ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ!

ශ‍්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව සම්බන්ධ ක‍්‍රියාවලිය පාදක කරගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නොබෙල් සාම ත්‍යාග ලැබීමේ ලැයිස්තුවට ඇතුළත් ව ඇති බව පසුගිය කාලයේ සමහර මාධ්‍ය වාර්තා කර ඇති අයුරු දක්නට ලැබුණි. මේ දුටු අපට මුලින් ම සිහියට ආවේ ජනවහරෙහි එන ‘ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ’ නම් ජනවහරේ එන යෙදුම යි.

මෙරට ශිෂ්ටසම්පන්න රටක් ලෙස ගොඩනගන්නට මෑත කාලයේ ලැබුණු අවස්ථා දෙකකි. දෙක ම පැමිණියේ ඛේදවාචක ද සහිතව ය. ඉතිහාසය විසින් දෙයක් දෙන්නේ මිලක් අය කරගෙන බව එයින් පෙනේ.

එකක් සුනාමි ව්‍යසනය යි. 2004 වසර් අතිශය විශාල ජීවිත සහ දේපොළ හානි සිදුකරමින් සුනාමිය පැමිණි අවස්ථාවේ එකී ඛේදවාචකය මතින් ම රටක් ලෙස ගොඩනැගෙන්නට ජාතියක් ලෙස ගොඩනැගෙන්නට අවස්ථාවක් උදාව තිබුණි. අතිශය නිර්ලජ්ජිත ලෙස සුනාමි රළ ආපසු යද්දීම ඊට අදාළ ඉඩකඩ නැතිකර ගන්නා ලදී. නැවත කාකොටා ගන්නා භේදභින්න තත්වයට රට පෙරළා දැමුණි. රට ගොඩනගන්නට ලැබුණු මහත් විදේශාධාර තොගය ද සුනාමියකට ම හසුව ගියේ ය.

මෑතක දී ලැබුණු අනෙක් අවස්ථාව නම් 2009 යුධමය වශයෙන් එල්.ටී.ටී.ඊ.ය පරාජයට පත් කැර දැමීම යි. එතැන් පටන් උතුරට සංහිඳියාවේ දෑත සැබෑ ලෙස ම දිගු කරමින් සැබෑ ලෙස ජාතීන් අතර සාම්‍යයක් ඇති කරන්නට මනා අවස්ථාවක් තිබුණි. එනමුත් මෙරට බොහෝ පාර්ශ්වයන්ගේ අඩු-වැඩි වශයෙන් ලැබුණු සහයද සමගින් එවක ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ රජතුමාට ඇඳගත්තේ ය. එසේ ඇඳගනිමින් රටෙහි සකලවිධ දේවල් ආත්මමූලික ලෙස කළමනාකරණය කරන්නට පටන්ගත්තෙන් ආසන්නයේ ම ලැබුණු අවස්ථාවට ද පයින් ගසා දැමුණේ ය.

එනයින් ම පාලන කාලය තව වසර දෙකක් ම කල් තිබිය දී අකුළාගෙන ගෙදර ගොස් ජනේලයක සිට ජනතාව අමතන්නට වරම් ලබා ගත්තේ ය.

නොබෙල් ත්‍යාගය ලබා දෙන්නට යෝජනා කරන්නට තරම්, ජනපති මෛත‍්‍රීපාල සිරිසේන සාමය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ක‍්‍රියා කොට ඇත්තේ ද? අඩු ම තරමේ මේ අශිෂ්ට ව්‍යවස්ථාව වෙනස් කරන්නෙමැයි සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පවා ශපථ කොට තිබෙද්දී (එය උපුටා දක්වා අපට දැන් ඇතිවෙලා ය.) ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් ශ‍්‍රී.ල.නි.ප.ය මෙහෙයවා ගන්නට ඔහු සමත් ව තිබේ ද? සාමය සහ සංහිඳියාව වෙනුවෙන් වන අත්‍යාවශ්‍ය කටයුත්තක් වන ඒ වෙනුවෙන් මැදිහත්වන්නටවත් ඔහු සමත්ව තිබේ ද?

සමත් ව නැතිවා පමණක් නොවේ. පසුගිය සමයේ අතිශය බලසම්පන්නව ක‍්‍රියාකාරී වුණු බෞද්ධ නාමධාරී අන්තවාදී ව්‍යාපාර මැඩලන්නට අසමත්වීමෙන් මුස්ලිම් ජාතිකයන් වෙත ද වෛරීත්වය පැතිර ඇති අයුරු විද්‍යමාන වෙයි. එනයින් බලන කළ පෙරට වඩා තත්වය දරුණු ය. පසුගියා දා ගල්කිස්සේ දී මුස්ලිම් සරණාගතයන් පිරිසක් අරභයා අන්තිම අමනෝඥ, තුච්ඡු ලෙස මැදිහත්වුණු ගල්පහර දුන් අබබ්බ මැර භික්ෂූන් පෙන්වා සිටියේ එහි පූර්ණ නිදර්ශනයකි.

