේ ම පෙරදිග කලාව හා දර්ශනය පිළිබද  විශාරදයෙකුද විය. ඔහු විසින් රචනා කරන ලද පෙරදිග කලාව හා දර්ශනය පිළිබඳ කෘතීන් බටහිර විද්වතුන්ගේ පවා ඇගැයීමට පාත්‍ර‍විය. එමෙන්ම මෙම සංගමයේ කාරක සභාව නියෝජනය කළ අය අතර පරමවිඥානාර්ථ අධ්‍යාපන ව්‍යාපාරයේ නායිකාවක් වූ මියුසියස් හිඟින්ස් මැතිනිය, පීටර් අාබෘ මහතා, ඩී.බී.ජයතිලක මහතා, මාටින් පෙරේරා මහතා යන අය වූ අතර ගරු සාමාජිකයන් ලෙස අනගාරික ධර්මපාල මහතා සහ ඇනී බෙසෙන්ට් මැතිණිය ද විය.

සෑහෙන කලකට පෙර ආරම්භ කළ ලංකාවේ අමද්‍යප ව්‍යාපාරය 20වන සියවස මුල් භාගයෙදී නව පිබිදීමකින් රට පුරා රැල්ලක් මෙන් පැතිර ගිය අතර එයට බලපෑ අප්‍ර‍කට හේතුවක්ද විය. ප්‍ර‍සිද්ධියේ යටත් විජිත රජය විවේචනය කරන්නන් රාජද්‍රෝහී ලේබලය යටතේ සිරගත කිරීම බ්‍රිතාන්‍යය පාලකයන්ගේ එකල සුලබ පිළිවෙතක් විය. එහෙත් ජනතාව සුරාවෙන් මුදාගැනීම සදහා සංවිධානය වූ අමද්‍යප සංගයේ රැස්වීම් හරහා තරුණ රැඩිකල් බුද්ධිමතුන් කතෝලික ආගම මෙන්ම ආණ්ඩුවට එදිරිව ද තමඅදහස් ජනතාව වෙත කියාපෑමට තරම් දක්ෂ විය.

මෙලෙස ඉතාමත් සංකීර්ණ වටපිටාවක ඉතා සියුම් ලෙස  බ්‍රිතාන්‍ය කිරීටයට එදිරිව ජනතා රැල්ලක් නිර්මාණය කිරීමට අවශ්‍යය පසුබිම සැකසීමට මෙම බෞද්ධ පුනරුද ව්‍යාපාරය මෙන්ම අමද්‍යප ව්‍යාපාරය අගනා මෙහෙවරක් සිදුකර ඇති බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන කරුණකි. මෙම ක්‍රියාවලිය සිහිපත් කිරිමේ දී අමතක කළ නොහැකි චරිත කිහිපයක් වෙයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, කර්නල් හෙන්රි ඕල්කට්තුමා, බැලැවැස්කි මැතිණිය, අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර‍ මැතිතුමා යන පිරිස ප්‍රධාන ය. එම කාල වකවානුවෙහි මෙම පිරිස ලංකා බිමෙහි ගෙන යන ලද යටත්විජිත වාදයට විරුද්ධ මතවාදය නව නිදහස් අරගලයක් සදහා මෙරට බුද්ධිමතුන් දිරිමත් කරන්නක් විය.

 

෴ සරත් රත්නායක ලියයි.

කුමාරි ජයවර්ධනගේ “ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම” කෘතිය ඇසුරෙනි.

පෙර කොටසට පිවිසෙන්න..

 

 

 

Leave a Comment