අනෙක් අතට සාමය යනුවෙන් වර නැගෙන්නේ ජාතීන් අතර සාමය පමණක් ද? මෙරට සමස්ත ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතු නොවේ ද? එසේ බලන කල 2012 වසරේ දී වැලිකඩ සිරකරුවන් 27 දෙනෙක් අමු අමුවේ මරා දැමීම පිළිබඳව වන කොමිසම් සභා වාර්තා දෙක ම කරළියට නොගෙන සඟවා තැබීම සහ එනිසා ම එම සිදුවීමට වගකිවයුත්තන්ට දඬුවම් අහිමිකිරීම මගින් ඔහු පෙන්වා දෙන්නේ ජනතාවට සාමය ලබා දී තිබෙන බව ද? අඩු ම තරමෙන් ඒ නින්දාසහගත මරණයක් අත්කැරගත්තවුන්ට යුක්තිය ඉටු කළ යුතු නොවේ ද?

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පසුගිය සමය තුළ පොරොන්දු වූ ප‍්‍රමාණයෙන් ඇත්තේ ඉටු කළාට වඩා නොකළා වූ දේවල් ය. අවශේෂ කාරණා නැතක් ඇතත් ඒවා පැත්තක තබා උක්ත සම්මාන නිර්දේශයට අදාළ කරුණු පමණක් සටහන් කරන්නට වෑයම් කරමු.

ඒ කරුණු අතර අනෙක් බරපතළ ම කරුණ නම් බලහත්කාරයෙන් මිනිසුන් අතුරුදහන් කිරීමට එරෙහිව වන පණත සම්මත කරගැනීම කෙරෙහි වන පසුබෑමයි. ලක්ෂ සංඛ්‍යාත ජනමතයට උඩින් කටයුතු කරන රණකාමී සිංහල බෞද්ධ ප‍්‍රවණතාවට යටත්වීම මතින් මේ පණත හමස් පෙට්ටියට වැටී තිබේ. මිනිසුන් බලහත්කාරයෙන් අතුරුදහන්වීමට පක්ෂ රටක සාමය සහ සංහිඳියාව පවතින්නේ කොහේ ද?

සාමය සහ සංහිඳියාව විෂයෙහි අත්‍යාවශ්‍ය අංගයකි, තවදුරටත් සරණාගත කඳවුරු නොපැවතීම. තවදුරටත් උතුරරේ නැවත පදිංචි කර නැති පවුල් අති විශාල සංඛ්‍යාවක් සිටිති. ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණනක් වටකොට ඉදිව ඇති හමුදා කඳවුරු අසල මුඩුබිම්වල පදිංචි කර ඇති ජනයා තවමත් යාව-ජීව උද්ඝෝෂණයන් හි යෙදී සිටී. 2015 වසරේ දී ජනපතිවරයා උතුරේ සංචාරයේ දී දින 100ක් තුළ නැවත පදිංචි කරන්නෙ මැ යි පොරොන්දු දී පැමිණි ජනතාව තවමත් එහි වෙසෙන්නේ කඳවුරුවලය.

එපමණක් ද? නැත. තවමත් වවුනියාවේ සිට මුලතිව් දක්වා තැන් කිහිපයක හමුදා භාරයට පත්කැරුණු තම දරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ඉල්ලා උපවාස කරන මවුවරු ය. මවුවරුන් විසින් තම අතින් අල්ලාගෙන ගොස් හමුදාවට භාර දුන් දරුවන් ද ඒ අතර වෙති. සාමය සහ සංහිඳියාව වෙනුවෙන් ජනපතිවරයා ඒ අනුව සිදුකර ඇත්තේ කුමක් ද?

නොබෙල් සාම ත්‍යාගය වනාහි දැන් නම් එක් අතකට උත්ප‍්‍රාසාත්මක යමකි. 1991 දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත් අවුන් සාන් සුකී දැන් මියන්මාරයේ නිල නොවන නායිකාව යි. සිය රටෙහි වෙසෙන රොහින්ගියා මුසිලිමුන් කෙරෙහි, රණකාමී බෞද්ධ බහුතරය විසින් එල්ල කැර තිබෙන වර්ග සංහාරය (Ethnic Cleansing) විෂයෙහි ඇය රකින්නී මුනිවත ය. ඉතින් නොබෙල් සාම ත්‍යාගය පවා තවදුරටත් සැබෑ සාම ත්‍යාගයක් නොවේ.

සාමය සහ සංහිඳියාව වෙනුවෙන් සැබෑ ලෙස ඉටු කළ යුතු කිසිවක් ඉටු කර නොමැති ජනපතිවරයාට උක්ත සම්මාන ලැබුණ ද අපට කිව හැක්කේ මෙපණකි.

‘ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ’

 

– සඳුන් ප‍්‍රියංකර විතානගේ

Leave a Comment